කෝටි 2000ක පාරිභෝගික තැන්පතු ගැන වගන්තියක් නෑ

421

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ කෙටුම්පතේ
-උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක කියයි

දැනට සකස්කර අවසන්ව ඇති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත මගින් විදුලි පාරිභෝගිකයන් විසින් තැන්පතු මුදල ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 2000 ක මුදල සම්බන්ධයෙන් කිසිදු වගන්තියක් ඇතුළත්ව නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ ජනක රත්නායක මහතා මෙසේද කීවේය.

දැනට පවතින විදුලිබල පනතේ 28 වන වගන්තිය මගින් විදුලි පාරිභෝගිකයා විසින් තැන්පත් කර ඇති ඇප මුදල සඳහා පොලී ගෙවිය යුතු බව දක්වා තිබෙනවා. රජය මගින් මේ වනවිට සකස්කර තිබෙන විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නව පනත් කෙටුම්පත හරහා මෙම ඇප මුදලට ඇති ආරක්ෂාව මුළුමනින්ම අහිමිකර තිබෙනවා. මෙවැනි විශාල මුදලකට සිදුවන්නේ කුමක්ද කියා නව පනතේ කොහේවත් සඳහන් කර නැහැ

නව පනත් කෙටුම්පත මගින් සමාගම් 15 කට ලංකා විදුලිබල මණ්ඩලය සතු සියලු සම්පත් බෙදා දෙනවා. එම සෑම ආයතනයකටම අධ්‍යක්‍ෂ මණ්ඩලය පත්කර ඇත්තේ අමාත්‍යවරයා විසින්. ඒ අනුව මේ පනත තුළින් විදුලිබල කර්මාන්තය පූර්ණ වශයෙන් දේශපාලනීකරණය වෙනවා.

විදුලි බලාගාර සියල්ල සමාගමක් යටතට පත්කිරීමත් නව පනත් කෙටුම්පතේ යෝජනාවක්. එසේ වූ විට ගොවිතැනට අවශ්‍ය ජලය ජලාශවලින් නිකුත් කිරීමේ බලය ලැබෙන්නේ එම සමාගමටයි. එහි ඇති අවදානම මේ පාලකයන්ට අවබෝධ නොවීම පුදුමයක්.

පසුගිය මාසයේදි විදුලි බිල 65% කින් ඉහළ දැමීම තුළින් බිලියන 20 ක්ව පැවැති විදුලිබල මණ්ඩලයේ මාසික පිරිවැටුම බිලියන 50 ක් දක්වා ඉහළ ගියා. එවැනි තත්ත්වයක් යටතේවත් විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව පාලනය කරන්න බැරි ඇමැතිවරයා කොහොමද සමාගම් 15 කට විදුලිබල මණ්ඩලය කඩාදැමූ විට සමාගම් 15 පාලනය කරන්නේ? ප්‍රශ්නය තිබෙන්නේ පනතේ නොවෙයි ඇමැතිවරයාගේ පාලනයේයි.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment