කලාව ජීවිතය කරගෙන තවත් පිරිසක් ජීවත් කරවන රංජිත්

447

කලා හැකියාවන් සැමට පිහිටන්නේ නැත. එතෙක් කලාව ජීවිතය කරගෙන තම ජීවිතය සාර්ථක කරගත් අපූර්ව පුද්ගලයන් අපට මුණගැසෙන අවස්ථා ඇත. පිටිපන දකුණ, ප්‍රසන්න පාර හෝමාගම පදිංචි කේ. ඩී. රංජිත් මහතාද එවන් අපූර්ව කලාකරුවෙකි. ගොක්කොළ කලාව පිළිබඳ සුවිශේෂී හැකියාවන් ඇති රංජිත් මහතා මංගල පෝරු නිර්මාණය කිරීමට හැකියාවක් ඇති අයෙකි. අෂ්ඨක කියවීමේද දක්ෂතා දක්වන ඔහු මංගල උත්සව අවස්ථාවලට නැතිවම බැරි අයෙකි. සිය කටහඬ පෞරුෂය ඔස්සේ නිවේදන කටයුතුවල නිරත වන රංජිත් එම කටයුතු සිදුකරනුයේ සමාජ සේවයක් ලෙසිනි. කලාව වෙනුවෙන් කළ සේවය අගයා සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමින් ඔහුට දේශ ගෞරව සම්මානය ලබාදී ඇත.

කලාව ජීවිතය කරගෙන තවත් පිරිසක් ජීවත් කරවන රංජිත්

ඔහු දැනට තම ජීවන වෘත්තිය කරගෙන ඇත්තේ බුදු පිළිම, දේව පිළිම ඇතුළු විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමයි. කලාවට ඇති ආසාව නිසාම ඔහු කුඩාවට ආරම්භ කළ මෙම කටයුත්ත නිසා අද තවත් පවුල් පහළොවකට පමණ ජීවත්වීමේ සෘජු රැකියා මාර්ග උදාවී ඇත. ඊට අමතරව තව පිරිසකට වක්‍ර රැකියා අවස්ථා හිමිව ඇත.

 ‘තිරසර පූජා භාණ්ඩ නිර්මාතෘ වන ඔහු තමන් ආ ගමන් මඟ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.

 ‘මම කුඩා කාලයේ සිටම කලාවට කැමතියි. පාසලේදීත් චිත්‍ර කලාව මගේ ප්‍රියතම විෂයක් වුණා. පාසලෙන් අස්වූ පසුව 1983 දී හෝමාගම ප්‍රදේශයේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරන ආයතනයක රැකියාවට යනවා. එහි ලැබූ අත්දැකීම් අනුව පසුකාලීනව මම තනියම මෙම කටයුත්තට යොමු වෙනවා. ඒ අවස්ථාවේදී බුදු පිළිම, විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය කොළඹින් ගෙනත් දී මගේ පියා වන කේ. ඩී. ජයසේන මහතා ගොඩක් උදව් කළා. 1990 දී මම කසාද බඳිනව. මාගේ සහකාරිය වුණේ නිලන්ති ගලගෙදර මහත්මියයි. පසුව අපේ ජීවිතවලට පුතා (චමිදු ගයාෂාන්) සහ දුව (දිලක්ෂි සේවන්දි) එක්වෙනවා. දැන් අප පවුලක් විදිහට ඉතා කැමැත්තෙන් මේ වෘත්තියේ යෙදෙනවා.

 බුදුපිළිම, දේව පිළිම සහ විසිතුරු නිර්මාණවලට දේශීය වශයෙන් හොඳ ඉල්ලුමක් පවතින බව රංජිත් මහතා පවසයි. ඉදිරියේදී ඩොලමයිට් උපයෝගි කරගෙන මෙම කර්මාන්තය ඉදිරියට ගෙනියන බවද ඔහු පවසයි. ඕනෑම අයකුට ජිවත්වීමට ප්‍රමාණවත් ආදායමක් අවශ්‍යයි. එහෙත් අධික ලාභ ලැබීමේ පරමාර්ථයෙන් යුතුව තම ව්‍යාපාරය කරගෙන නොයන බවද ඔහු පවසයි.

 ‘අප දුෂ්කර පළාත්වල පන්සල්වලට පිළිම ලබාදීමේදී අය කරන්නේ සහන මිලක්. ඒ වගේම තමයි අපගෙන් පිළිම සහ විසිතුරු භාණ්ඩ මිලදී ගෙන ඒවා තවත් අයට අලෙවි කර ජිවන මාර්ගය සලසා ගන්නා පිරිසක් ඉන්නවා. ඒ අයට මම අපගේ පිළිම සහ විසිතුරු භාණ්ඩ ලබා දෙන්නේ ඉතා සුළු ලාබයක් තියා ගෙනයි. මේ කටයුත්ත නිසා යම් පිරිසකට ජිවන අවස්ථාව සලසාදීමට හැකිවීම ගැන මට ඇත්තේ විශාල තෘප්තියක්.’

 “තිරසර පූජා භාණ්ඩ” නිර්මාතෘ කේ. ඩී. රංජිත් මහතා අලුත් නිර්මාණයක් කිරීමේදී වේශ නිරූපන ශිල්පී ප්‍රේමලාල් ලියනගේ මහතාගෙන් උපදෙස් ලබාගන්නා බවද අප සමඟ සඳහන් කළා. දැනට පවතින උද්ධමනය නිසා අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම තම ව්‍යාපාරයට යම් බලපෑමක් කළද තම කටයුතු ඉදිරියට කරගෙන යන බව ද රංජිත් මහතා පවසයි. සමාජ සේවයට වැඩි කැමැත්තක් දක්වන කේ. ඩී. රංජිත් මහතා හෝමාගම විවිධ සේවා සමුපකාර සමිතියේ අධක්‍ෂ්‍යවරයකු ලෙස ද කටයුතු කරමින් සිටී.

 වසන්ත ලියනගේ.
 ඡායාරූප – සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment