චන්ද්‍රසේන ඔයා නිසා නොමිලේම සින්දු කියයි

981

1980 වර්ෂයේදී ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම ගායකයා ලෙස යෞවන සම්මානය දිනා ගන්නට වාසනාවන්ත වූ “ඈත හමායන මද සුළඟේ’ (තවලම) “සීත කඳු යායේ, මල් රේණු, ඔයා නිසා, සිඳි බිඳි ආදරේ” වැනි ඉතා ජනප්‍රිය ගීත එළිදැක්වූ එදා මෙදාතුර සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටින චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ආදරණීය ගායකයාගේ සංගීත දිවියේ හතළිස් පස්වැනි සංවත්සරය නිමිති කොට ගෙන 2023 සැප්තැම්බර් 16 සවස 6.00 ට මහරගම තරුණ සේවා සභාවේ යොවුන් රඟහලේදී “ඔයා නිසා” නමින් සංගීත ප්‍රසංගයක් ඔහුගේ ආදරණීය රසිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වන්නට කටයුතු සියල්ල සූදානම් කර ඇත. ඒ පිළිබඳව චන්ද්‍රසේන හෙට්ටිආරච්චි අපත් සමග දැක්වූ අදහසයි මේ.

● “ඔයා නිසා” ප්‍රසංගය ගැන අපි මුලින්ම කතා කරමු ?

මගේ කලා ජීවිතයට අවුරුදු 45 ක් පිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. මේ ප්‍රසංගයේ නම “ඔයා නිසා”.ප්‍රසංගය පැවැත්වෙන්නේ මහරගම ජාතික තරුණ සේවා සභාවේ, යොවුන් රඟහලේදී. “ඔයා නිසා” සංවිධානය කරන්නේ, ජාතික තරුණ සේවා සභාවත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන මගේ පදනමත් එක්වයි. මේ ප්‍රසංගයේදී ගීත 30ක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. “ස්පන්ද”සංගීත කණ්ඩායම තමයි සංගීතය සපයන්නේ.

● එදාට ගායනා කරන ගීත ගැන කතා කළොත්?

ගීත තිහක් ගායනා කරනවා. මගේ පැරණි ගීත සහ අලුත් ගීත එයට එකතු වෙනවා. යුග ගායනාත් තියෙනවා. චන්ද්‍රලේකා පෙරේරා, රුක්මන් අසිත, විජයබණ්ඩාර වැලිතුඩුව, සෝමසිරි මැදගෙදර, දමයන්ති ගමගේ, හිමන්තරා සහ අමන්දා දිල්මි තමයි එදාට ගීත ගායනා කරන්නේ.

● මේ ප්‍රසංගය නොමිලේ පවත්වන්නට තීරණය කළේ ඇයි?

මෙහෙමයි, හැම වෙලාවෙම දැන් ප්‍රසංග පවත්වන්නෙ මුදලට. ඉතින් මම කල්පනා කරන්නේ, ප්‍රසංගය පවත්වන්නේ මගේ කලා ජීවිතයේ 45 වැනි අවුරුද්ද නිමිති කරගෙන නිසා මම මේ ගමන ආරම්භ කළෙත් නොමිලේ නිසා මගේ ආදරණීය රසිකයින්ට මෙය නොමිලේ පවත්වන්නට තීරණය කළා. මගේ හිතවතුන්, අනුග්‍රාහකයෝ සොයාගෙන තමයි මේ වැඩේ කරන්නේ. රාජ්‍ය ආයතනයකින් නම් කිසිම මුදලක් ලැබුණේ නැහැ. කොහොම හරි මගේ ආදරණීය රසිකයින් වෙනුවෙන් මම මේ ප්‍රසංගය නොමිලේ පෙන්වනවා.

● ඔබේ සංගීත ගමනට දැන් වසර 45 ක්. මෙතෙක් ආ ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම මේ වසර 45 ගැන හිතනකොට හරිම සතුටුයි. මොකද මේ ක්ෂේත්‍රයේ ඉන්න ලැබුණු එක ලොකු වාසනාවක්. මගේ රසිකයෝ නිසා තමයි මට ඒ වාසනාව ලැබුණේ. ඒ නිසාම ඒ අය වෙනුවෙන් මම මේ ප්‍රසංගය පවත්වන්නෙත්. මම ඉපදුනේ, යටියන්තොට ගරාගොඩ. අපේ ගමේ සංගීතය තිබුණේ නැහැ. ගමේ ඉන්න කොට මම සංගීතය දන්නෙත් නැහැ. මගේ අම්මගේ, තාත්තගේ ආශිර්වාදයෙන් සහ ඒ අය දීපු දේ වලින් තමයි සංගීතයට ආසා වුණේ. සංගීතය නොදැන හිටපු මම ජාතික තරුණ සේවා සභාවට ආවට පස්සේ තමයි සංගීතය ඉගෙන ගත්තේ. මම ඉගෙන ගත්ත දෙයින් උපරිම ප්‍රයෝජන මේ වෙනකොට අරගෙන තියෙනවා. මොකද ඒ කාලේ සමහර ප්‍රසංගවල මට ගීත ගායනා කරන්න ලැබුණේ නැහැ. නමුත් මම පසුබට වුණේ නැහැ. කොහොම හරි මේ ගමන ආවා. ඒ ආපු ගමන දිහා ආපස්සට හැරිලා බලනකොට හරිම සතුටුයි. මේ හැමදේම මට ලැබුණේ මගේ අම්මා, තාත්තා සහ ගුරුවරු වන ෂර්ලි වෛජයන්ත, නිහාල් ගම්හේවා සහ ජාතික තරුණ සේවා සභාව නිසාමයි.

● මේ ප්‍රසංගය සුවිශේෂත්වයක් තියෙනවද?

ඔව්. මේ වෙද්දි මගේ අම්මයි, තාත්තයි දෙන්නම නැහැ. මම ඒ දෙන්න වෙනුවෙන්, ඒ දෙන්නා මාව හදන්න, අපේ පවුල හදන්න වෙච්ච දුක් මහන්සිය සේරම එකතු කරල, ඒ හැකියාවන් එකතු කරලා මම ලස්සන සිංදුවක් ලියලා එදාට වීඩියෝ එකක් එළිදක්වනවා මගේ රසික රසිකාවියන්ට බලන්න. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කොහොමද ජීවිතේ හදාගත්තේ කියලා පෙන්වනවා ඒ වීඩියෝවෙන්.

● පාරමී කෞෂිකා

චන්ද්‍රසේන ඔයා නිසා නොමිලේම සින්දු කියයි

advertistmentadvertistment
advertistmentadvertistment