ගම්පෙරළිය නවකතාවට 80යි

157

ගම්පෙරළිය ලියා ඇත්තේ මේ පුද්ගලයන් අප හමුවෙහි තැබීමට නොවේ. කර්තෘ මේ කාල්පනික චරිතයන් ඇති කළේ යම්කිසි අදහසක් ඇතිවයි. ඒ අදහස නම් (ඒ කියන්නේ නවකතාවේ අදහස නම්) ඉඩම් හිමි කුලීන පන්තියේ පරිහානියත් සමග ඇතිවූ අලුත් වෙළෙඳ පන්තියේ හැඟීම පිළිබිඹු කිරීමයි. මෙය සමාජ විද්‍යානුකූල ප්‍රයත්නයක් නොවේ. වික්‍රමසිංහ මහතා වෙනස්වන සමාජය දෙස බලන්නේ විද්‍යාඥයකුගේ ඇසින් නොව ප්‍රතිභාපූර්ණ, නවකතා කරුවෙකුගේ ඇසින්ය.

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියන ලද ‘ගම්පෙරළිය’ නවකතාව මෙරට සාහිත්‍යයේ මං සලකුණකි. 1944 දී මුල් වරට ප්‍රකාශිත ‘ගම්පෙරළිය’ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1963 දී සිනමාවට නැගීය. පුණ්‍යා හීන්දෙනිය, ගාමිණී ෆොන්සේකා, හෙන්රි ජයසේන, ශාන්ති ලේඛා, ටි්‍රලිෂියා ගුණවර්ධන ඇතුළු පිරිසක් රඟපෑ එහි නිෂ්පාදකවරයා වූයේ ඇන්ටන් වික්‍රමසිංහයි. නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලංකාවේ චිත්‍රපටයකට පළමු වරට පිරිනැමුණු ‘රණමයුර’ ජගත් සම්මානයද එම චිත්‍රපටයට හිමිවිය.

ගම්පෙරළිය නවකතාවට 80යි

ගම්පෙරළිය නවකතාව ලියැවී මෙම අවුරුද්දට වසර 80 කි. දිවංගත කෘතහස්ත සිනමා විචාරක ලේඛක ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන මහතා 1963 ලියා ඇති ලිපියකින් මෙම සටහන සැකසිනි.

නවකතා කියා අප හඳුන්වන කෘතීන්ගෙන් ගද්‍ය ආඛ්‍යාන ඉවත් කළ විට ඉතුරු වන්නේ නියම නවකතායි. සවිස්තරව කියනවා නම් නවකතාව කතාවක් කීමට පමණක්ම සීමා වූවක්ම නොවේ.

ඊ. ඇම්. ෆෝස්ටර් වරක් කී පරිදි වාසනාවකට හෝ අවාසනාවකට මෙන් නවකතාවකින් කතාවක් කියැවෙනවා, මෙය ඇත්තක්. එහෙත් වැදගත් වන්නේ කතාව නොවේ. නවකතාවක වටිනාකම රැඳී ඇත්තේ එහි කතාව උඩම යයි කියන්න බැහැ.

ගම්පෙරළිය නවකතාවට 80යි

ගම්පෙරළිය චිත්‍රපටයේ දර්ශනයක්

එහෙනම් කුමක් උඩදැයි කෙනෙකුට මෙහිදී ප්‍රශ්න කරන්න පුළුවන්. මේ ප්‍රශ්නයට නිදසුනක මාර්ගයෙන් උත්තරයක් සපයන්න මා අදහස් කරනවා. මා නිදසුන වශයෙන් ගන්නේ අප සියලුදෙනාම දන්නා නවකතාවක්. එනම් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ‘ගම්පෙරළිය’ යි. මෙය තෝරාගැනීමට හේතුව එහි ජනප්‍රියභාවය පමණක් නොවේ. එය උසස් නවකතාවක් ද වන නිසායි. මා කල්පනා කරන හැටියට සිංහලෙන් ලියැවී ඇති උසස් නවකා දෙක තුනෙන් එකක් “ගම්පෙරළිය.”

“ගම්පෙරළිය” නව කතාවෙහි කතා වස්තුව වගන්ති කීපයකින් කියන්න පුළුවන්. පැරණි ඉඩම් හිමි කුලීන පවුලක් වටායි කතාව ගෙතී ඇත්තේ. පවුලේ ප්‍රධානියා කයිසාරුවත්තේ මුහන්දිරම්ය. ඔහුට දුවල දෙදෙනෙක් සහ එක් පුතෙකි. බාල දුව පිළිබඳ සිත් ඇතිකර ගත් උගත් තරුණයෙකි. නමුත් ඔහුගේ විවාහ යෝජනාව අවඥාවෙන් ප්‍රතික්ෂේප කෙරේ. ඔහු කුලීනයකු නොවන නිසා තත්ත්වයෙන් මුහන්දිරම්ගේ දුවට නොගැළපේ. ඔහු නගරයට ගොස් ධනවතෙක් වෙයි. මුහන්දිරම්ගේ දුව කුලවත් නිකෙමකුට පාවා දෙනු ලබයි. ඔහු ගම හැර යෑමෙන් අවුරුදු ගණනකට පසුව මුහන්දිරම්ගේ දුව ඇයට කළින් පෙම් කළ තරුණයා සමග විවාහ වෙයි.

ගම්පෙරළිය නවකතාවට 80යි

ගම්පෙරළියට වස්තුබීජය වන කතාව මෙයයි. වස්තුවක් ලෙස ගත් විට එය ගතානුගතිකයි. අප රටට පමණක් නොව නොයෙක් දේශ දේශාන්තරවලට පොදුයි. දුප්පත් තරුණයා පොහොසත් තරුණියට පෙම් බැඳ පසුව නොයෙක් කරදරවලට මුහුණ පා අන්තිමේදී සියල්ල ජයග්‍රහණය කොට විවාහපත් වන සැටි සියදහස් ගණන් කතාවලින්ද, චිත්‍රපටවලින්ද අපට පෙන්වා ඇති බව ඔබ දන්නවා.

මේ සිය දහස්ගණන් කතාවල නායිකාව තරුණියයි. ඇය දේහ සම්පත්තියෙන් අග තැන්පත්ය. තරුණයාද එසේයි. ඔවුන්ගේ එක්වීම වැළැක්වීමට දුෂ්ටයෙක් සිටී. චරිත හොඳ නරක යන කොටස් දෙකකට බෙදෙයි. හොඳ චරිත අන්තිමේදී දී දිනති. දුෂ්ටයෝ අනුන්ට දුක් කරදර දී අවසානයේදී ව්‍යසනයට පත්වෙති. බොහෝ විට කතාව කියැවෙන්නේ ප්‍රේමයට මුල්තැන දීය.

ගම්පෙරළියෙහි මේ කිසිත් නැත. එහි චරිතවල හොඳ නරක යන දෙකේ සංකලනයක් තිබේ. දුෂ්ටයන් යැයි කිවහැකි කිසිවෙක් නැත. හැඟීම් අවුස්සන ප්‍රේම ජවනිකා නැත. කතාව කියන්නේ ප්‍රේමය මුල්තැනට ගෙන නොවේ.

මේ කරුණු නිසා ගම්පෙරළිය වස්තුවෙහි ගතානුකතික ස්වරූපය නැතිවී අලුත් ස්වරූපයක් ගනී. නමුත් මේ අලුත් ස්වරූපය නිසාම ගම්පෙරළිය උසස් නවකතාවක් වන්නේ නැත. එවැනි ලක්ෂණ අඩංගු නවකතා කොතෙකුත් ඇත. අපි ඒවාට උසස් නවකතා යැයි නොකියමු. චරිතයන්හි හොඳ නරක දෙකේ මිශ්‍රණයක් තිබූ පමණටම, දුෂ්ටයන් නැතිවූ පමණටම, ප්‍රේම ජවනිකා නැති වූ පමණටම ගම්පෙරළිය හෝ වෙනත් නවකතාවක් හෝ ශ්‍රේෂ්ඨ කෘතියක් වෙන්නේ නැත.

උසස් නවකතාවකින් අප බලාපොරොත්තු වන්නේ මීට වඩා දෙයකි. එය ගම්පෙරළියෙහි ඇත.

ගම්පෙරළියෙහි එන ගැහැනු, මිනිස්සු අපගේම ලෝකයෙහි කොටස්කාරයෝය. ඔවුන් අපට එක විටම අඳුනාගත හැක. ඔවුන්ගේ සිතැඟි අපට වටහාගත හැක. ඔවුන් හැසිරෙන පිළිවෙළ, ක්‍රියාකරන පිළිවෙළ, සිතන පිළිවෙළ ආදිය බාහිර වශයෙන්ද, අධ්‍යාත්මික වශයෙන්ද, සත්‍ය බව පෙනේ. ඔවුන් ජීවත්වන සමාජය අප දන්නා, නැතහොත් අපට පිළිගත හැකි සමාජයකි. ඔවූහු සජීවී පරිසරයක ජීවත්වන සජීවී පුද්ගලයෝය.

එහෙත් ගම්පෙරළිය ලියා ඇත්තේ මේ පුද්ගලයන් අප හමුවෙහි තැබීමට නොවේ. කර්තෘ මේ කාල්පනික චරිතයන් ඇති කළේ යම්කිසි අදහසක් ඇතිවයි. ඒ අදහස නම් (ඒ කියන්නේ නවකතාවේ අදහස නම්) ඉඩම් හිමි කුලීන පන්තියේ පරිහානියත් සමග ඇතිවූ අලුත් වෙළෙඳ පන්තියේ හැඟීම පිළිබිඹු කිරීමයි. මෙය සමාජ විiානුකූල ප්‍රයත්නයක් නොවේ. වික්‍රමසිංහ මහතා වෙනස්වන සමාජය දෙස බලන්නේ විiාඥයකුගේ ඇසින් නොව ප්‍රතිභාපූර්ණ, නවකතා කරුවෙකුගේ ඇසින්ය. එම නිසා ගම්පෙරළිය විiානුකූල පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවෙ මිනිස් සිත්, මිනිසා ඇතිකළ සමාජයත් එහි වෙනස්වන ආකාරයත් හොඳින් තේරුම් ගත් ලේඛකයකුගේ උත්පාදක ශක්තියේ ප්‍රතිඵලයක්.

ගම්පෙරළිය කියවනවිට කෙනෙකුට වැටහෙන්නේ එහි කර්තෘ මිනිස් සිත සහ සමාජය පමණක් නොව, නවකතා කලාවද හොඳින් තේරුම් ගත් කෙනෙකු බවයි. මෙහි පෙන්වන ප්‍රධානතම සාධකය නම් ගම්පෙරළියෙහි ඇති ඒකමිතියයි.

ගම්පෙරළියේ සන්දර්භය නැත්නම් එය ගලපා තිබෙන අයුරු එයට වස්තු වන පුවතට අතිශයින් අනුකූලයි. වෙනස්වන සමාජ ක්‍රමයක් නිරූපණය කරන නවකතාවක් වූ එයට සුදුසු සැලැස්මද කර්තෘ විසින් දී තිබේ. වෙනස්වෙමින් පවතින සමාජය පිළිබිඹු වන්නේ ද චරිතයන් තුළිනි. කර්තෘ උපයෝගි කර ගන්නා භාෂාව ද ඔහුගේ කටයුත්තට සෑහේ. යම් යම් සුළු දුර්වලකම් තිබුණද ඒවා නවකතාවේ එකමුතු බවට බාධා නොකෙරේ.

මා මෙතෙක් ප්‍රකාශ කළ කරුණු ඉතාමත් සරල ඒවා බව ඔබට සිතෙන්නට ඇති. ඒ නිසාම ගම්පෙරළියෙන් උදාහරණ කියවා ඒවා තහවුරු කිරීමට මම උත්සාහ කළේ නැහැ.

කෙසේ වෙතත් මේ කරුණුවලින් උසස් නවකතාවක් යැයි මා පිළිගන්නා කෘතියකට තිබිය යුතු යම් ගුණාංග මොනවාදැයි යම්තමින් වත් පැහැදිලි වන්නට ඇතැයි සිතනවා.

නවකතාවක් තුළින් එයට තුඩුදුන් සමාජයේ හා පරිසරයේ ඇතිවන වෙනස්වීම්, ගැටීම්, දියුණුව හා පරිහානිය ආදී සියල්ලම දැකගන්න හැකි වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් නවකතා කරුවාට තමා වසන සමාජයේ ඇතිවන වෙනස්වීම, ගැටීම් ඉවකින් මෙන් දැනෙනවා. සූක්‍ෂම ලෙස දැනෙනවා. ඒවායින් ඔහු සසල වෙනවා. ඒවා තේරුම් ගැනීමට වෙහෙසෙනවා. ඒ වෙහෙසීමෙන් තමා නව කතාව ඇති වෙන්නේ.

නවකතාකරුවා සමාජයේ දුබල තැන් විදහා පානවා. එහි ඇති කුහකකම්වලට, අක්‍රමිකතාවලට, පහර දෙනවා. ඔහු බණ දෙසන්නෙක්වත්, දේශපාලනඥයෙකුවත් නොවේ. ඔහු සමාජයේ පොදු ව්‍යාධීන්ටවත්, මිනිසාගේ අධ්‍යාත්මික ව්‍යාධීන්ටවත් පිළියම් කිරීමට තැත් කරන්නේ නැහැ, ඒවා මතුකොට, විග්‍රහකොට පෙන්වනවා. නවකතාකරුවාගේ මේ ප්‍රයත්නය නිසා අප සහ අප සමාජය තේරුම් ගැනීමට මාර්ගයක් අපට ලැබෙනවා.

ගම්පෙරළිය මේ ගණයේ නවකතාවක්. එයට වස්තු වන්නේ මේ ශත වර්ෂයේ මුල් කාලයේදී ලංකාවේ සිදුවීමට පටන් ගත් එක්තරා සමාජ විපර්යාසයක්. වික්‍රමසිංහ මහතා තම බුද්ධිය මෙහෙයවා මානව භක්තිය ඇතියකු සේ මේ විපර්යාසය සිත්තම් කරනවා. ඔහු එය කරන්නේ සමාජයේ බලවේගයන්ට ගොදුරුවන පුද්ගලයන් උපයෝගි කර ගැනීමෙන්. නමුත් මේ පුද්ගලයෝ සජීවී අයයි. සමාජ බලවේගයන්ට අසුවූවත් ලෙස දක්වනු ලැබූවත් පියල්, කයිසාරුවත්තේ නන්දා, අනුලා ආදී චරිතවලට ඔවුන්ට පුද්ගලික වූ ජීවිතයක් තියෙනවා.

ගම්පෙරළිය උසස් ගණයේ නවකතාවක් වීමට එක් හේතුවක් මෙයයි. එය ගැන එක් විචාරකයෙක් මෙසේ පවසනවා.

“පරිවර්තනය වෙමින් පවත්නා සමාජයක් චිත්‍රණය කරන්නට තැත් කරන ඕනෑම නවකතා කාරයෙකු හසුවන ලොකුම අන්තරාය නම් තම චරිත විවිධ සමාජ බලවේගයන් හා පංතිද නිරූපණය කරන රූකඩ බවට හැරවීමට පෙළඹිය හැකි කමයි. වික්‍රමසිංහ ඒ මග ගත්තා නම් ගම්පෙරළිය මීට වඩා බෙහෙවින් පහත් නවකතාවක් විය හැකිව තිබුණේය. වික්‍රමසිංහගේ චරිතයන් හැඩගස්වා ඇත්තේ ඔවුනට ප්‍රභවය දුන් සමාජය හා පංතිද විසිනි. ඒ එක්කම ඔවූහු සැබෑ මිනිසුන් තුළ දක්නට ලැබෙන සංකීර්ණතාවයන්ගෙන් හා අසංගතියෙන්ද අනූන වූ පුද්ගලයෝය. ඔවූහු එකම ගතියක මුල් බැසගෙන නොසිටිති. නවකතාවේ විකාශයත් සමග වැඩෙමින් වෙනස් වෙති. කතුවරයාගේ ඇතුල්තලයෙහි පෙරළෙන මැණික් මෙන් ඒ චරිතයෝ ස්වකීය අධ්‍යාත්මයන්ගේ ගැඹුරු තැන්වලින් විවිධ ක්ෂණ කාන්ති නිකුත් කරති.

ගම්පෙරළිය නවකතාවට 80යි

● ආචාර්ය – ඒ. ජේ. ගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment