රට යන වෛද්‍යවරු 5000ක් නවත්වන්න ‘අට වැදෑරුම් යෝජනාවලියක්’

574

සිය සංගමය රජයට ඉදිරිපත් කර ඇති ‘අට වැදෑරුම් යෝජනාවලිය’ කෙටි කාලීනව සහ දිගු කාලීනව ක්‍රියාත්මක කරන්නේ නම් රට හැර යෑමට සියලු සුදුසුකම් සපුරා ඇති වෛද්‍ය වරු 5000 ක ප්‍රමාණය නවතා ගැනීමට තවදුරටත් හැකියාව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම යෝජනාවලිය පිළිබඳ කෙටි කාලීනව සහ දිගු කාලීනව ලබාදෙන විසඳුම් පිළිබඳව ක්‍ෂණික මැදිහත්වීමක් සිදු කරමින් වෛද්‍ය වරුන්ට උත්තේජනයක් ලබාදීමට රජය ක්‍රියාකරනු ඇතැයි සිය සංගමය විශ්වාසය කඩා තිබෙන බවද එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙරේදා (23 දා) පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී ගත් තීන්දු තීරණ මාධ්‍ය හමුවේ හෙළිදරව් කරමින් සඳහන් කර සිටියේය.

බුද්ධි ගලනය හරහා සෞඛ්‍ය පද්ධතිය අර්බුදයට ලක්ව මේ වනවිට ඛේදවාචකයක් පවතිනවා. වෛද්‍ය වරු රට හැර යෑම හරහා තවදුරටත් මෙරට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අරමුණෙන් මාධ්‍ය සිදුකරනු ලබන මෙහෙවර සිය සංගමය අගය කරනු ලබන බවද වෛද්‍ය වරයා පැවසීය.

වෛද්‍ය වරුන්ට අනන්‍යවූ සුවිශේෂී වැටුප් ව්‍යුහය, ශ්‍රේණි උසස්වීම්, වෙළෙඳ පොළ වටිනාකම් අනුව වැටුප් ලබාදීම, වෛද්‍ය ප්‍රවාහන, නවාතැන්, දරුවන් පාසල් වෙත ඇතුළත් කිරීමේ ගැටලු ඇතුළු තවත් ගැටලු ගණනාක් මෙම ‘අට වැදෑරුම් යෝජනවාලිය’ මගින් විසඳුම් ඉල්ලා ඇතැයි ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේය.

මෙම ‘අට වැදෑරුම් යෝජනාවලිය’ ක්‍රියාත්මක කිරීම සඳහා ඇමැතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය රජය සහ ජනාධිපතිවරයා ක්‍ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවත්, කතාවට හෝ වචනවලට සීමා නොවිය යුතු බවත් සඳහන් කළ වෛද්‍ය වරයා එසේ නොවන්නේ නම් ලබන වසර වන විට මෙරට වෛද්‍ය වරුන් 5000ක ප්‍රමාණයක් රටට අහිමි වීමෙන් ග්‍රාමීය, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රධාන රෝහල් සියල්ල දරුණු බිඳ වැටීමකට ලක්වනු ඇතැයි ද අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් සිය සංගමයට අනුබද්ධිත ශාඛා සංගම් 128 ම මේ මස 28, 29 කැඳවා හදිසි රැස්වීමක් පවත්වා නිද්‍රාශීලීව හැසිරෙන බලධාරීන් අවධි කිරීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ තීන්දු තීරණ ගැනීමට සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී තීරණය කළ බවද වෛද්‍ය වරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් මේ මස 31 වැනිදා තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවත් ලබන සැප්තැම්බර් මස 4 වැනිදායින් පසුව එළැඹෙන සතිය දැනුවත් කිරීමේ සතියක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සැප්තැම්බර් මස 13 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳ අවසන් තීන්දු තීරණ රට හමුවේ තැබීමට බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment