ගාසා තීරයේ ලොකුම රෝහලේ රෝගීන් සහ කාර්ය මණ්ඩල ඉවත්කර ගන්නැයි ඊශ්‍රායලයේ ඉල්ලීම පලස්තීනය ප්‍රතික්ෂේප කරයි

192

හමාස් අන්තවාදීන්ට එරෙහිව එල්ල කරනු ලබන ප්‍රහාරයන් හේතුවෙන් ගාසා තීරයේ තිබෙන විශාලතම රෝහලේ සිටින සියලු රෝගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් වහාම ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් සිදු කරන ලද ඉල්ලීම ඉටු කිරීම පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ ‘ටල් – අල් හවා’ ප්‍රදේශයේ තිබෙන විශාලතම රෝහල වන අල් ක්විඩ්ස් රෝහලේ සිටින සියලු රෝගීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉවත් කරගන්නා ලෙස ඊශ්‍රායල හමුදාවන් විසින් දැනුම් දී ඇත්තේ රෝහල අවට තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉලක්ක වෙත දිගින් දිගටම ඊශ්‍රායල හමුදාවන් විසින් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රහාරයන්ගෙන් එම රෝහලටද හානි සිදුවිය හැකි නිසා බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වුවද අල් ක්විඩ්ස් රෝහලේ දැඩිසත්කාර ඒකකවල සිටින රෝගීන් හා නොමේරු ළදරු ඒකකයේ ඉන්කියුබේටර් උපකරණවලට සවි කර සිටින නොමේරූ ළදරුවන් රෝහලෙන් ඉවත් කිරීම අවදානම් බැවින් එය කිසිසේත් සිදු කළ නොහැකි බව පෙන්වා දී ඇති පලස්තීන රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය යුද්ධයෙන් අවතැන්ව දැනට රෝහලේ ලැගුම් ගෙන සිටින සිවිල් වැසියන් 14,000 කටද එවැනි ඉවත් කිරීමක් සිදු වුවහොත් යෑමට තැනක් නොමැති බව අවධාරණය කර තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment