ජනතාවගේ අතට සල්ලි එන ක්‍රමයක් ගැන ජනපතිගේ යෝජනාව

179

ආරම්භ වූයේ නොවැම්බර් මාසයයි. සාමාන්‍යයෙන් වෙනත් වසරවල නම් මේ මාසයේ අපේ රටේ පොදු ජනතාව අතර කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකාව වන්නේ අයවැයයි. පොදු ජනතාව අයවැයෙන් ලැබෙන වාසි ප්‍රයෝජන මොනවාදැයි කියා කතාබහ කරති. දේශපාලන කරළියේ ඒ ගැන කෙරෙන වාද විවාද ද බොහෝය.

එහෙත් මෙවර කට්ටිය පොදු ව්‍යවහාරයේ අය වැය ගැන කතිකාවක් ඇත්තේම නැති තරම්ය. ඒ වෙනදා අයවැයෙන් කෙරෙන වෙනස්කම් මේ සමයේ මාසයකට දෙතුන් වතාවක් නිතර සිදු වීම දැන් ජනතාවට පොදු පුරුද්දක් සේ දැනෙන්නට පටන් ගෙන ඇති නිසා ය.

කෙසේ වෙතත් පසුගිය කාලයේ දිගින් දිගටම සිදු වූයේ එක්කෝ බදු වැඩි වීම්ය. නැත්නම් මිල වැඩිවීම්ය. එසේත් නැත්නම් බිල් වැඩි වීම ය. ඒ නිසා ජනතාවට දැන් ඒවා විඳින්නට අයවැයක් එනතුරු බලා සිටින්නට වුවමනා නැත. ජනතාවට ඒ ගැන බලාපොරොත්තුවක් ද නැත්තේ පඩි වැඩිවීමක් හෝ මිල අඩුවීමක් කිසි විටෙකත් ඒ වෙතින් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයට රටේ ආර්ථිකය බිඳ වැටී ඇති බව ජනතාව හොඳින් දන්නා නිසාය.

මේ කාරණා කෙසේ වෙතත් පසුගිය දිනවල දිගින් දිගටම සිදු වූ මිල වැඩි වීම්වලට සහ රටේ උද්ධමනයට සාපේක්ෂව රටේ ජනතාවගේ වැටුප් වැඩි වීමක් ද සිදු විය යුතු යැයි තර්ක කරන දේශපාලනඥයෝ පිරිසක්ද සිටියහ. ලක්ෂ දහතුනක් පමණ සිටින රජයේ සේවකයන්ගේ, විශ්‍රාමිකයින්ගේ හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ ද වැටුප සාපේක්ෂ අගයකින් ඉහළ යා යුතුයි ඔවුහු තර්ක කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යාංශයේ හා මූල්‍ය මණ්ඩලයේ සිටින එම ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් පසුගිය කාලයේ මේ පිළිබඳ කරුණු විමසනු ලැබීය. ජනතාව දැරිය නොහැකි පීඩනයකින් පසුවන බව සියලු දෙනාගේම අදහස වූහ. යම් ප්‍රතිශතයකින් මේ අයගේ වැටුප් වැඩි වීම කළේ නම් එය මේ රටේ වැඩකරන ජනතාවට යම් අස්වැසිල්ලක් වනු ඇතැයි බොහෝ දෙනෙක් කියා සිටියහ.

මේ සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ අයවැය කාර්ය සාධන කටයුතුවලදීද සිදුකෙරුණු අතර අමාත්‍යවරුන්ගේ හා ඉහළ නිලධාරීන්ගේ ද ඒ සඳහා ප්‍රතිරෝධයක් නොවීය. අවසානයේ එය මුදල් අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාවලදී එළිපිට කතාබහ කෙරෙන කාරණයක් බවට පත්විය.

● වැඩි පඩි දෙන්නේ
මෙන්න මෙහෙමයි

පසුගිය සතිඅන්තයේ විවේකයක් ගත කරන්නට අනුරාධපුරයට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳුදා පෙරවරුවේ යළි කොළඹ බලා පැමිණියේය. ඒත් සමගම ඔහු කලින් යොදා ගෙන සිටි මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ද නිසි වේලාවට පැමිණියේය. එහිදී ජනාධිපතිවරයා හා නිලධාරීන් සාකච්ඡා කළේ ලබන දහතුන් වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිත අයවැය යෝජනාවලියේ අවසාන තීන්දු තීරණ කීපය ගැනයි. ජනාධිපතිවරයා නිලධාරීන් ගෙන් විමසා සිටියේ ලැබෙන ආදායම අරපිරිමැස්මෙන් පිරිමහ ගන්නා අතරේ ආදායමෙන් සියයට 50 කට වැඩි මුදලක් ණය වාරික හා පොලී ආපසු ගෙවීම සඳහා වැය කරමින් සේවකයන්ගේ පඩිය ද වැඩි කළ යුත්තේ කෙසේද කියාය.

හවස අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් ඇති විය.

“මේ රටේ රාජ්‍ය අංශයේ සේවකයෝ දුෂ්කර ජීවිතයක් ගත කරන බව අපි දන්නවා. හැමෝම කැපකිරීම් කරනවා. අමාරුවෙන් උනත් වැටුප් වැඩි කිරීමකට යන්න අපි මේ වෙලාවේ තීන්දුවක් ගත්තා. අපි මේ වැටුප් වැඩි කිරීම කරන්නේ වෘත්තීය සමිතිවල බලපෑම් නිසා නම් නෙවෙයි. අපි දේශපාලන පක්ෂ වල සටන්පාඨවලටත් බය නෑ. හැබැයි රජය ප්‍රතිපත්තිමය තීන්දුවක ඉන්නවා බඩු මිල හා සේවාවන්හි මිල ගණන් වැඩි වෙනවා නම් ඊට පුළුවන් තරම් ගැළපෙන ලෙස රටේ ජනතාවගේ ආදායමත් ඉහළ නැංවිය යුතුයි කියලා. ඒකයි අපි මේ වෙලාවේ වැටුප් වැඩිවීමකට අත තිබ්බේ…” ජනාධිපතිවරයා එසේ කියන විට සමහර ඇමැතිවරු අත්පොළසන් දෙන්නට ද පටන් ගත්හ.

කෙසේ වෙතත් පසුගිය සතියේ රජයේ ඉහළ පෙළේ රැස්වීම්වල මේ පිළිබඳව කරුණු කාරණා රැසක් සාකච්ඡාවට ලක් වූහ. හැකි උපරිමයෙන් ජනතාවගේ වැටුප් නංවන ලෙස පුද්ගලික අංශයෙන් ද ලොකු ඉල්ලීමක් කළ යුතු බව දේශපාලනඥයන්ගේ අදහස වූහ.

පසුගිය සෙනසුරාදා ජනාධිපතිවරයා අනුරාධපුරය බලා පිටත්ව ගියේ විවේකයක් ගත කරන්නට බව ඇත්ත ය. එහෙත් එහිදී එක්තරා සාකච්ඡාවක් සඳහා අනුමැතිය ලබා නොදී සිටීමට ජනාධිපතිවරයාට බැරිවිය. මේ වූ කලී උතුරු නැගෙනහිර දෙපළාතේ මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්ගේ විශේෂ ඉල්ලීමක් මත සංවිධානය කරන ලද්දක් වූහ. එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ රැස්වීම සංවිධානය කළේය.

● වඳින්න පුදන්න
හැමෝටම තැනක්

මෙහිදී භික්ෂූන් වහන්සේලාට මූලික වශයෙන් සාකච්ඡා කරන්නට විශේෂ කරුණු දෙකක් තිබිණි. එකක් කුරුන්දි විහාරය සම්බන්ධයෙන් පැන නැඟී ඇති උණුසුම් තත්ත්වයයි. අනිත් ප්‍රශ්නය තිබුණේ නැඟෙනහිර මඩකලපුවේ මංගලාරාමය ප්‍රමුඛ විහාරස්ථාන සම්බන්ධයෙනි. අන්‍ය ජාතීන් හා ආගමිකයන් විසින් නැගෙනහිර පළාතේත් උතුරු පළාතේත් ඇති බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යා ස්මාරක සම්බන්ධයෙන් විවිධ ගැටලු මතු කර ඇතැයි කියා බොහෝ කලක සිට යෝජනා රැසක් තිබුණත් කුරුන්දි විහාරයේ ප්‍රශ්නය හා මංගලාරාම විහාරයේ ප්‍රශ්න මේ වන විට දේශපාලනීකරණය වී තිබිණි. මේ පළාත් දෙකේ භික්ෂූන් වහන්සේලා හා අන්‍යාගමික නායකයින් රැසක් ඉරිදා සවස පැවැති මෙම හමුවට එක්ව සිටියහ.

