කොඳුඇට පෙළෙහි ඇතිවන ආබාධ

479

මිනිසුන් ලෙස අපට සිරුර කෙලින් තබා ගැනීමට හැකිව ඇත්තේ කොඳු ඇට පෙළ නිසාය. සිරුරේ මුළු බර දරා සිටින දෙපා මත සම්බන්ධවී ඇති කොඳු ඇට පෙළ හිස සිට සිරුරේ සෙසු ඉන්ද්‍රියන් දරාගෙන සිටියි. එබැවින් කොඳු ඇට පෙළ නියමිත ලෙස පිහිටා නොතිබුණහොත් අපට කෙලින් නැගීසිටීමට නොහැකිවේ.

එය අපට හොඳින් වැටහෙන්නේ යම් අනතුරක් නිසා කොන්දේ වේදනාවක් හටගත් විටදීය. මෙසේ කොන්දේ වේදනාවක් හටගන්නේ කොඳු ඇට පෙළ සැකසී ඇති ඉන්ද්‍රිය කොටස්වලට සිදුවන හානියක් නිසාය.

අපගේ කොඳු ඇට පෙළ සැකැස්ම පිළිබඳව යම් අවබෝධයක් ලබාගතහොත් එය ප්‍රධාන වශයෙන්ම සැකසී ඇත්තේ කශේරුකාවලිනි. මෙම කශේරුකා අස්ථිමය කොටස්ය. මෙම අස්ථි කොටස් එකිනෙක ගැටීමක් ඇති නොවීම සඳහා අන්තර් මණ්ඩල කශේරුකා ලෙසින් කාටිලේජ කොටස් පිහිටා ඇත. එනිසා අපට කොඳු ඇට පෙළ සැකසී ඇති කශේරුකා නැවීම, දිග හැරීම, ඇඹරීම ආදී විවිධ ඉරියව්වලින් ක්‍රියාකරවීමට හැකිවී ඇත්තේ එබැවිනි.

මෙම කශේරුකා සහ කාටිලේජ එකිනෙක බැඳ තබා ඇත්තේ පේශී, කණ්ඩරා, බන්ධනී සහ මාංශ පේෂි වලිනි. මෙම කශේරුකා පද්ධතිය අතරින් ස්නායු ගමන් කරයි.

කොඳු ඇට පෙළ ඉහළින්ම ඇත්තේ ග්‍රයිවී කශේරුකාවය. එහි හිස සම්බන්ධන්ධවී ඇත.

උරස් කශේරුකා කොටසෙහි උරස සම්බන්ධවී තිබේ. කටී කශේරුකා මගින් තුනටිය ප්‍රදේශය සම්බන්ධවී පවතී. දෙපාවලට සම්බන්ධ වන්නේ සෝණි කශේරුකාවලිනි.

මෙලෙස සැකසුණු කොඳු ඇට පෙළෙහි අස්ථි කොටස් 108 ක් සහ කශේරුකා 32 ක් ඇත.

උපතින් ඇතිවන ආබාධ

කොඳු ඇට පෙළෙහි, කශේරුකා අස්ථිවල විකෘතිතා ඇතිවීම, බන්ධනවල අඩුපාඩු පැවතීම උපතින්ම සිදුවිය හැකිය. එවිට දරුවා ඉපදී මුල් මාස කිහිපය තුළ එම අඩුපාඩු හඳුනා ගත හැකිය.

ඒ සඳහා වෛද්‍යවරුන් විසින් එක්ස්රේ ආදී පරීක්‍ෂණ මගින් දරුවාගේ කොඳු ඇට පෙළෙහි සිදුව ඇති විකෘතිතා හඳුනාගනී. එහිදී ඇතැම් කශේරුකා මත කශේරුකා අස්ථි පිහිටා නොතිබීම, කොඳු ඇට පෙළ වමට, දකුණට සහ ඇතුළට ලෙස ඇදවීමක් ආදී විකෘතිතා හටගෙන තිබීම දැකගත හැකිය. මෙම විකෘතිතා වහාම ප්‍රතිකාර මගින් සුවපත් කළ යුතුය.

අනතුරු නිසා ඇතිවන ආබාධ

උත්පත්තියෙන් පසු කොන්දට හානි සිදුවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ අනතුරුවලට ලක්වීමය. රථවාහන අනතුරු, ඉහළ සිට බිමට වැටීම, පහර කෑමකට ලක්වීම , ලිස්සා ගොස් බිම වැටීම , අධික බරක් නුහුරට එසවීම, වැරදි අයුරින් ව්‍යායාම්වල යෙදීම, වැරැදි ඉරියව්වල වැඩි කාලයක් සිටීම නිසා කොඳු ඇට පෙළේ මාංශපේශී හා අස්ථිවලට හානි සිදුවිය හැකිය.

ප්‍රතිකාර ලබාදීම

වර්තමානයේ බටහිර සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාරවල ඇති දියුණුව මත උපතින් ඇතිවන කොඳු ඇට පෙළ ආබාධවල සිට එදිනෙදා ජීවිතයේදී සිදුවන අනතුරු නිසා කොඳු ඇට පෙළට ඇතිවන හානි සඳහා සාර්ථක ප්‍රතිකාර පවතී.

මෙහිදී උපතින්ම ඇතිවූ විකෘතිතා වයස අවුරුදු 13 ත් 17 ත් අතර කාලය ඉක්මවීමට පෙර ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය. කශේරුකා සම්පූර්ණයෙන්ම අස්ථි සමනය වීමට පෙර එම විකෘතිතා සකස් කර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. වයස අවුරුදු 18 – 20 පමණ වනවිට කොඳුඇට පෙළ කශේරුකා අස්ථි සමනය වී අවසන් වේ.

අනතුරු නිසා සිදුවන හානිවීම්වලට එම අනතුරේ ස්වභාවය අනුව සිදුව ඇති හානි පරීක්‍ෂාකර ප්‍රතිකාර කරනු ලබයි.

බටහිර සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හදාරා ඇති වෛද්‍යවරයෙක් ලෙස මා ප්‍රතිකාර කරන්නේ එම ප්‍රතිකාර ක්‍රම දෙකෙහිම එකතුවක් ලෙසිනි. එහිදී උපතින්ම කොන්දේ ඇදවීමක් වැනි විකෘතිතාවයක් ඇතිවූ දරුවනට ආයුර්වේද ප්‍රතිකාර අනුව තෙල් ආලේපය මගින් ඇද ඇරීම සිදු කරනු ලබනවා. ඉන්පසු එම ඇදවීම් පාලනය සඳහා විශේෂ කබායක් පැළඳීමට ලබා දෙනවා. එය ඉතා සැහැල්ලු අයුරින් පැළඳීමට හැකි ලෙස සකස් කර තිබෙනවා. සාමාන්‍යයෙන් ආයුර්වේදයේ මේ සඳහා ලී පතුරු බැඳීම ආදිය සිදු කරනු ලබනවා. මා එය තාක්ෂණය භාවිතා කර දියුණු ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්කර තිබෙනවා.

එසේම ස්නායු තෙරපීම් නිසා ඇතිවන වේදනාව සඳහා විශේෂ තෙල් වර්ග, භාවිතා කර පැය තුනක් වැනි කෙටි කාලයකදී රෝගය සුවපත් කිරීම සිදු කරනු ලබනවා. කොඳුඇට පෙළෙහි සිදුව ඇති අනතුරේ ස්වභාවය පරීක්‍ෂාවට ලක් කර සිදු කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයකි. විශේෂයෙන්ම කශේරුකා අතර පිහිටා ඇති කාටිලේජ තෙරපුමකට ලක්ව පිහිටීමේ වෙනසකට පත්ව ඇතිවිට (Slip disc) මෙම ප්‍රතිකාරය භාවිතා කරනවා. එහිදී මාංශ පේෂි බුරුල්කර වෙනස්වී ඇති කාටිලේජ යළි සාමාන්‍ය පිහිටීමට පත් කරනවා.

කොඳුඇට බිඳීමකට ලක්වී ඇති විට මෙම ප්‍රතිකාරය කිරීමේදී නැවත කොඳුඇට පෙළ සුවපත්වනතුරු සිටිය යුතුයි. කොඳුඇට පෙළ බිඳී ඇතිවිට මෙම ප්‍රතිකාරය කළ නොහැකිය.

එබැවින් කොඳුඇට පෙළ අනතුරකදී ප්‍රතිකාර කිරීමේදී එය නිවැරැදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතුය.

වැඩිදුර තොරතුරු සඳහා 0777709529 ඇමැතිය හැකිය.

කොඳුඇට පෙළෙහි ඇතිවන ආබාධ

වෛද්‍ය පියල් එදිරිසිංහ
MD (බෙලරූස්) DA (ශ්‍රී ලංකාව)
එදිරිසිංහ වෛද්‍ය මධ්‍යස්ථානය
අංක 39, කොටහේන වීදිය, කොළඹ 13

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment