කුහක වෙන්න එපා – (කොළඹ නගර සභාවට සහ දේශපාලනඥයන්ට කරන අවවාදයයි)

1017

විහාරමහාදේවි උද්‍යානය තුළ අයාලේ යන සුනඛයින්ට කෑම දීම තනනම් කර තිබේ. මේ තීන්දුව කව්රු ගත්තත් එයට නගරාධිපති රෝසි සේනානායක වගකිව යුතුය. කට ඇරියොත් බුද්ධහගම කට දෙපැත්තෙන් පෙරෙන රටක අයාලේ යන සතුන්ට ආහාර දීම තහනම් කිරීම ඉතාම අමානුෂික, ම්ලේච්ඡ, බූරු වැඩකි. මෙසේ කෑම දීම තහනම් කිරීමෙන් පසු බඩගිනි වූ අවස්ථාවලදී නගරාධිපති රෝසි සේනානායකගේ ගෙදර වැටලීමත් මේ තීරණයට උල්පන්දම් දුන් හෝ මේ තීරණයෙහි නිර්මාතෘ විය හැකි හෝ කොළඹ නගර සභාවේ පශු වෛද්‍ය එම්. ඉජාස් නමැති පුද්ගලයාගේ ගෙදර යන ලෙසත් අපට සුනඛයන්ගෙන් ඉල්ලිය හැකිය. එහෙත් මහත් සේ කෙලෙහිගුණ ඇති ඒ වුණාට හිතන්නට තරම් මොළයක් නැති කතා කිරීමට භාෂාවක් නැති සුනඛයන්ගෙන් එය ඉල්ලීම කිරීමෙන් පලක් නැත. විහාරමහාදේවි උද්‍යානයට පැමිණෙන අයාලේ යන අසරණ සුනඛයන්ට ආහාර දීමෙන් මහජනයාට හිරිහැරයක් ඇතිවන බව ඉජාස් දොස්තරගේ මතය බව දැන ගන්නට තිබේ. බල්ලන් බොහෝවිට උද්‍යානයේ පොකුණුවල සිටින තාරාවන් සහ පාත්තයින් ලුහුබඳින බව දොස්තර ඉජාස් කියනවාලු. ඒ තමයි සුනඛයන්ගේ විදිය. බල්ලන් කෙරෙහි වෛරයෙන් ජීවත්වීම තමයි සමහර පුද්ගලයන්ගේ විදිය. බල්ලා, පාත්තයා, තාරාවා යන සියලු දෙනාම ස්වභාවධර්මයේ කොටස් වෙති. බල්ලන්ට කන්න දෙන්න එපා යැයි කීමෙන් අදහස් වෙන්නේ ස්වභාවධර්මයේ කොටසක් නිරාහාරව තැබීමය. බල්ලන් මරා උන්ගේ ලේ දැකීමේ සතුටක් කොළඹ නගර සභාවේ සමහරුන් තුළ එදා සිටම තිබිණ. එහෙත් එවැනි කෲර සහ වනචාරී නාමයක් ඇඟේ ගා ගැනීමට දැන් නගරාධිපති රෝසි සේනානායකට සිදුවී තිබේ. අයාලේ යන බල්ලන්ට ආහාර ලබාදීම සඳහා වෙනම තැන් වෙන්කර දියයුතු බව ඉජාස් දොස්තර පවසා තිබේ. සුනඛයන් කිසියම් තැනකට එක්රැස් කර කෑම දීමට පුරුදු කළ හැකි යැයි අපි සිතමු. එසේ කෑම කෑමෙන් පසු ඊළඟ කෑමවේල එනතෙක් පොතක් පතක් කියවීම හෝ ටී.වී. එකක් බැලීම හෝ සුනඛයෝ නොකරති. එබැවින් ආහාර ගෙන නිමවූ සැණින් උන් ආපසු දිව යන්නේ තමන්ට හුරුපුරුදු විහාරමහාදේවි උද්‍යානයටමය. සමහරවිට සුනඛයන්ට කෑම දීම තහනම් නොවුනොත් කොළඹ නගර සභාව ඒ අසරණ සතුන්ට වස දීමට ඉඩ තිබේ. මෙයට කලකට පෙර කොළඹ නගර සභාවේ සිටි බලු දොස්තරලා (මෙය පශු වෛද්‍යවරයාට කියන සාමාන්‍ය නමය) අයාලේ යන සුනඛයන් මැරීමට මහත් උනන්දුවෙන් කටයුතු කළහ. එකල බැලූ වෑන් එක නමැති වෑන් එකක් නගර සභාවට තිබිණ. සමහරවිට මෙය අදටත් ඇති. නගර සභා සේවකයන් නගරය පුරා යමින් තොන්ඩුවක් දමා අයාලේ යන සුනඛයන් අල්ලා මේ වෑන් එකට දමාගෙන ගොස් විෂ වායුවක් ගසා බල්ලන් මැරීමේ සිරිතක් තිබිණ. 2005 දී මේ රටේ ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ එය තහනම් කළේය. සුනඛ ගහනය අඩු කිරීම සඳහා සුනඛ ධේනුවන් සැත්කමකට භාජනය කර උන්ගේ ප්‍රජනන පද්ධතිය අක්‍රිය කිරීමේ වැඩපිළිවෙළක් විය. එසේම ජලභීතිකා රෝගය වළක්වාලීම සඳහා සුනඛයන්ට බෙහෙත් එන්නත් කරන ලදී. මේ සියලුම වැඩ මානුෂිකත්වයේ කොටස්ය. ඉජාස්ට හෝ රෝසිට කන්න දෙන්න එපා යැයි කව්රුවත් කිව්වොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද? අනෙක අයාලේ යන සුනඛයන්ට ආහාර දීමට තැනක් වෙන්කිරීම සමාන වන්නේ ගෝඨාභය රාජපක්ෂ උද්ඝෝෂකයන්ට පරණ පාර්ලිමේන්තු ඉදිරිපිට පර්චස් 8 ක පමණ බිමක් වෙන්කරදීම හා සමාන ක්‍රියාවකි. සුනඛයන් නිරාහාරව තබා උන්ට මරණය ළඟා කරදීමේ වැඩපිළිවෙළ නවත්වන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලමු. ලෝක ප්‍රජාව සත්ව අහිංසාව කෙරෙහි මහත් උනන්දුවෙන් කටයුතු කරයි. ඉජාස් දොස්තර සහ රෝසි සේනානායක කුසගින්නේ තබා සුනඛයන් මරණ බව ලොව පුරා පැතිර ගියොත් එයින් වැඩිපුරම කෙලවෙනු ඇත්තේ පිට රටින් ණය ගනිමින් සිටින රජයටය. මේ රටේ අයාලේ යන සුනඛයන්ගේ ජීවිත රැඳී පවතින්නේ තිරිසන් සතුන්ගේ සුබ සාධන පිළිබඳ කටයුතු කරන වැදගත් මිනිසුන්ගේ සංගම් නිසාය. මේ තත්තවයට අපේ රට සතුන් ගැන සිතන අහිංසාවාදී ක්‍රමවේදයට මඩගැසීමට තැත් කරන අය ආණ්ඩුව මගින් හඳුනාගනු ලැබිය යුතුය. ඒ අතරම ඉජාස්ට සහ රෝසිට අහිංසාවාදී යහපත් සිතුවිලි ලැබේවා! වැඩක් නැති වෙලාවක යුරෝපයේ ජනයා සුනඛයන්ට සලකන ආකාරය ගැන අන්තර්ජාලයෙන් සොයාබලන ලෙස අපි මේ රටේ බලු දොස්තරලාගෙන් ඉල්ලමු.

ඒ අතර, ඩොලරය පහළ බැසීම සම්බන්ධයෙන් මේ දිනවල සංවාදයක් ගොඩනැගී ඇත. මේ වනවිට ඩොලරය රුපියල් 315 දක්වා පහත බැස ඇත. එය බැංකුව විසින් ඩොලරයක ගැනුම් මිලයි. එහි විකුණුම් මිල රුපියල් 335 කි. පසුගිය දිනවල ඩොලරයේ විකුණුම් මිල රුපියල් 385 දක්වාත් ඉහළ ගියේය. එවිට එකී ඉහළ යෑම දරාගැනීමට නොහැකිව ජනතාව වෙනුවෙන් විලාප තබන්නට පටන් ගත් මේ රටේ ඇතැම් දේශපාලනඥයෝ දැන් ඉතින් රට ඉවර බවත්, ඩොලරය රුපියල් 400 ගිය ගමන් කන්න නැතුව අප මැරෙන බවත් කීහ. ඒ අතර ඩොලරය බහින්නට පටන් ගත් විටත් ඔවුහු විලාප දෙන්නට වූහ. එහිදී ඔවුන් කියා සිටියේ ඩොලරය පහත බැසීම ආර්ථිකයට බෙහෙවින් හානිදායක බවය. IMF එකෙන් ණයක් ගැනීම මහලොකු දෙයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් විසින් පවසනු ලැබ ඇත. මේ හා සමානම ප්‍රකාශයක් ටිල්වින් සිල්වා විසින්ද කර තිබේ. මෙයින් හැඟී යන්නේ මේ රටේ සිටින විපක්ෂ දේශපාලනඥයන් ඩොලරය නැග්ගත් බැස්සත් එකසේ දුක්වන බවය. ඩොලරය ඕනාවට වඩා මිල නැගීම භයානක බව අපිද දනිමු. එවිට උද්ධමනය ඉහළ නැග රට අවුලින් අවුලට පත්වේ. එසේම ඩොලරය පහත බැසීමද කිසිසේත්ම සුදුසු නැත. එවිට ඩොලරය Crash වීම සිදුවේ. ශ්‍රී ලංකාව මේ වනවිට යම්කිසි ප්‍රමාණයකින් ආර්ථික කන්දේ පිය ගැට කිහිපයක් තරණය කර තිබේ. මේ නිසා පෙරේදා කොළඹ කොටස් වෙළඳපොළේ කොටස් මිල වේගයෙන් ඉහළ ගියේය. රටක ආර්ථිකය සුවපත්වීම කවර ආකාරයකින් සිදුවන්නේද යන්න ගැන දැන ගැනීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළ ඉන්ඩිකේටරයක් ලෙස යොදාගත හැකිය. කොටස් වෙළඳපොළේ බිස්නස් වැඩිවන විට රුපියල නගී. රටේ ආර්ථිකය බිමට වැටීගෙන එන්නේ නම් කොටස් වෙළඳපොළේ බිස්නස් ද අඩුවෙයි. අපට හැඟෙන පරිදි ඩොලරය පහත බැස රුපියල වඩාත් ශක්තිමත් වීම ඉතා වැදගත් ආර්ථික සන්ධිස්ථානයකි. ඒ නිසා කුහක නොවන ලෙස අපි දේශපාලනඥයන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment