කබ්රාල් දැනුවත්ව වරදක් කර නැහැ: සිතාසි ලැබුණත් නැතත් උසාවි එයි

685

ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු

දැනුවත්ව වරදක් සිදු කර නොමැති සිය සේවාදායකයාට අධිකරණය මඟ හැර යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අධිකරණය විසින් නිකුත් කළේ යැයි කියන සිතාසි ලැබුණත් නැතත් ඉදිරි නඩු දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැබවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙරේදා (23 දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැවසීය.

පැමිණිල්ල විසින් ඒකපාර්ශිකව කරුණු දක්වා අධිකරණයෙන් ලබාගෙන ඇති සිතාසි නියෝග මේ දක්වා ඔහුට ලැබී නැතැයි ද ජනාධිපති නීතිඥවරයා එහිදී අතිරේක මහෙස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති පෞද්ගලික නඩුකරය කැඳවූ අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් පැමිණිල්ල විසින් සිය සේවාදායකයාට එරෙහිව නඟා ඇති චෝදනා පදනම් විරහිත වන බැවින් ඉදිරි නඩු දිනයේදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සූදානම් බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම නඩුව ලබන ජුලි 25 වැනිදා යළි කැඳවීමට අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වන අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබාදීමට උත්සාහ දැරීම නිසා දෙපාර්ශ්වය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර අනවශ්‍ය වාද විවාද සිදු නොකර අධිකරණයට අවශ්‍ය කරුණු පමණක් දක්වන ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට අවවාද කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment