බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ගෙදරයැවූ විසකුරු හාදුව

347

නන්දජීව සූරියබණ්ඩාර

එක්සත් රාජධානිය කොවිඞ් වසංගතය හමුවේ තවමත් පවතින්නේ අසීරු අඩියකය.මෙම බැරූරුම් තත්ත්වය හමුවේ කෝටි හතකට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් වගකිවයුතු සෞඛ්‍ය ලේකම් වරයාගේ නොමනා හැසිරීමක් ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්වීමෙන් පසු අපහසුතාවයට පත්වූ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් 2021 ජුනි 26 වනදා සිය ඉල්ලා අස්වීම භාරදි ඇත.ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් පසු මාධ්‍ය ඇමතූ හිටපු ලේකම්වරයා සිය නුසුදුසු හැසිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ප‍්‍රකාශ කලේය.මෙම අවස්ථාවට සිපගැනීමට ලක්වූ ඔහුගේ උපදේශිකාව වන ජීනා කොලඩන්ජෙලෝ ද සහභාගී වී සිටිනු දක්නට ලැබුන අතර එහිදී ඇය සිනහමුසු මුහුණින් සිටිනු දකින්නට ලැබුණි.කෙසේ වෙතත් අගමැති බොරිස් ජොන්සන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මැට් හැන්කොක්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ගෙදරයැවූ විසකුරු හාදුව

බි‍්‍රතාන්‍යයේ පලවන සන් පුවත්පත ජුනි 26 වන දින විශේෂ වාර්ථාවක් පලකරමින් කියා සිටියේ මැට් සිය විවාහක බිරිදට මෙන්ම බි‍්‍රතාන්‍ය ජනතාවටද වංචා කර ඇති බවයි.පුවත්පත් වාර්ථාව සමග විනාඩි 1යි තත්ත්පර 6 ක කාලයකින් යුත් වීඩියෝවක් ප‍්‍රසිද්ධකර ඇති අතර වීඩියෝවෙන් දැක්වෙන්නේ මැට් සිය කාර්යාල කාමරය තුලදී සිය උපදේශිකාව සිප වැළදගනිමින් අනිසි ලෙස හැසිරෙමින් සිටින බවයි.පුවත්පත සදහන් කරන ආකාරයට මෙම සිදුවීම මැයි 6 වන දින සවස 3 ට පසුව සිදුවී ඇති අතර එදින පලාත් පාලන මැතිවරණය හේතුවෙන් වෙස්මිනිස්ටර්හි පරිශ‍්‍රය කාර්යබහුල වී තිබෙන අතරවාරයේ මෙම සිදුවීම සිදුව තිබේ.

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් ගෙදරයැවූ විසකුරු හාදුව

ඔහු සිපවැළදගත් ජීනා කොලඩන්ජෙලෝ 1977 අගෝස්තු 13 වන දින උපත ලබා ඇති අතර ඇය මේ වන විට 43 වියෙහි පසු වෙයි.කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් වන ඇය සමාජ සේවිකාවක මෙන්ම ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීමේ කණ්ඩායම් ක‍්‍රියාකාරිණියක් ලෙසද ප‍්‍රසිද්ධය. නීතීඥයෙකු වූ ග්ලේන් ගිබ් සමග වූ සිය පළමු විවාහයෙන් දික්කසාද වීමෙන් අනතුරුව 54 හැවිරිදි ව්‍යාපාරිකයෙක් වන ඔලිවර් ටෙ‍්‍රස් සමග 2009 වසරේදී විවාහ වන ඇයට දරුවන් තිදෙනෙකු සිටින අතර ඔවුන් සමග දකුණු ලන්ඩනයේ නිවසක පදිංචිව සිටියි. මැට් හැන්කොක් විසින් ඇය සිය උපදේශිකාව වශයෙන් පසුගිය වසරේ සේවයට බදවාගෙන ඇත .

මැතිව් ජෝන් ඬේවිඞ් හැන්කොක් හෙවත් මැට් හැන්කොක් 1978 ඔක්තෝම්බර් 2 වන දින උපත ලබා ඇති අතර ඔහු මේ වන විට 42 හැවිරිදි වියේ පසු වෙයි. 2006 වසරේදී මාර්තා හෝයර් මිලර් සමග විවාහ වූ ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටින අතර ඔවුන්ගේ විවාහ දිවිය වසර 15 ක් දීර්ඝ සාමකාමී සම්බන්ධතාවයක් ලෙස සැලකෙයි.1950 දශකයේ බටහිර ජර්මනියේ බි‍්‍රතාන්‍ය තානාපති ලෙස කටයුතු කල බාරොන් ඉන්චිරාගේ දියණියක වන මාර්තා සිය සැමියාට වෙනස්ව සිය පවුලේ තොරතුරු පෞද්ගලිකව තබාගැනීමට කැමති කෙනෙක් වන අතර ඇය මාධ්‍ය ඉදිරියට එන්නේ කලාතුරකිනි.කෙසේ වෙතත් අනාචාර හැසිරිම අනාවරණය වීමෙන් පසුව මැට් සිය වසර 15 විවාහ දිවිය අවසන් කර මාර්තාව හැර ගිය බව වාර්ථා වෙයි. 1999 දී කොන්සර්වේටිව් පක්‍ෂයෙන් ජාතික දේශපාලනයට පිවිසි මැට් 2010 වසරේදී බටහිර සෆොල්ක් හි මහජන නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති අතර ඉන් අනතුරුව නිපුනතා හා ව්‍යවසාය, බලශක්ති,ආදී අමාත්‍ය ධූර කිහිපයක් දරා ඇති මැට් 2015 දී එක්සත් රාජධානියේ දූෂණ විරෝධී බලකායේ ප‍්‍රධානියා ලෙසද කටයුතු කලේය.2019 වසරේදී තෙරේසා මේ අගමැති ධුරයෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මැට් හැන්කොක් කොන්සර්වේටිව් පක්‍ෂ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත්වූ නමුත් පළමු ඡන්ද විමසීමේදී ලැබුන 20 ක්වූ අඩු ඡන්ද ප‍්‍රමාණය හේතුවෙන් පසුව තරගයෙන් ඉවත් විය.

අනාචාර සිදුවීම අනාවරණයෙන් පසුව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කොන්සර්වේටිව් මෙන්ම ලේබර් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ද හැන්කොක්ට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කල අතර බොහෝ සමාජ ක‍්‍රියාකාරීන් මෙන්ම සංවිධානද ඔහු ඉවත්ව යා යුතු බවට හඩ නගන ලදි.මැට් හැන්කොක්ගේ ඉල්ලා අස්වීමට මෙම පීඩනය බලපෑ බව පිළිගැනේ.ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු බි‍්‍රතාන්‍ය සෞඛ්‍ය ලේකම් තනතුරට අගමැති තෙරේසා මේ යටතේ ස්වදේශ කටයුතු ලේකම් ලෙස සේවය කල සජිඞ් ජාවිඞ් පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment