කුමරතුඟුන්ගේ අගේ

142

කුමරතුඟුවෝ නව මං වෙත පිවිසීමේ අභීත වූවෝ ය. ළමුන් අරමුණු කොට ග්‍රන්ථ ලියමින් ළමා ග්‍රන්ථ සාහිත්‍යයක් ඇති කිරීමත් වියරණ ග්‍රන්ථ සම්පාදනයත් ප්‍රබන්ධකරණය උගැන්වීමට ග්‍රන්ථ සම්පාදනය කිරීමත් “හෙළ හවුල” නමින් හෙළ බස් හිතැතියන්ගේ සංවිධානයක් ඇරැඹීමත් මෙහි ලා නිදසුන් කළ හැකි යි. මේ සියල්ල වස් ගණනක් දුර අනාගතය දැක ගත් ඍජු හා අභීත ක්‍රියාමාර්ග බව අද නිතැතින් ම සනාථ වී තිබේ.

“කුමරතුඟුන්ගේ අගේ
දවසැ දවසැ හෙළ දැයේ
ඉර වගේ හඳ වගේ
ජයට පතළ වේ”

කුමරතුඟු මුනිදසුන් සමරමින් එසේ ලියුවෝ ඔවුන්ගේ සිසු අරිසෙන් අහුබුදුවෝ ය. එය මියුරු ගීයක් කොට ගැයුවෝ සුනිල් සාන්තයෝ ය. එළැඹෙන මාර්තු 02වැනි දාට යෙදෙන්නේ කුමාරතුංග මුනිදාස මහ පඬිදුන්ගේ අසූවැනි ගුණානුස්මරණය යි. දිවි හැර ගොස් අසූ වසක් ගිය තැන ද මහත් හරසරින් සිහි කැරුමට තරම් මහ අගයෙක් කුමරතුඟුවන් සතු වීමෙන් පෙනෙන්නේ අහුබුදුවන්ගේ බස සපුරා නිදොස් බව යි. කුමක් ද මේ අගය?

කුමාරතුංග මුනිදාස ගුරුවරයෙකි; ලේඛකයෙකි; කවියෙකි; පත් හා සඟරා කතුවරයෙකි; පැරැණි ග්‍රන්ථ ශෝධකයෙකි; භාෂාඥයෙකි; ව්‍යාකරණඥයෙකි; මේ හැමට ඉහළින් ජාතියට ජීවය දෙන දැක්මක් පෑ පඬිරුවනකි. ඔවුන්ට තෙරුවන වූයේ රට, දැය හා බස යි. රටත් ජාතියත් නඟා සිටු වීමට නම් පළමු ව බස නඟා සිටු විය යුතු බව දුටු කුමරතුඟුවෝ සිංහල බස අභිවෘද්ධියට පමුණු වීම ස්වකීය ප්‍රමුඛ කාර්යභාරය කොටගත්තෝ ය. ඔවුන්ගේ මේ ව්‍යායාමයෙහි කැපී පෙනෙන ලකුණ ලෙස අපට පෙනෙන්නේ ඍජු හා අභීත භාවය යි. තමන් කියන, කරන දෙයක් නිවැරැදි දැක්මක සිට ඍජු ව, අභීත ව කියුමට, කැරුමට කුමරතුඟුවෝ සමත්කම් පෑවෝ ය. “දවසැ දවසැ ජයට පතළ වන කුමරතුඟුන්ගේ අගය” සැදී ඇත්තේ මේ අභීත, අදීන, ඍජු පිළිවෙත කරණ කොටගෙන බව අපට පෙනේ. දැන් ශතවර්ෂාසන්න කාලයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් එදා ලියූ දෙයක් කියවන අපට අද ද කොතරම් අභීත බවක්, එඩිතර බවක් දැනෙන්නේ ද? මරුට පවා සිනා සුණෝ ය, කුමරතුඟුවෝ;

“ඉදිරියට මැ යවු – හෙළයිනි
ඉදිරියට මැ යවු
මරුට සිනා සෙවු – හෙළයිනි
මරුට සිනා සෙවු”

කුමරතුඟුවෝ රටට දැයට බසට සේවය කිරීම සිය පරම යුතුකම කොට සැලැකූ හ. එහි දී ඔවුන් පෑ එඩිය අදත් අප පුබුද යි;

“දෙසට රැසට බසට සේවාවක් කරන්නට වත හොත් දිවි ගියත් කිම?”

(හෙළ මීයැසිය)

“මා දෙස හෙළ දෙස අන් කිසි දෙසක ට
මා රැස හෙළ රැස අන් කිසි රැසක ට
මා බස හෙළ බස අන් කිසි බසක ට
මේ හිස නො නමමි නො නමමි කිසි විට”

ජාතියේ දුර්වලකම් දුටු කල ඊට පහර දීමට අභීත ව පෙරට ආ කුමරතුඟුවන්ගේ ඍජු විවේචනය හිසට ටොකු ඇන ඇන මඟ දක්වන්නක් වැන්න;

“අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නඟී
හිඟා කෑම බැරි වුණු තැන ලගී ගයා මර ගී”

“සිත නිදහස් බවට
නො පමුණුවා පළමු කොට
නිදහසට සිය රට
ලමු යි යෙති දදහු ඇතියෙන් කට”

(විරිත් වැකිය)

“ජාතියේ ස්වාධීනත්වය ගැනැ කොතරම් මැත දෙඩුව ද, ජාතියේ ස්වාධීනත්වය ගැනැ කොතරම් ආඩම්බර වුව ද, ගැමුණු පැරැකුම්බා ආදීන් කොතරම් මහ හඬින් වැනුව ද දැන් සිංහලයෝ නම් දාස ජාතියෙකි. උන් ගේ ස්වාමීහු ඉංගිරිසිහු මැ නො වෙති. තවත් බොහෝ ජාති උන් ගේ ස්වාමීහු යැ. කොටින් මැ සිංහලයා සිංහලයාට දාස නො වේ. අන් සියල්ලන්ට හේ දාස යි.”

(හෙළ හෙළිය)

“පැරැකුම් දුටුගැමුණු නම් කියමින් නිතර
පැරැදුම් විඳිති ගැහැනුන් අතිනිදු ගෙදර
සැරැහුම් කළ මෙලක වැව් වනමින් පතර
ගැරැහුම් ලබති හිඳැ බඩ ගින්නේ වැතිර”

දෙවියන් කී බසක් වත් කරුණු නො විමසා නො පිළිගන්නැයි කී කුමරතුඟුවෝ අන්ධභක්තිය පිළිකෙව් කළ හ. ඔවුහු විමැසුමත් සත්‍යයත් මහ ඉහළින් සැලැකූ හ. ඔවුන් ඒ අදහස් පෑ අභීත විලාසය කොතරම් අගේ ද?

“පොරණුන් කළ කී දේ හැම මුදුනත් දී පිළිගැනීම
තිරිසන් බව මිනිස් බවට වැඩි යැයි වැනි කියාපෑම”
“විමසුව යි යමෙක් යෙයි නම් නරකාදී
මට සුව යි එහි මැ යනු වෙනතෙකැ නෑදී”

“නො පා බිය ඇත්ත ඇති සැටි කියන දන
අපාය නම් මරණින් මතු වඩින තැන”

පැරැණියන් ගිය මඟ නවීනයන් යා යුතු සැටි කුමරතුඟුවන් කීයේ මෙසේ ය;

“පැරැණියන් ගත් මඟ
ගැන්මේ කවර වරද ද
එමඟැ දැන් නොපැරැණියෝ
නොපැරැණියෙව් යෙත් නම්”

“ව්‍යාකරණ විවරණය” ලියමින් ඔවුන් දක්වන අදහස් කොතරම් නිර්භීත ද යනු කාට වුව ද පෙනේ;

“දැන් දැන් ඇතැමකු ව්‍යාකරණය අනවශ්‍ය කොටැ සලකන්නා සේ පෙනේ. අජීර්ණයෙන් පෙළෙන්නාට ආහාරය කරදරයෙකි. ශබරයාට වස්ත්‍රය සිනාවට කාරණයෙකි. ඒ නයින් බලන කලැ, ව්‍යාකරණය නුරුස්නවුන් ඇති වීම පුදුමයෙක් නො වේ…”

“…එහෙත් මේ රටැ වනාහි භාෂා නීති රීති ආදියෙහි ලා වෙනසෙක් වේ. නොදැනීම පණ්ඩිත කම යැ. දැනීම විහිළුවෙකි”

කුමරතුඟුවෝ නව මං වෙත පිවිසීමේ අභීත වූවෝ ය. ළමුන් අරමුණු කොට ග්‍රන්ථ ලියමින් ළමා ග්‍රන්ථ සාහිත්‍යයක් ඇති කිරීමත් වියරණ ග්‍රන්ථ සම්පාදනයත් ප්‍රබන්ධකරණය උගැන්වීමට ග්‍රන්ථ සම්පාදනය කිරීමත් “හෙළ හවුල” නමින් හෙළ බස් හිතැතියන්ගේ සංවිධානයක් ඇරැඹීමත් මෙහි ලා නිදසුන් කළ හැකි යි. මේ සියල්ල වස් ගණනක් දුර අනාගතය දැක ගත් ඍජු හා අභීත ක්‍රියාමාර්ග බව අද නිතැතින් ම සනාථ වී තිබේ. “කුමර ගී, ශික්ෂා මාර්ගය, කියවන නුවණ, හත්පණ, හීන්සැරය, මඟුල් කෑම” ආදිය පොහොසත් ළමා ග්‍රන්ථ සාහිත්‍යයක් ඇති කළේ ය. “ක්‍රියා විවරණය, ව්‍යාකරණ විවරණය” ආදිය සිංහල වියරණය හෙළි කළේ ය. “ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ධ සංග්‍රහය, විරිත් වැකිය, හෙළ මීයැසිය” ආදිය ප්‍රබන්ධකරණයට මඟ සැදී ය. එදා “රැ. තෙන්නකෝන්, ජයන්ත වීරසේකර, අලව් ඉසි සැබිහෙළ, අරිසෙන් අහුබුදු” වැනි මහ වියතුන්ට ද, අද “ශ්‍රීනාත් ගණේවත්ත, තිරිකුණාමලේ ආනන්ද හිමි” වැනි වියතුන්ට ද, “ක.ක. ගනුෂ්ක රන්දුල, චතුර සම්පත්, කැලුම් බණ්ඩාර, ස. චින්තක කුමාරසිංහ” වැනි තරුණ වියතුන්ට ද සෙවණ “හෙළ හවුල” යි.

කුමරතුඟුන්ගේ අගය දවස දවස පතළ වන්නේ ඔවුන්ගේ මෙබඳු වූ අදීන, අභීත, ඍජු පිළිවෙත හෙයින් බව අපගේ මේ කෙටි විමැසුමින් හෙළි කෙළෙමු. එසේ ම වෙසෙසින් ම කිය යුතු තවත් කරුණු දෙකකි. එකක් නම් කුමරතුඟුන්ගේ ග්‍රන්ථ අභාවයට යාමට නො දී යළි යළි පළ කළ යුතු බව යි. අනෙක නම් ඔවුන් විසූ නිවස පරිහරණය කළ දෑ සමඟ කටුගෙයක් කොට දැයට පිදිය යුතු බව යි. ඔවුන්ගේ අගය තවත් සියවස් ගණනක් පතළ වීමට මඟ වන මේ කරුණු ගැන එහි හැකිකම් ඇත්තන්ගේ ඇස් යොමු වේ වා’ යි අපි පතමු!

කුමාරතුංග මුනිදාස මහ පඬිඳුන්ගේ අසූවැනි ගුණානුස්මරණය හරසරින් සමරන කල අපිදු “කුමරතුඟුන්ගේ අගේ ජයට පතළ වේ වා!” යි ගුරු බැතින් පතමු!

  • චන්දන ඉලන්දාරිගේ
advertistmentadvertistment
advertistmentadvertistment