කපිල ගියත් නතර නොවන…තොටළඟ ජපන් චූටි – නවුෂාඩ් ගේ කුඩු මෙහෙයුම්

821

කුඩු කුමාරි හෙවත් සුද්දීත් ගේමට බැහැලා..

තොටළඟ ලොක්කි සහ පොඩ්ඩි දිනපතා කුඩු කිලෝ හතරක් විකුණයි

තොටළඟට කුඩු එවන්නේ මැලේසියාවේ නන්දෙ ..

රටක් කුඩු කරන කුඩු පාතාලය 2 කොටස

මේ කතා කරන්නේ කුඩු පිළිබඳවය. මේ රටේ කුඩු ජාවාරම ගැන කතා කිරීම කිසිම ප්‍රයෝජනයක් නැති වැඩකි. එහෙමයි කියා ඒ ගැන කතා නොකර සිටින්නටද අපට බැරිය. මේ නිසා ජනමාධ්‍ය කාලයක සිටම නිතර කුඩු ජාවාරම පිළිබඳ විවිධ අනාවරණයන් කරයි.

එසේ කෙරුණද ඒ සියලු දේ අන්තිමට යන්නේ හමස් පෙට්ටියටය. ඇතැම් විට ජනමාධ්‍යයෙන් සිදු කරන අනාවරණයකදී කුඩු ජාවාරමුන්ට එරෙහි වැටලීමක් දෙකක් කිරීම සාමාන්‍යයකි. ඉන් පසුව ජාවාරමේ යෙදෙන කුඩු රජා හෝ රැජින සිටින්නේ යළි ඔටුනු පැළඳගෙනය. එතැන් සිට ඔවුන් නැවතත් පරණ පුරුදු අන්දමටම සිය රාජ්‍යය කුඩුවලින් පෝෂණය කරයි.

රටේ පාලකයන්ට එදා සිට අද දක්වාම හෙරොයින් යනු වක්‍රාකාරව බලය සඳහා වන සම්පතක් වී තිබීම එයට හේතු වනවා විය හැක. කුඩ්ඩෝ කුඩු ගසති. ඒ රටේ තාරුණ්‍යය. තරුණයන් එසේ විනාශ වෙද්දී යම්තාක් දුරට අවම වන්නේ පාලකයන්ට මුහුණ දීමට සිදුවන ප්‍රශ්නය.

එසේම කුඩු යනු සල්ලි උල්පතක් මැවෙන ජාවාරමකි. එනිසා සමහර දේශපාලනඥයන්ද මෙරට කුඩු ජාවාරමට සම්බන්ධ බව සමහරු කියති. මැතිවරණවලදී විවිධ දේශපාලනඥයන්ගේ ඡන්ද ව්‍යාපාරවලට ලොකු ලොකු කුඩු ජාවාරමුන් අතදිගහැර මුදල් වීසි කළ අවස්ථාද බොහෝ තිබේ. රුපියල් ලක්‍ෂ හැට, හැත්තෑව, පනහේ සිට විසිපහ සහ දහය දක්වා ලෙස එක් එක් ආකාරයට සිදුවූ බව පසුගිය මැතිවරණයේදී ද වාර්තා විය.

මේ නිසා රට තුළ සිදුවන කුඩු ජාවාරමට එරෙහිව දැඩිව කටයුතු කරනවාට වඩා ඔවුන් සිතනවා ඇත්තේ රැවුලයි කැඳයි දෙකම බේරාගෙන වැඩ කිරීම හොඳයි කියා විය හැකිය.

රට කරන තැන ඇත්තන්ට එවැනි සිතුවිලි ඇති වුණද මේ වන විට කුඩු පාතාලය කුලප්පු වී රට පුරා ගිනි අවි පත්තු වෙන අන්දම දෙස බලද්දී මේ ගැන නැවත කතා කරන්නට අපට සිදුව ඇත. එසේ නොකර සිටින්නට පුළුවන් කමක් නැත.

හැත්තෑව දශකයේ අගභාගයේදී පමණ ආරම්භ වූ මෙරට කුඩු ජාවාරම ගැන කතා කිරීමේදී තොටළඟ යනු එහි කේන්ද්‍රීය භූමියක් වූ ප්‍රදේශයක් විය. එකල කැලණිය, මීගමවු, ජාඇල, බියගම, වත්තල, රාගම ආදී ආසන්න ප්‍රදේශවල කුඩුවලට ඇබ්බැහි වූ තරුණයන් පැකට් එක ගන්නට බස් එකක නැගී පැමිණ බැස්සේ තොටළඟටය.

මේ දවස්වල තොටළඟ කුඩු ජාවාරමේ කෙරුමා බවට බන්දු පත්ව සිටින අතර ලොම්බා නිමල්, ගලහා සහ ලොකු කන්නා අනිකුත් කෙරුමන් විය. කාලයත් සමඟ එසේ ආරම්භ වූ තොටළඟ කුඩු ජාවාරම තවත් පරම්පරාවක් අතට පත්වූ අතර තොටළඟ කපිල, නවුෂාඩ් සහ ජපන් චූටි වැන්නන් අනතුරුව තොටළඟ කුඩු ජාවාරමේ කෙරුමන් විය. කපිල යනු තොටළඟ බන්දුගේ නැගණියගේ පුත්‍රයකු වූවේය.

අද මෙන් ඒ යුගයද කුඩු ජාවාරමේ ඔටුන්න වෙනුවෙන් හෝ වෙනත් විරසකයක් හේතුවෙන් කුඩු කෙරුමෝ එකිනෙකා ලෙයට ලෙය සොයා ගිය කාලයක් වූහ. වර්තමානයේ මෙන් ඒ කාලයේ ටී 56 ගිනි අවි පත්තු වූයේ නැත.

පෙරමුණේ තිබුණේ ඩප්පිය, ඇසිඩ් පාර, මන්නය, කඩුව සහ ගල්කටස්ය. ඇතැම් අවස්ථාවල රිපීටර්ද පත්තු වුණේය. මෙසේ කුඩු පාතාලය ලෙයට ලෙය සොයා යද්දී අකාලයේ මියගිය කල්ලි සාමාජිකයෝද රැසක් වෙති. ඒ අන්දමට සිදු කළ මිනිස් ඝාතනයක් හේතුවෙන් පසු කාලෙක මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගත වන්නට කපිලට සිදුවූ අතර ඉකුත් 2012 වසරේදී ඇතිවූ බන්ධනාගාර ගැටුමේදී කපිල මරණයට පත්විය.

කපිල එසේ මියගියද තොටළඟ ජපන් චූටි සහ නවුෂාඩ් අදටත් ජාවාරමේ යෙදෙන්නේය. මේ අතරින් අද තොටළඟ සිටින ප්‍රබලම මත්කුඩු ජාවාරම්කරුවා බවට පත්ව සිටින්නේ ජපන් චූටිය. නවුෂාඩ්ද ජාවාරම මෙතෙක් අතහැර නැත.

කපිල ගියත් නතර නොවන…තොටළඟ ජපන් චූටි - නවුෂාඩ් ගේ කුඩු මෙහෙයුම්

ඉතිහාසයේ ප්‍රථම වරට හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ජපන් චූටිට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන එකම එක නඩුවක් පවතින අතර එසේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංගජීව මහතාය. එසේම පොඩි කන්නාට එරෙහිව ගම්පහ අධිකරණයේ කුඩු නඩුවක් විභාග වන අතර එහිදීත් කුඩු කන්නා අත්අඩංගුවට ගෙන ඇත්තේ රංගජීව මහතාය.

ජපන් චූටි තොටළඟ කුඩු ජාවාරමේ ප්‍රබලයකු යැයි කීවද ඊටත් එහා අනාවරණය වන තොරතුරු රැසක්ද තොටළඟ කුඩු කතාවේ ඇත. බන්දු සහ ලොකු කන්නා සිටියේ තොටළඟ කුඩු ජාවාරමේ ආරම්භක සාමාජිකයන් ලෙසිනි. පසු කලෙක බන්දු ප්‍රතිවිරුද්ධ කල්ලියක් අතින් ඝාතනයට ලක් විය.

හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පොලිසියට හසුවී බන්ධනාගාරගතව සිටි ලොකු කන්නා ඇප මත නිදහස් වීමත් සමඟ කලකට ඉහත ඉන්දියාවට පැනගියේය. පොඩි කන්නා සහ සුවරාජ් යනු තොටළඟ කුඩු ජාවාරමේ තවත් චරිත දෙකකි. මේ කිසිවකුත් අදටත් ජාවාරම අතහැර නැත.

මේ වන විට තොටළඟ ජාවාරමුන්ට මත්කුඩු තොග සපයන ප්‍රබලම ජාවාරම්කරුවා බවට පත්ව සිටින්නේ මැලේසියාවේ සිටින නන්දේය. කුඩු නන්දේගේ සබඳතාව මේ වන විට ප්‍රංශයේ රූබන් සහ ලාල් දක්වාම විහිදී තිබෙන්නකි. මේ අනුව තොටළඟ කුඩු ජාවාරමේ ජාලය අද ඉන්දියාවේ සිටින ලොකු කන්නා හරහා ඉන්දියාව ඔස්සේ විහිදී යමින් මැලේසියා නන්දේ මගින් ප්‍රංශය දක්වාම ගමන් කර අවසානය.

තොටළඟ පිළිබඳව කතා කිරීමේදී අමතක කළ නොහැකි තවත් චරිතයක් වන්නේ කැළුම්ය. මේ කියන කැළුම්ද කුඩු ජාවාරමේ ප්‍රබලයකු බවට පත්ව සිටින අතර කලකට ඉහත වෝඩ් පෙදෙසේ මොහොමඩ් සියාම් මත්කුඩු කිලෝ හයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගැනෙන්නේ කැළුම් හරහා ගිය මෙහෙයුමකට අනුවය.

රට විනාශ කරන තොටළඟ කුඩු කතාව එසේ වුවද මේ කාලයේ තොටළඟ කුඩු ජාවාරමේ අංක එකට කියැවෙන නාමයක් බවට පත්ව සිටින්නී තොටළඟ පොඩ්ඩීය. පොඩිගේ වැඩිමහල් සොයුරිය තොටළඟ ලොක්කීද පොඩ්ඩිට දෙවැනි නැත.

පොඩ්ඩීත් ලොක්කීත් සමඟ තොටළඟ කුඩු ජාවාරමේදී සඳහන් වන තවත් ප්‍රබල චරිතයක්ද ඇත. ඇය තොටළඟ කුඩු කුමාරි හෙවත් සුද්දීය. සුද්දී හෙවත් තොටළඟ කුඩු කුමාරි යනු කලකට ඉහත ඉන්දියාවට පැන ගිය ලොකු කන්නාගේ බිරිඳය. ලොකු කන්නා ඉන්දියාවට පැන යෑමෙන් පසු තොටළඟ සුද්දී හෙවත් කුඩු කුමාරි ජාවාරම අතට ගත්තේය.

පොඩ්ඩී, ලොක්කී සහ සුද්දී කියන චරිත තුන අතරිනුත් ප්‍රබලම චරිත දෙක වන්නේ පොඩ්ඩී සහ සුද්දීය. පොලිසියේ සමහර නිලධාරීන් කියන විදිහට සුද්දී සහ පොඩ්ඩී සිදු කරන කුඩු ජාවාරමේදී දිනපතා අලෙවි කරන හෙරොයින් මත්කුඩු ප්‍රමාණය කිලෝ හතරකි. එක් අයකු දිනකට මත්කුඩු කිලෝ දෙකක් පමණ ජාවාරම් කරන බවද කියන්නේ පොලිසියේ අයය.

එසේ මහා පරිමාණ කුඩු ජාවාරමක් සිදු කළද නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් සුද්දීට සහ පොඩ්ඩිට එල්ල වන පීඩනය ඉතා අවම එකක් බවද ඔවුන් පවසයි. තොටළඟ ප්‍රදේශයට ආසන්න පොලිසිවල ඇතැම් නිලධාරීන්ම මේ අනාවරණ සිදු කරන අතර එසේ පීඩනය අවම කර ගැනීම සඳහා පොඩ්ඩී සහ කුඩු කුමාරි මසකට වීසි කරන මුදල රුපියල් ලක්‍ෂ තිහක් පමණ වන බවද ඔවුන් කියන්නේය.

මේ නිසා ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ලෙසින් ආසන්න පොලිස් ස්ථාන දෙකක් තිබුණද පොඩ්ඩිට සහ කුඩු සුද්දීට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන තත්ත්වයක පවතින බවද ඔවුහු කියති. එම තත්ත්වයට බලපාන තවත් හේතුවක්ද ඇත. කුඩු පොඩ්ඩීට සහ කුඩු කුමාරි හෙවත් සුද්දීට එරෙහිව ක්‍රියාත්මක වීමට කිසිදු පොලිස් නිලධාරියකුට මේ වන විට නොහැකි වීම එම හේතුවය.

කිසියම් නිලධාරියෙක් පොඩ්ඩීගේ සහ සුද්දීගේ කුඩු ජාවාරමට අත තැබුවහොත් ඔහුට සිදු වන්නේ සැණෙකින් ලැබෙන ස්ථාන මාරුවක් සමඟ වෙනත් පොලිසියකට යෑමටය. තොටළඟ පොඩ්ඩිගේ සහ කුඩු කුමාරිගේ සබඳතා අද වන විට එතරම් ප්‍රබල තැනක ඇත.

තොටළඟ පොඩ්ඩිට සහ කුඩු සුද්දිට එරෙහිව මෙහෙයුමක් සිදු කෙරුණොත් පළමුව ඔවුන් දෙදෙනා යන්නේ මානව හිමිකම් කොමිසමටය. දෙවනුව යන්නේ පොලිස් මූලස්ථානයේ මහජන පැමිණිලි අංශයටය. එසේ ගොස් සිදු කරන පැමිණිලිවලින් පසුව පැවැත්වෙන විමර්ශනවලදී බොහෝ විට සිදුව තිබෙන්නේ මෙහෙයුම සිදු කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු ලැබීමය.

ඉන්දියාවේ සිටින ලොකු කන්නා සහ මැලේසියා නන්දේ හරහා තොටළඟ කුඩු ජාවාරම ප්‍රංශයේ රූබන් දක්වාම පැතිරී තිබෙන අතරේ පොඩ්ඩිට සහ කුඩු කුමාරිට ජාවාරම සඳහා කුඩු තොග ලැබෙන තවත් ක්‍රමයක් වී තිබෙන්නේ අත්අඩංගුවට ගන්නා මත්කුඩු තොග ඇතැම් පොලිස් නිලධාරීන් හරහා ඔවුන්ට ලැබීමය.

තොටළඟ කුඩු පොඩ්ඩී සිදු කරගෙන යන කුඩු ජාවාරම පසුපස ඉකුත් කාලයේ එක්තරා ආරක්‍ෂක බුද්ධි අංශ කණ්ඩායමක් පන්නාගෙන ගියේය. ඔවුන් ක්‍රමයෙන් තොටළඟ 75 වත්තේ ඇති පොඩ්ඩිගේ නිවස ආසන්නය දක්වාම රහසේ ළඟා විය. එසේ මෙහෙයුම අවසානයට ළඟා වෙද්දී ඒ බව පොඩ්ඩී දැන ගත්තේය.

ඒ සමඟ පොඩ්ඩී වැඩ ආරම්භ කළේය. පොඩ්ඩී ප්‍රබල වූවාය. ආරක්‍ෂක බුද්ධි අංශ කණ්ඩායමට සිදුවූයේ ලොකු ගැටලුවකට මුහුණ දී මෙහෙයුම අතහැර පසුබසින්නටය. දිනකට මත් කුඩු කිලෝ දෙකක් අලෙවි කරන බව කියන පොඩ්ඩී පහර දෙන්නේ ඒ අන්දමටය.
මේ නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ අනෙකුත් වැටලීම් කණ්ඩායම් පොඩ්ඩිගේ කුඩු අල්ලන්ට තොටළඟට යන්නේ නැත. පොලිසියේ සහ සුරාබදු එකේ ඇතැම් නිලධාරීන් සමහර වෙලාවට තොටළඟට යන්නේය. ඒ යන්නේ පොඩ්ඩී හමුවී සතුටු සාමීචියේ යෙදෙන්නටය.

එනිසා පොඩ්ඩී සහ කුඩු කුමාරි හිතේ හැටියට තොටළඟ සිටිමින් රට විනාශ කරන්නීය. පොලිසියට කොහෙත්ම බියක් නැත. ඒ අතරේ වාර්තා වෙන්නේ පසුගියදා ඉන්දියාවේදී නඩු පැවරුණු බුම්මා ඇතුළු චරිත කිහිපයක් නිසා කුඩු කුමාරි පාතාල කෙරුම්කාරියකද වී සිටින බවය. පොඩ්ඩි අද තොටළඟ 75 වත්තේ සිට ජාවාරම සිදු කරද්දී කුඩු කුමාරිගේ රාජධානියා වී තිබෙන්නේ තොටළඟ මෙත්සෙවන ඇතුළු මහල් නිවාස ප්‍රදේශය.

එසේම මේ දෙදෙනාටම වත්තල, රාගම ඇතුළුව විවිධ තැන්වල සුපිරි නිවාස තිබීම නිසා ඒ තැන් කුඩු ජාවාරමේ බංකර වී තිබෙන බවද කියන්නේය.

තොටළඟ කුඩු ජාවාරමේදී පොඩ්ඩි සහ කුඩු කුමාරිගෙන් පසුව කියැවෙන නම් කිහිපයක්ද ඇත. කුඩු සඳා, හේමමාලි, කළු නංගි සහ කුඩු චූටි යන්නන් ඔවුන්ය. තොටළඟ කුඩු ජාවාරමේදී පුරුෂ පාර්ශ්වය පරදා අද ස්ත්‍රීන් ක්‍රියාත්මකව සිටින්නේ එසේය.

අනෙකුත් පිරිස බොහෝ විට සිදු කරන්නේ පොඩ්ඩි සහ කුඩු කුමාරි විසින් දිනපතා කුඩු පැකට් සියයක් සහිතව ලබාදෙන පාර්සල් සිල්ලරට අලෙවි කිරීම බව අනාවරණය වී ඇත. එසේ බෙදාහැරීමට කුඩු පැකට් කිරීම සඳහා පොඩ්ඩී සහ කුඩු කුමාරි ළඟ තොටළඟ ඇතුළු ආසන්න ප්‍රදේශවල සිටින කාන්තා බළකායක්ම වැටුප් ලබමින් සේවය කරන බවද පොලිසියට අනාවරණය වී ඇත.

තොටළඟට ආසන්නව ඇති මෙරට තවත් හෙරොයින් මත්කුඩු ජාවාරමේ රාජධානි බවට අද පත්ව තිබෙන්නේ මට්ටක්කුලිය සහ මෝදර ප්‍රදේශයන්ය. මට්ටක්කුලිය සමිට්පුර මහල් නිවාස සංකීර්ණය යනු අද වන විට අතිබහුතරයක් දෙනා ස්වයං රැකියාවක් ලෙස කුඩු ජාවාරමේ යෙදෙන ප්‍රදේශයකි.

එසේම තොටළඟ පරදා මට්ටක්කුලිය සහ මෝදර ප්‍රදේශවල විශේෂය වන්නේ කුඩු පාතාලය දරුණු ලෙසින් ක්‍රියාත්මක වීමය. පසුගිය කාලයේ බස්නාහිර පළාත තුළ ගිනි අවි පත්තු වීම සහ මිනිස් ඝාතන සිදු වූයේ නම් ඉන් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේද මේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙනය. සමිට්පුර පිළිබඳව කතා කිරීමේදී කියැවෙන දෙදෙනකු වන්නේ මාලිංග සහ කුඩු රෝෂාන්ය.

සමිට්පුර මහල් නිවාස සංකීර්ණයේ කුඩු රාජධානියට අමතරව මේ වන විට මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු ජාවාරම ගැන කතා කිරීමේදී බොම්බේ වත්තේ නෝනා අක්කා, චූටි, කදිරානවත්ත දිල්කි, දෙයියා, හේනමුල්ල සංජු, චම්පා, කටචූටි ඉහළින් සඳහන් චරිත වී ඇත.

චූටි උකුං කල්ලිය ක්‍රියාත්මක වීමේදී මට්ටක්කුලිය කුඩු ජාවාරම මෙන්ම ඝාතන රැල්ලද ඉහළින්ම සිදුවූ අතර අදටත් ඒ පාර්ශ්වයන්ද ජාවාරමේ නිරතය. එසේම වැල්ලේ සුරංගගේ කල්ලියද ක්‍රියාත්මක වීම හේතුවෙන් මෝදර මට්ටක්කුලිය කුඩු ජාවරමද පවතින්නේ ඉතා විනාශකාරී තැනකය. අදටත් ඝෘතන රැල්ලද මෙම ප්‍රදේශවල පෙර සේම ක්‍රියාත්මක අතර කලින් කලට මතුවන කල්ලි සාමාජිකයෝ ඝාතන සංස්කෘතිය මඟ නොහැර ඉදිරියට ගෙන යමින් සිටින්නාහ.

මේ සියලු දේ සිදුවන්නේ ලොව දරුණුම ත්‍රස්තවාදය යැයි කී එල්ටීටීඊ ත්‍රස්තවාදය තෙවසරකින් නිමා කළ හමුදාවක් සහ එම සටනේ කොටස්කරුවන් වූ නිර්භීත පොලිසියක් පොලිස් විශේෂ කාර්ය බළකායක් රටේ තිබියදීය. ඒසා විජයග්‍රහණයක් රටට ගෙන දෙනු ලැබූවද කුඩු පාතාලය ඉදිරියේ අද සියල්ල නිහඬය.

මේ අනුව බලන කල පාලකයිනි මේ රටේ සාමාන්‍ය ජනතාව ඉතාම අසරණ අවාසනාවන්තයෝ වී නොසිටිතිද?

ලබන සතියේ

මෝදර, මට්ටක්කුලිය සිට කොළඹ

මාලිගාවත්තේ කුඩු පාතාලයේ කතාව

පැතුම් රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment