ගිංතොට මහ විදුහල්පති මාරුවට එරෙහිව උද්ඝෝෂණ

38

මාරුව අවලංගු කරන්න බැහැ – දකුණු පළාත් අධ්‍යාපන ලේකම්

ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලබා දී ඇති ස්ථාන මාරුව වහා අවලංගු කරන ලෙස බල කරමින් එම විද්‍යාලයීය සිසු දරුවන් සහ මව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් 04 වෙනිදා උදෑසන විද්‍යාලය ඉදිරිපිට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් කළහ.

ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස දස වසරකට ආසන්න කාලයක් සේවය කළ රෝහිත නන්දසේන මහතාට, ගාල්ල ප්‍රදේශයේ පාසලක් වෙත ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර, විශ්‍රාම යෑමට තවත් වසර 3ක පමණ කාලයක් ඉතිරිව තිබෙන විදුහල්පතිවරයාට එම කාලය ද ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස බල කරමින් උද්ඝෝෂණය පැවැත්වින.

“විදුහල්පති අපට දෙන්න, අපි ආසාවෙන් ඉගෙනගත්ත පාසලේ අනාගතය රැක දෙන්න. අපේ පාසල කනත්තක් වේවි තාත්තේ, අපේ සර් අපට දෙන්න” ආදී ලෙස සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් සිසු-සිසුවියන් මව්පියන් ඇතුළු පිරිසක් පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණය කළහ.

මේ පිළිබඳ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එතුමා සඳහන් කළේ “ගිංතොට මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාට ලබාදී තිබෙන්නේ විධිමත් ස්ථාන මාරුවක්. එයට මහජන විරෝධයක් ඇති වී තිබෙනවා. එම ස්ථාන මාරුව කළේ කිසිදු බලපෑමක් මත නෙවෙයි. සේවා කාලය සම්පූර්ණවීම සහ රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ක්‍රමවේදය අනුව විධිමත් පරිදි ලබාදුන් ස්ථාන මාරුවක්. එම ස්ථාන මාරුව අවලංගු කිරීමේ හැකියාවක් නැහැ. එම පුරප්පාඩුවට පත් කළ අනුප්‍රාප්තික නිලධාරියා 05 වෙනිදා එම විද්‍යාලයේ විදුහල්පති ලෙස වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා” යැයි ද කීවේය.

බද්දේගම – ඕෂධ ගමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment