කෑමවලට සල්ලි හොයන රටකට හදපු ජම්බෝ ඇමැති කුට්ටම

372

ලක්ෂ 220 වන ජනගහනයෙන් බහුතරයක් හිඟමනට පත්කළ 2019 බලයට පැමිණි කණ්ඩායම වැඩි කලක් නොගොස් අමාත්‍ය මණ්ඩලය ද 30 දක්වා ඉහළ දමනු ඇත. එහි සැකයක් නැත. ව්‍යවස්ථාවෙන් කැබිනට් ඇමැතිවරුන් 30 සහ කැබිනට් නොවන ඇමැතිවරු 40 පත් කිරීමට අවසරය ඇත. මැති ඇමැතිවරු සැනසෙනවා නම් ජනතාව බඩගින්නේ මළත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත.

රට පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබිඹු කරන්නේ පාර්ලිමේන්තුවේ අසාර්ථක භාවයයි.

තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික-දේශපාලනික-සමාජීය අර්බුදයට මහමැතිවරණයක් කිසිසේත්ම පිළිතුරක් නොවේ. ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එයමය.

අර්බුදය විසඳීමට මහ මැතිවරණයක් ඉල්ලා බලකරන දේශපාලන පක්ෂ සහ ප්‍රධාන පක්ෂවලින් කැඩීගිය සියලුම කණ්ඩායම්වලට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා අවධාරණය කළේ එම අවාසනාවන්ත තත්ත්වයයි. ලැජ්ජා සහගත සත්‍යයයි.

නමුත් කිසිදු දේශපාලන පක්ෂයක් එතුමා අවධාරණය කළ රටේ අවශ්‍යතාවය තේරුම් ගත් බවක් පෙන්නුම් කරන්නේ නැත. සැබෑ තත්ත්වය වටහා ගැනීමට අවශ්‍යතාවයක් ද නැත. එලෙසම බංකොලොත් රටට දරා ගැනීමට නොහැකි කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් ගණනක් පත් කිරීම ද දරුණු ආර්ථික අපරාධයකි. (විධායකය ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය කරන්නේ කැබිනට් අමාත්‍යවරුන්ය). අධිකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පසුව කරමු.

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 70 පත් කිරීමට ව්‍යවස්ථාවෙන් අවසර දී ඇත. නමුත් ‘ජාතික’ ආණ්ඩුවක් අටවා ගතහොත් 70 සීමාව ඉක්මවා පත් කිරීම් කළ හැකිය. සුළු බහුතරයක් (අවම ලෙස 113) තිබෙන ආණ්ඩුවකට අමාත්‍යවරුන් 70 පත් කිරීමට ව්‍යවස්ථාවෙන්ම ඉඩ සලසා දීම කිසිසේත්ම වටහා ගත නොහැක. එය අහස පොළොව නූහුලන අපරාධයකි. රට බංකොලොත් කිරීමට සාමූහිකව වගකිව යුතු කණ්ඩායමට මැති ඇමැති වරප්‍රසාද දෙති. ජනතාවට බදු ගසති. රුපියල් කෝටි ගණනින් රජයේ බැංකුවලට ණය ගෙවීම් පැහැර හැරිය දූෂිතයින්ගේ ණය කපා හරිති.

රට හිඟමනට වැටුණ ආකාරය සහ එම තත්ත්වයෙන් ගොඩ ඒමට අනිවාර්යෙන්ම ගත යුතු පියවර මහ බැංකු අධිපතිවරයා පැහැදිලි කළේය. පැයක් කළ එම හරවත් දේශනයේදී හදිසි මැතිවරණයක් හෝ අමාත්‍ය මණ්ඩලය ප්‍රසාරණය කිරීමේ අවශ්‍යතාවය කිසි ලෙසකින්වත් සඳහන් වූයේ නැත.

රටේ අවශ්‍යතාවය ආණ්ඩුවේ වුවමනාව නොවන බව තේරුම් ගැනීමට අපහසු නැත. කවුරු බලයේ සිටියත් ඇමැතිවරුන් සහ අනෙකුත් පත් කිරීම් දේවකාරියක් ලෙස කරන බව ජනතාව දනී. පසුගියදා පත්කළ රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනා අතර පොහොට්ටුවේ නොවන මන්ත්‍රීවරු 10 දෙනෙකු සිටිති. (ශ්‍රීලනිප 06, සජබ 02, මහජන එක්සත් පෙරමුණ 01 සහ තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් 01)

සියලුම අත්‍යවශ්‍ය ආහාර, භාණ්ඩ සහ සේවා ජනතාවට උහුලා ගැනීමට නොහැකි ලෙස මිල වැඩිකර ඇති මෙම අවස්ථාවේ සංවේදී ආණ්ඩුවක් ඇමැතිවරුන් පත් කරන්නේ නැත. මහජන නියෝජිතයින් තම පක්ෂයට එරෙහි වී අමාත්‍ය ධුර භාර ගන්නේ නැත.

මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී අගෝස්තු 31 දින කළ නිර්භීත අදහස් දැක්වීම ආන්දෝලනාත්මකය. එතුමා පෙන්වා දුන්නේ වගකීම් විරහිත ‘පොරොන්දු’ දේශපාලනය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන තුරු ආණ්ඩුව වෙනස් කරන මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තේරුමක් නැති බවයි. හේතුව බලයේ සිටින කණ්ඩායම (ආණ්ඩුව නොවේ) මෙන්ම බලයට පැමිණෙන කණ්ඩායම ද තරගයට මෙන් ආර්ථිකය අස්ථාවර කරන බැවිනි. ඒ කිසිසේත්ම ඉටු කිරීමට මහා භාණ්ඩාගාරයට ශක්තිය නොමැති ඡන්ද පොරොන්දු දීමෙනි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමෙනි. මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය විමසා බැලිය යුතු වන්නේ ජනාධිපති නීතිඥ අලි සබ්රි ස්වර්ණවාහිනී නාලිකාව සමග ජුනි මුල් සතියේ කළ සම්මුඛ සාකච්ඡාවකදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකයින් එතුමාව මෙන්ම සමස්ත කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවට කළ බරපතල චෝදනාවද සැලකිල්ලට ගනිමිනි.

වහාම මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරන ජාතික ජන බලවේගය නියෝජනය කරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, විජිත හේරත් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහ බැංකු අධිපතිවරයාගේ කථාව ඇසීමට පැමිණියේ නැත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ මැදිහත්වීමෙන් සංවිධානය කළ මහ බැංකු අධිපතිවරයාගේ අදහස් දැක්වීම සමස්ත පක්ෂ දේශපාලන ක්‍රමයටම එල්ල කළ මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකි. ඇත්ත වශයෙන්ම අර්බුදයට ප්‍රධානම හේතුව පාර්ලිමේන්තුව නැතහොත් ව්‍යවස්ථාදායකය මිස වෙනයම් කරුණක් නොවන බව අවධාරණය විය. පාර්ලිමේන්තු බලය කෙසේ හෝ ලබා ගැනීමට මෙතුවක් කල් දේශපාලන පක්ෂ කළ සටන රටට මාරාන්තික වී ඇත. රටට වින කළවුන් වැජඹෙති.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අතිශය වංචාකාරී තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය පසුගිය දශක කීපය තුළ රට දේශීය සහ විදේශීය ණය උගුලකට හසුකළ ආකාරය මහ බැංකු අධිපතිවරයා අපූරුවට පෙන්වා දුන්නේය. මහජන නියෝජිතයින් ලජ්ජා විය යුතුය.

කවුරු බලයේ සිටියත් ක්‍රියාත්මක බංකොලොත් ආර්ථික ප්‍රතිපත්ති 2005 දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය ඉවක් බවක් නැතුව ජාත්‍යන්තරයෙන් වාණිජ ණය ලබා ගැනීම හරහා වේගවත් කළේය. මහ බැංකු අධිපතිවරයා එම තත්ත්වය කිසිදු පැකිලීමකින් තොරව අවධාරණය කළේය. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මහ බැංකු අධිපතිවරයාගේ දේශනයට සහභාගී වී සිටියේ නැත. දෙවරක් ජනාධිපති මෙන්ම මුදල් ඇමැති ලෙසද බොහෝ කාලයක් කැබිනට් අමාත්‍ය ධුරය දරා ඇති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එම අවස්ථාවට සහභාගී විය යුතුව තිබිණි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද මුදල් අමාත්‍ය ධුරය දරන හෙයින් එතුමාට ද එම අවස්ථාවට සහභාගී වීමට තිබිණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ බහුභූත ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලය පත් කරන තුරු අදාළ අමාත්‍යාංශ ජනාධිපතිවරයාගේ යටතේ ක්‍රියාත්මක වේ. රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනා අතර මුදල් රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙකි. ශ්‍රීලනිපය නොසලකා ආණ්ඩුවට එකතු වූ රංජිත් සියඹලපිටිය සහ පොහොට්ටුවේ ෂෙහාන් සේමසිංහ ය. මුදල් ඇමැති එජාපයෙනි. මහ බැංකු අධිපතිවරයාගේ සම්පූර්ණ කථාව මුදල් විෂය භාර කැබිනට් අමාත්‍යවරයාට සහ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළට සාවධානව ඇසිය හැකිය.

මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවසූ සත්‍ය පොහොට්ටු පක්ෂයට කිසිසේත් අදාළ නැත. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂට හිමි ඉතිරි අවුරුදු දෙකකට වැඩි කාලයට ව්‍යවස්ථානුකුලව ජනාධිපති ලෙස පත් කර ගත් පොහොට්ටු පක්ෂය නැවත සුපුරුදු දේශපාලන ක්‍රියාවලිය ආරම්භ කර ඇත. රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු (එයින් 27 දෙනෙකුම පොහොට්ටු සාමාජිකයන් බව අවධාරණය කළ යුතුය.) පත්කිරීම එම මෙහෙයුමේ කොටසකි. එම අමාත්‍යවරුන් පත් කිරීමද ව්‍යවස්ථානුකුලය. තවත් කැබිනට් නොවන ඇමැතිවරු තුන් දෙනෙකු පත් කර ගැනීමට ව්‍යවස්ථාවෙන් අවසර තිබේ.

ලක්ෂ 220 වන ජනගහනයෙන් බහුතරයක් හිඟමනට පත්කළ 2019 බලයට පැමිණි කණ්ඩායම වැඩි කලක් නොගොස් අමාත්‍ය මණ්ඩලය ද 30 දක්වා ඉහළ දමනු ඇත. එහි සැකයක් නැත. ව්‍යවස්ථාවෙන් කැබිනට් ඇමැතිවරුන් 30 සහ කැබිනට් නොවන ඇමැතිවරු 40 පත් කිරීමට අවසරය ඇත. මැති ඇමැතිවරු සැනසෙනවා නම් ජනතාව බඩගින්නේ මළත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නැත.

රට පත්වී ඇති අවාසනාවන්ත තත්ත්වය පිළිබිඹු කරන්නේ පාර්ලිමේන්තුවේ අසාර්ථක භාවයයි. මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හඳුන්වා දුන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම්වරිය කුෂානි රෝහණධීර අවධාරණය කළේ මුදල් සම්බන්ධයෙන් පූර්ණ වගකීම පාර්ලිමේන්තුවේ බවයි. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ මුදල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ කිසිදු පාර්ශ්වයක් වගකීමෙන් ක්‍රියා කර නොමැති බවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 වසර හතරක කාලයක් තුළ ලබා ගැනීමට

ගිවිසුම් ගතවීම පසුබිමේ මුදල් සම්බන්ධයෙන් සමස්ත වගකීම නිසියාකාරව කිරීම පැහැර හැරීම ලේ වැගිරීමක් කෙළවර විය හැකි බවට ආචාර්ය වීරසිංහ බරපතල අනතුරු ඇඟවීමක් කළේය. එතුමා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ‘අරගලයට’ වඩා නුදුරු අනාගතේදී ඇති විය හැකි ‘බඩගිනි යුද්ධය’ භයානක විය හැකි බවයි. ඒ අවවාදය ආණ්ඩුවට සහ විපක්ෂයට බව අමුතුවෙන් කිව යුතු නොවේ. දේශපාලන පක්ෂවලට දෙන අවවාද බිහිරි අලින්ට වීණා වයනවා වැනිය. රට, ජනතාව බලාපොරොත්තු වන වෙනස කිරීමට කිසිදු පක්ෂයකට අවශ්‍ය නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ විගස බදු කපා හැර රුපියල් බිලියන 600 පමණ මහා භාණ්ඩාගාරයට අහිමි කළ පොහොට්ටු පක්ෂය නැවත බදු ආදායම වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදී ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව සම්මත කරගත් සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමෙන් රජය රුපියල් බිලියන 140 වාර්ෂිකව උපයා ගැනීමට බලාපොරොත්තු වේ. ඊට ලැබුණු වැඩි ජන්ද ගණන 81 කි. පනතට පක්ෂව ඡන්ද 91 ද , විපක්ෂව ඡන්ද 10 ලැබිණි. ආණ්ඩුවට රුපියල් නැතිවී, රටට ඩොලර් නැතිවී, ආර්ථිකය බංකොලොත් වී ඇති මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ හැසිරීම අපූරුය. ගරු මන්ත්‍රීවරු 123 දෙනෙකු ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සිටියේ නැත. පක්ෂයක් ලෙස එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරන මහජන නියෝජිතයින් දෙදෙනා සහ නියෝජිතවරියයි.

පාර්ලිමේන්තුව මාසයකට දින 8 ක් රැස්වේ. ඒ පළමු සතියේ සහ තුන්වන සතියේය. සතියකට දින හතර බැගිනි (අඟහරුවාදා සිට සිකුරාදා). ඇමැතිවරුන්ට රජයේ බංගලා සහ මන්ත්‍රීවරුන්ට මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ වාසය කිරීමේ අවස්ථාව ඇත. වරප්‍රසාද ගොන්නකි. විකුණා ගැනීමටම ආනයනය කරන තීරු බදු රහිත වාහනයක් ලැබෙන එක වරප්‍රසාදයක් පමණි. එය අවභාවිතා නොකිරීම සුදුසුකමක් ලෙස සැලකිය හැක. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් පරාජය වූ ඩලස් අලහප්පෙරුම මැති සබයට මතක් කර දුන්නේ තමන් තීරු බදු රහිත වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව බොහෝ විට අතහැර දැමූ බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම ලියුම්කරු කළ විමසීමකදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයා පැවසුවේ මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍ර අටෙන් ඔහු පාවිච්චි කළේ දෙකක් පමණක් බවයි.

මහ බැංකු අධිපතිවරයාට අමතරව පක්ෂ දේශපාලනය ආර්ථිකය නැත්තටම නැති කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රබල අදහස් දැක්වීමක් ප්‍රසිද්ධියේ කළ එකම ඉහළ නිලධාරියා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පමණි. ලක්ෂ හතරක් පමණ වූ රාජ්‍ය සේවය ලක්ෂ 15 දක්වා වැඩිකිරීම හරහා සමස්ත ආර්ථිකය බිඳ දැමූ ආකාරය නීතිඥ මායාදුන්නේ පැහැදිලි කළේය. නමුත් දේශපාලන නායකත්වයට අනතුරු ඇඟවීම් අදාළ නැත. සුපුරුදු දේශපාලන ක්‍රියාවලියේ යෙදෙති.

● ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ
 

advertistmentadvertistment
advertistmentadvertistment