“ජනාධිපති තුමනි… අද වෙනකොට මේ ප්‍රශ්න හුඟක්ම ඇතිකරලා තියෙන්නේ දේශපාලකයන් ඇතුළු ප්‍රදේශයට පිටතින් පැමිණෙන පුද්ගලයෝ…” වව්නියාව බෝධි දක්ෂිණාරාම අධිපති සියඹලාගස්වැව විමලසාර හිමියෝ කීහ.

“පෞරාණික ස්ථානවල බෞද්ධ ස්මාරක වගේම අන්‍යාගමික ස්මාරකත් තියනවා. පොලොන්නරුවේ පූජා භූමියේ තියෙන හින්දු ස්මාරක බලන්න ඕන කෙනෙක් යනවා. සංචාරක ඔය කාගෙවත් විරෝධයක් නැහැ. ඒ මොකද පුරාවිද්‍යා එකෙන් ඒ ස්ථාන පාලනය කරමින් ආරක්ෂා කරන නිසා. එම නිසා ජනාධිපතිතුමනි උතුරු නැගෙනහිර පළාතේ තියෙන මේ වගේ සංවේදී තැන් පුරාවිද්‍යාවට බාරදීලා හැමෝටම වන්දනාමාන කරන්න පුළුවන් විදියට ඉඩකඩ හදලා දෙන්න. එච්චරයි මේකට යොදන්න තියෙන පිළියම. හාමුදුරුවරුන් යටතටවත් වෙනත් පූජකතුමන්ලා යටතටවත් දේශපාලඥයෝ යටතටවත් දුන්නොත් තමයි මේ ප්‍රශ්න.

මේ අතර ත්‍රිකුණාමලයේ ආගමික නායකයෝ ප්‍රශ්න ඉදිරිපත් කළේ ඒ පළාත භාර ආණ්ඩුකාරවරයාගෙන් සිදුවන හිරිහැර කරදර ගැනය. කිසි දෙයක් දන්නෙ නැතිව ඉතිහාසයක් දන්නේ නැතිව ජාතිවාදය පමණක් හිසේ තබාගෙන නිල බලය පාවිච්චි කරමින් ප්‍රශ්න ඇති කරනවාය කියන චෝදනාව ඔවුන්ට එරෙහිව නැඟෙන්නට විය.

මේ ප්‍රශ්න කෙරෙහි සාවධාන ව අසා සිටියත් ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමු ව තිබුණේ ඒවා ගැනටත් වඩා උතුරු නැගෙනහිර කේන්ද්‍ර කරගත් සංවර්ධන ව්‍යාපෘති ගැනය.

“උඩින් පේන්නෙ ආගමික සංස්කෘතික ප්‍රශ්න උනාට යටින් තියෙන්නෙ ආර්ථික ප්‍රශ්න. ඒක හින්දා මිනිස්සුන්ට අතට සල්ලි එන ක්‍රමයක් හදන්න ඕන. සංවර්ධනය තමයි හොඳම විසඳුම…” එසේ කියමින් ජනාධිපතිවරයා කතා කළේ වව්නියාව නිෂ්පාදන නගරයක් ලෙස දියුණු කරන ආකාරය ගැනය. තලෙයිමන්නාරමේ සිට ඉන්දියාව දක්වා ඇරඹෙන නෞකා සේවය ගැනය. ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුව ගැන ය. ජනාධිපති ප්‍රශ්නවලට විසඳුම් සොයන ආකාරය ගැන ආගමික නායකයෝ කල්පනාකාරීව අසා සිටියහ. කෙසේ වෙතත් මේ සාකච්ඡාව සුහද ඉතා වැදගත් සාකච්ඡාවක් ලෙස අවසන් විය.

●ඇමැතිනී ඩයනා
නිදහස් ද දිනුම් ද

ඩයනා ගමගේ ඇමැතිතුමිය පාර්ලිමේන්තුවේ දී කැපී පේන්නේ ආන්දෝලනාත්මකව අදහස් පළ කරන කාන්තාවක් හැටියට ය. ඇය මේ රටේ නෛතිකව තහනම් ඇතැම් ද්‍රව්‍ය හා ඇවතුම් පැවතුම් නීතිගත කළ යුතු යැයි යෝජනා කරයි. ඈ පෙන්වන්නේ ඒ මගින් අප නොහිතනා අන්දමක විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වනු ඇතැයි කියාය. ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කළ අදහස් කොහොමත් විවාදිත ය.

මේ අතර ඇයට සමගි ජන බලවේගය සමග ද ලොකු අරියාදුවක් තිබිණි. සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරියක් වී ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට ඇය සමග කෝන්තර ගණනාවක්ම තිබිණි. එහෙත් මීට කලකට පෙර ඇයට එරෙහිව උසාවියේ නඩුවක් පැවරෙන්නේ එකී කෝන්තර හේතුවෙන් නම් නොවේ. නඩුවේ මූලික චෝදනාව වන්නේ මේ රටේ පුරවැසිභාවය නැති කෙනෙකු උත්තරීතර පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතවරියක ලෙස කටයුතු කිරීම ගැනයි.

මේ නඩුව දිගින් දිගටම ඇසෙමින් කල් දැමෙමින් නැවත ඇසෙමින් පසුගිය කාලය මුළුල්ලේම පැවැතියේය.

නසීර් අහමඩ් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු අසුන අහිමි වීම තුළ පහුගිය කාලයේ බොහෝ දේශපාලන නිරීක්ෂකයෝ ඩයනා ගමගේ සිද්ධිය දෙස ද අමුතුවෙන් බලන්නට පටන් ගත්හ. ඒ හා සාපේක්ෂව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සිදු වූ ඩයනා ගමගේ සම්බන්ධ කලබැගෑනිය නිසාද ඇයට ලැබුණු අවධානය වැඩිවිය. සමහරු අනාවැකි පළ කළේ ඩයනා ගමගේටත් මේ පාර වැඩේ වැඩේ වරදිනු ඇතැයි කියාය. සමගි ජන බලවේගය ද ඒ පිළිබඳව තදින් විශ්වාසය තබා බලා සිටියහ. 31 වැනිදා තමන්ට වාසිදායක අයුරින් නසීර් අහමඩ් අන්දමේ විනිශ්චයක් අභියාචනාධිකරණය තුළින්ද ලැබේ යැයි සමගි ජන බලවේගයේ ඇතැම්හු බලාපොරොත්තු වූහ. මේ නිසා මාධ්‍යවේදීන් ඊළඟට ඩයනාගේ පුරප්පාඩුව පුරවන්නට පත් කරන්නේ කවුදැයි කියා ද දුරකථන පක්ෂයෙන් විමසන්නට වූහ.

“නෑ නෑ… ඒ ගැන අපිට වැඩි කලබලයක් නෑ. අවශ්‍ය වුණු දවසට පත්කරනවා. එදාට අපි අපෙන් සිදු වෙච්ච අත්වැරැද්ද නිවැරැදි කරනවා.” දුරකථන පක්ෂයේ එක්තරා නායකයෙක් කීවේ එසේ ය.

කෙසේ වෙතත් 20 වැනිදා අධිකරණය විසින් ලබා දුන්නේ ඔවුන්ගේ බලාපොරොත්තු සුනු විසුනු කළ තීන්දුවකි. ඇයට එරෙහිව නඟා තිබූ චෝදනාව ඔප්පු කර දක්වන්නට තරම් ශක්තිමත් සාක්ෂි නොමැති බව හේතුවෙන් ඩයනා නිදහස් විය.

ඩයනාගේ නිදහස් වීමත් සමගම මාධ්‍ය යළි යළිත් ඇයව වට කර ගන්නට වූහ. එහෙත් ඒ තම කට පරිස්සම් කර ගන්නට ඕ අමතක නොකළාය.

සමහර මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඩයනාගේ විරුද්ධවාදී පාර්ශ්වවල මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නට උත්සාහ කළත් ඔවුන්ද ඇය ගැන කිසිවක් කියන්නට ඉක්මන් වූයේ නැත.

සමහර මාධ්‍ය මේ පිළිබඳ ගීතා කුමාරසිංහ ඇමැතිවරිය ගෙන් කරුණු විමසන්නට උත්සාහ කළේ විදේශ පුරවැසිකම තිබීම හේතුවෙන් ඇයට එක් වරක් මන්ත්‍රීකම අහිමි වී අත්දැකීමක් තිබූ නිසාය. ඇයද ඒ සම්බන්ධයෙන් වචනයක්වත් නොකියන්නට වග බලා ගැනීමත් විශේෂත්වයක් විය.

● ජනතාවට දෙන සහන
පොහොට්ටුව බලනවලු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ජනාධිපතිවරයාත් අතර මේ දිනවල විරසකයක් ඇතැයි යන කතාව රහසක් නොවේ. එහෙත් පුදුමයට කාරණාව මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල්වත් පොහොට්ටුව පැත්තෙන් මහින්ද රාජපක්ෂ කොතැනකවත් කිසිවක් නොකීමය. දෙදෙනාම ඒ සම්බන්ධයෙන් කවුරු කොහොම කරුණු විමසුවත් මුනිවත රැක්කා මිස උත්තර දෙන්නට ගියේ නැත.

යම් යම් තැන්වල මේ සම්බන්ධයෙන් දැඩි අදහස් පළ කරමින් ආන්දෝලනාත්මක කතා කීපයක් ලියා තිබුණේ පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පමණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ දිනවල ලොකු ලොකු වෙනත් රාජකාරි තිබිණි. ඔවුන් දීප ව්‍යාප්ත වෙනත් ක්‍රියාකාරකම්වල යෙදී සිටියහ. විශේෂයෙන් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට මුල් තැන දෙමින් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් රට වටේ යමින් සිටියහ.

ඒ අතර අයවැය ගැන ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළාන්තයේ කතා බහක් ඇති විය. ඇමැති මාරුවක් කර පොහොට්ටුවේ අනුමැතියක් නොමැතිව කෙහෙළියව තනතුරෙන් ඉවත් කර වැවිලි කර්මාන්ත ඇමැතිකම මහින්ද අමරවීරට දීම සම්බන්ධයෙන් පොහොට්ටුවට ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණි.

ඇතැම් ප්‍රකාශකයන් නිල නොවන මාර්ගවලින් කියා තිබුණේ ආණ්ඩුව මේ අයුරින් පොහොට්ටුවට රිදවයි නම් මෙවර අයවැයට සහාය දීම සම්බන්ධයෙන් ද පොහොට්ටුවට ගැටලුවක් ඇති බව ය.

ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරු පිරිසක් නාමල් රාජපක්ෂ හමුවන්නට පැමිණ මේ ගැන විමසා සිටියහ.

“ඒ හේතුව නිසා නෙවෙයි. ජනතාව ඉන්නේ පීඩාවෙන්. දවසින් දවස ඉන්ධන වැඩි කරනවා. බිල් වැඩි කරනවා. විවිධ බදු ගහනවා. ජනතාව ඉන්නේ හොඳටම අමාරුවෙන්. අයවැයෙන්වත් ජනතාවට සහනයක් දීල නැත්නම් අපි මොකටද අයවැයට පක්ෂව ඡන්දෙ දෙන්න. මේ ආණ්ඩුව රකිනවා කියලා රටේ මිනිස්සු තවමත් බණින්නෙ පොහොට්ටුවට. ඒ ගොල්ල වෙනුවෙන් අපි බැණුම් අහන්න ඕනේ නෑ. ජනතාවට මොනවද දීලා තියෙන්නෙ කියලා බලල තමයි අපි අයවැයට උදව් කරනවද නැද්ද කියලා තීරණයක් ගන්නෙ…” නාමල්ගේ ප්‍රකාශය තරමක් උණුසුම් එකක් විය.

“කොහොම වුණත් අපි මහින්ද මහත්තයාගෙන් මේ ගැන අහලා හිටියොත් නේද හොඳ…” තවත් පිරිසක් එසේ කීවෙන් පසුගිය බදාදා නාමල් සිය පියා වන මහින්ද රාජපක්ෂ මුණගැහීමට ගියේ ය.

“මම නම් මේ පාර අයවැයේදී ආණ්ඩුවට උදව් කරන්නේ ජනතාව වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ කියලා බලලා…” නාමල් කීවේය

“ඔව් මන්ත්‍රීවරයකු විදියට ස්වාධීන තීරණ ගන්න එක හොඳයි. හැබැයි ඔයා මීට වඩා මේ ගැන හොයලා බලන්න. ඔයාට තියෙන්නෙ හැම කෙනාගෙන්ම මේ ගැන අහන්න. විශේෂයෙන්ම පක්ෂ ජ්‍යෙෂ්ඨයින්, හිටපු මුදල් අමාත්‍යවරු එහෙම මුණ ගැහිලා අදහසක් අරගන්න. මහින්ද හිටපු ජනාධිපතිවරයා නාමල්ට පැවසීය.

“ඔව් මම ත්‍රීවීල් මල්ලිලාගෙ ගොවීන්ගෙ ඉඳන් සමාජයේ ඉන්න හැමෝගෙන්මත් අදහස් අහනවා. ඒ වගේම පක්ෂ ජ්‍යෙෂ්ඨයින්, හිටපු මුදල් අමාත්‍යවරුන්, මුදල් ලේකම්වරු, මහබැංකු අධිපතිවරු, වෘත්තිකයින් වගේ තෝරාගත් පිරිසකගෙන් අදහස් ලබාගන්න කටයුතු කරන වැඩපිළිවෙළක් කරගෙන යනවා. මේ සතියෙ ඉඳන් ඒක පටන් ගන්න යන්නෙ.” නාමල් පැවසීය.

“ඒ වගේම මම ඒ අයගෙ නිවාසවලට ගිහින් මේ ගැන කතා කරන්න තමයි යන්නෙ නාමල් වැඩිදුරටත් පැවසීය.

“ඔව් එහෙම කරන එක බොහොම හොඳයි. දිගටම එහෙම කරගෙන යන්න මහින්ද රාජපක්ෂ නාමල්ට පැවසීය.

ඒ අනුව නාමල් රාජපක්ෂ මේ සතියේ සිට පක්ෂ ජ්‍යෙෂ්ඨයින් වෘත්තිකයින්, හිටපු මහබැංකුවේ අධිපතිවරු, මුදල් ලේකම්ලා ඇතුළු පිරිස ගෙයින් ගෙට ගොස් මුණ ගැසීම ආරම්භ කිරීමට නියමිතය. මීට අමතරව මේ සතියේදී පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් හා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂව ද මේ සතියේ මුණ ගැසී තිබිණි.

● අරාබි තානාපති
රංජිත්ට කියපු දේ

බ්‍රහස්පතින්දා හවස සෞදි අරාබියේ තානාපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හමුවන්නට ආවේ විශේෂ සාකච්ඡාවකට ය. ශ්‍රී ලංකාවට ඉදිරියේදී සවුදි අරාබිය විසින් ලබා දීමට බලාපොරොත්තු වන සහන හා උදව් උපකාර ගැන ඔහු ලොකු විස්තරයක් කළේ ඇමැතිවරයා වශයෙන් රටේ තත්ත්වය හා රටේ ඉදිරි අනාගත වැඩපිළිවෙළ අසා දැන ගත්තාට පසුවයි.

මේ තානාපතිවරයා තරමක් තරුණ ප්‍රියමනාප පෙනුමැති ප්‍රසන්න පුද්ගලයෙකි. ඔහු එක් අවස්ථාවක ඇමැතිවරයාට කියූ කාරණාවක් නිසා ඇමැතිවරයා මවිතයට පත්විය.

“මම ඔබේ රටට උදව් කරන්න ඉතාම කැමතියි. මම මේ රටට ආදරෙයි. අර මොකද මගේ දෙවැනි අම්මා ඉන්නෙ මේ රටේ…” ඇමැතිවරයා ඒ කියූ කතාවේ තේරුම මොකක් දැයි කියා දිගින් දිගටම විමසන්නට විය… මුලදී තොරතුරු හෙළි කළේ නැත. එහෙත් අවසානයේ තානාපතිවරයාට ඇත්ත කතාව නොකියා බැරි විය.

“ඔව් ගොල්ලන්ගේ රටෙන් අපේ රටට සේවිකාවන් යවනවනේ. ඉතින් මම ඉපදුනේ අරාබි අම්මා කෙනෙකුට බව ඇත්ත. හැබැයි ඉපදුනාට පස්සේ මාව බලාගත්තේ මාව ඇති දැඩි කළේ ලංකාවේ අම්ම කෙනෙක්. එයා හරිම කරුණාවන්ත ගුණයහපත් බුද්ධිමත් කෙනෙක්. එයා ලංකාවෙ විදියට ගුණ දහම කියාදීලා මාව ඇති දැඩි කළා. ඉතින් ඒ තමයි මගේ දෙවැනි අම්මා. මම ලොකු මිනිහෙක් වුණාට පස්සේ ඒ අම්මටත් එයාලයි පවුලටත් හොඳින් සලකලා තියෙනවා. අදටත් මම ඒ අම්මව බලන්න යනවා. ඒ අම්මගෙ රටට මමත් හරි ආදරෙයි. ඒකයි ලංකාව තෝරාගෙනම මම මෙහාට ආවෙ…”

තානාපතිවරයා එසේ හැඟුම්බරව කියන විට ඇමැතිවරයාගේ නෙත් කෙවෙනි අගට ද කඳුළු බිඳු මෝදු වූයේ නොදැනුවත්වය.

● නව සන්ධානයෙන්
පොහෙට්ටුවට උත්තර

මේ අතර නිමල් ලාන්සලාගේ නව සන්ධානයේ දේශපාලන මණ්ඩලය නියෝජනය කරන මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් කොළඹ පිහිටි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ නිවසේදී පසුගිය බදාදා රාත්‍රියේදී පැවැත්වුණි.

එම අවස්ථාවට අනුර යාපා, නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, පියංකර ජයරත්න, දුමින්ද දිසානායක යන මැති ඇමැතිවරුන්ද සුගීශ්වර බණ්ඩාර, සිරිපාල අමරසිංහ සහ හිටපු පළාත් මහ ඇමැතිවරුන් දෙදෙනකු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. නව සන්ධානයේ ඉදිරි දේශපාලන කටයුතුවලට අමතරව වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද පිරිස කතාබහ කිරීම විශේෂත්වයකි.

“ගිය සුමනේ ලන්සාගේ ටෝක් එක නිසා පොහොට්ටුව හොඳටම කලබල වුණා. කට්ටිය හිතුවේ නෑ හැබැයි ලන්සා මෙහෙම කියයි කියල” අමරවීර කතාබහ ආරම්භ කරමින් කීවේය.

“නෑ… ඒක කිව්ව එක හොඳයි, නැත්තම් අරගොල්ලා හැමදාම කරන්නේ මිනිස්සුන්ගේ හොඳ නම ගන්න ඔයවගේ දිව දෙකේ කතා කියන එක” ලසන්ත අලගියවන්න කීවේය. “ඔව්..ඉන්නව නම් කට වහගෙන ජනාධිපතිතුමාට සහාය දීල ඉන්න ඕනා, නැත්තන් විපක්ෂේ ගිහින් වාඩිවෙලා ජනාධිපතිතුමාට බනින්න ඕනා. මොනවද මේ විහිළු. පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාට සහාය දෙනවා, එළියට ඇවිත් බනිනවා” නලින් ප්‍රනාන්දු කතාබහට එක්විය.

“මට තේරෙන විදියට නම් ලන්සා ඇමැතිතුමා කිව්ව එක මේගොල්ලෝ හරියට තේරුම් අරගෙන නෑ. ගාමිණී ලොකුගේත් මම දැක්ක මොනවද මේ ගැන කියනවා” සුගීශ්වර කීවේය.

“අපෝ… ඒ කියන ඒවා නම් ගණන් ගන්න ඕනා දේවල් නෙමෙයි” හිටපු මහ ඇමැතිවරයකු සිනාසෙමින් කීවේය.

“නෑ මම පැහැදිලිව ඇහුවේ වැවිලි කර්මාන්ත විෂය කෘෂිකර්ම අමාත්‍යාංශයට දෙන්නේ නැතුව වෙන දෙන්න තියන අමාත්‍යාංශය මොකක්ද කියල, ජනාධිපති හොඳ නැත්තන් විපක්ෂයේ ගිහිං වාඩිවෙන්න කියල, නාමල්ගෙන් ඇහුවේ බාප්පා ඇමැතිකම් රොත්තක් අයින් කරලා අලුත්ම කට්ටියකට ඇමැතිකම් දෙනකොට කොහෙද හිටියේ කියල. ඒ වගේම අය වැය පරද්දනවා කියල කෑ ගහනවනේ පුළුවන් නම් පරද්දන්න කියල ඔය ටිකනේ මම කිව්වේ. ඒවාට උත්තර දෙන්නේ නැතිව කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර වැඩක් නෑනේ” ලන්සා පිරිස දෙස බලමින් කීවේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment