කසකස්තාන සංචාරය අවලංගු වුණා – මලල කී‍්‍රඩා සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු

240

කසකස්තාන තරග සංචාරය කෙරෙහි තබා තිබූ අවසාන බලාපොරොත්තුව ද ඊයේ (17 දා) උදෑසන අත්හැර දැමූ බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ අනුව කසකස්තාන තරග සංචාරය අවලංගු කළ බවත් මේ තත්ත්වය උදා වූයේ කසකස්තාන මලල කී‍්‍රඩා බලධාරීන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා කණ්ඩායමට ඔන් ලයින් වීසා ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි ලබාදීමට කටයුතු නොකිරීම බව ද පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ඔවුන්ගේ මේ හැසිරීම් කනගාටුවට කරුණක්. අපි ඊයේ උදේ වනතුරුත් ඔවුන්ගෙන් සාර්ථක පිළිතුරක් ලැබෙයිදෝ කියා බලාපොරොත්තුවෙන් සිටියා. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම අදාළ මළල කී‍්‍රඩා කණ්ඩායමේ සියලූ නිලධාරීන් තරග සංචාරයට අවශ්‍ය සියලූ දේ සම්පූර්ණ කරගෙන සිටියා. අවසාන මොහොතේ තරග සංචාරය අවලංගු කරන්න සිදු වුණා. අපේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලොකු අසාධාරණයක් වුණා යැයි ද පාලිත ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටියේය.

ලෝක මළල කී‍්‍රඩා සංගමයේ වර්ගීකරණය අනුව කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලකුණු ලැබෙන තරගාවලියක් වන කසකස්තාන තරග සංචාරය සඳහා ශී‍්‍ර ලංකාවෙන් නිමාලි ලියනආරච්චි (මීටර් 800 කාන්තා) කාලිංග කුමාරගේ (මීටර් 400 පිරිමි) සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), නදීෂා රාමනායක (මීටර් 400 කාන්තා) සහ සුපුන් අබේකෝන් (මීටර් 100 පිරිමි) යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් අදාළ තරග සංචාරයට නිර්දේශව සිටියහ. ලබන 18 වැනිදා සහ 19 වැනිදා කසකස්තානයේ අල්මාට් නගරයේදී මෙම තරගාවලිය පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment