ගැසට් නොගහා තිබුණානම් බිත්තරේ රු. 50 ට අඩුවෙන් ලැබෙනවා

71

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

රුපියල් 50න් මෙපිට ජනතාවට බිත්තරයක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි කළායින් පසුව බැඳලා ගැහුවත් ගහලා බැන්දත් එකයි කියමන සනාථ කරමින් ඇමැතිවරයා යළිත් ගැසට් ගහලා තියෙන්නේ රු.44යි, රු. 46යි කියූ කලින් තිබූ ගණනටම යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

අලුතින් කරළියට පැමිණි බිත්තර මිල හා සම්බන්ධ ගැසට්ටුව පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීම වෙනුවෙන් කුලියාපිටිය රුවනි ලෙෂර් පාක් හි කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඒ මහතා ඒ බැව් පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

ගැසට් නොගහ තිබුණනම් අද වනවිට රුපියල් 50න් මෙහා පාරිභෝගිකයන්ට බිත්තර ලැබෙනවා. දැන් ගැසට් නිසා වෙළෙන්දෝ දවල්ට බිත්තර නැහැ කියලා රෑට කසිප්පු විකුණනවා වගේ බිත්තර විකුණනවා. දඩේ ලොකු වෙන්න වෙන්න වෙළෙන්දෝ බිත්තරේ විකුණන ගාණ වැඩි කරනවා. ඒක නිෂ්පාදකයෝ වෙච්ච අපේ වරදක්ද?

ජනාධිපතිවරයා රටෙන් ණයක් ඉල්ලලා ගත්තෙ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා රට ස්වයංපෝෂිත කරන අටියෙන් විනා බිත්තර ගේන්න නෙවෙයිනෙ. මේ හදන්නෙ බිත්තර කවනවාට එහා ගිය කොමිස් ප්‍රේමයක්. බේකරි සභාපති පෙනී ඉන්නෙත් ඒ වෙනුවෙන් කියලා අපි නෙවෙයි ඇතැම් බේකරි හිමියොමයි කියන්නේ.

මේ බිත්තර තව මාස 2ක් 3ක් යනකොට ගැසටුත් ඉවරකරන් රුපියල් 30 – 35 අතර මිලකට පත්වෙනවා. මේ වනවිට අලුතින් බිත්තර වෙළඳපොළට එමින් තියෙන්නෙ.

මේ අතර සුදු සහ රතු බිත්තර කිලෝග්‍රෑම් ක්‍රමයට පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය මගින් 19 වැනිදා රාත්‍රියේ නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය අසාර්ථක ක්‍රමවේදයක් බව හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පැවසූහ.

බිත්තර කිලෝවක් කිරා බැලීමේදී කිලෝවකට බිත්තර 15ක පමණ ප්‍රමාණයක් ඇතුළත් වන බවත්, ඒ අනුව බැලීමේදී සුදු බිත්තරයක් රු. 58.60 පමණ වන බවත් බිත්තර අලෙවිකරුවෝ කියති.

බිත්තර කිලෝව බැගින් නිකුත් කිරීමේදී පාලන මිලට වඩා බිත්තරයක මිල ඉහළ යන බවත්, ඒ අනුව කිලෝ ගණනට බිත්තර නිකුත් කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවත් බිත්තර අලෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ කියති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ සහ නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment