ඝාතකයන්ගේ ජැකට් – හිස්වැසුම් මාලබේ කෙසෙල් කොටුවක

386

පොලිසියෙන් බව පවසා අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි සැකකරුවන් පැළඳ ගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට් තුනක් මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු ප‍්‍රනාන්දු රෝහල අසල කෙසෙල් වගාබිමක තිබිය දී ඊයේ (27 දා) සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි.

ඝාතනයට යොදා ගත් යතුරුපැදිය කඩුවෙල ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතනයක් අසල තිබී පෙරේදා (26 දා) සොයා ගැනුණි. කෙසෙල් වගා බිම තුළ තිබී හමුවී ඇත්තේ අලූත්ම ආරක්ෂක හිස් වැසුම් දෙකක් මෙන්ම අලූත්ම ජැකට් දෙකක් සහ පරණ ජැකට්ටුවක් බවත් ඒවා සියල්ලම කළු පාටින් යුක්ත බවත් පොලිසිය කියයි.

පරණ ජැකට්ටුවේ ලේ සලකුණක් දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ අංගොඩ මීගහවත්ත ප‍්‍රදේශයේ පදිංචිව සිටි මාර්ග කොන්ත‍්‍රාත් කටයුතුවල නිරත වූ නුවන් මිලින්ද නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු ඉන්දියාවේ දී මිය ගිය බව කියන අංගොඩ ලොක්කා නමැත්තාගේ සමීපතමයකු වූ විදේශගතව සිටි ඉතාලි චමින්ද නමැත්තාගේ සමීපතමයකු බවත් පොලිසිය කියයි.

පෙරේදා (26 දා* අලූයම 06:10ට පමණ නිවසට කඩාවැදී වෙඩි ප‍්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ඝාතකයින් දෙදෙනා පෙරවරු 6.34ට කඩුවෙල විහාරස්ථානයක් අසලට යතුරුපැදියෙන් පැමිණ එම ස්ථානයේ යතුරුපැදිය නවතා පා ගමනින් ඉදිරියට ගොස් නැවතී ඇති අතර එම ස්ථානයට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙත ඝාතකයින් දෙදෙනා යමක් ලබා දෙන අයුරු සී.සී.ටී.වී කැමරාවල සටහන්ව ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරුව මාර්ගය හරහා මාරුවෙන ඔවුන් ති‍්‍රරෝද රථයක නැඟ පෙරවරු 6.43 මාලබේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල අසලට ගොස් එයින් බැස පා ගමනින් චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්සේ යන අයුරු සටහන්ව ඇතැයි ද එම අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා බහින්බස් වෙන අයුරු ද සී.සී.ටී.වී කැමරාවක සටහන්ව ඇතැයි ද පොලිසිය කියයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා, කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික රෝෂන්, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එස්. මායාදුන්න යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

කැස්බෑව ජයසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment