රනිල්ගෙ බොරු වලේ වැටෙන්නෙ නෑ!

80

මැතිවරණයකට බාධා කිරීම වසර තුනක් සිරගත කළ හැකි වරදක්
ජනාධිපතිවරයාගේ ලණු කන්න එපා….

“ආණ්ඩුවට සදාකාලිකව ඡන්දය තියන්නෙ නැතිව ඉන්න බෑ. ආණ්ඩුව මාස හයක් නම් ඡන්දය කල් දාන්නෙ අපි මිනිස්සු එකතු කරනවා ඒ ඡන්දය තියෙන මොහොතෙ ආණ්ඩුව පරද්දවන්න. අපි මහජන බලය පෙන්වනවා. ඒ නිසා ඡන්දය කල් දාන එක ආණ්ඩුවට උත්තරයක් නෙවෙයි…” වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ‘ඉරිදා දිවයින’ සමග පැවැති සාකච්ඡාවකදී එසේ ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ය. ඔහු කළ සම්පූර්ණ සාකච්ඡාව මතු දැක්වේ.

දේශපාලන පක්ෂවල මැතිවරණය සඳහා පවතින උනන්දුව පිළිවෙළට ගත්තොත් එහි ඉහළින්ම ඉන්නෙ ජාතික ජනබලවේගය. ආර්ථිකයත් කඩා වැටී තිබෙන මොහොතක ජාතික ජනබලවේගය මැතිවරණයට මේ තරම් උනන්දු ඇයි?

ඇත්තටම හේතුව තමයි අපේ රටේ ජනතාවට වසර හැත්තෑපහක් තිස්සෙ කරපු දේශපාලනය එපා වෙලා ඒ අත්දැකීමෙන් ජනතාව ඒ දේශපාලනයෙන් ඉවත්වෙලා ජාතික ජනබලවේගය වටා එකතුවෙලා තියෙනවා. ඒ එකතු වෙමින් ඉන්නෙම පළාත් පාලන මැතිවරණයෙන් එහාට ගිහින් මේ රටේ වෙනසක් කරන්න. ඒ නිසා විශාල බලවේගයක් එකතු වුණාම ඒ බලවේගයේ ජයග්‍රාහි මානසිකත්වයක් තියෙන්නෙ. ඒ නිසාම ලොකු උනන්දුවක් තියෙනවා. අනිත් අයට උනන්දුව නැත්තෙ එකක් එයාලට ගමට යන්න බෑ. ගෙයක් ගෙයක් ගාණේ යන්න අමාරුයි. එයාලට සමාජෙට මුහුණ දෙන්න බෑ. ඒ නිසා එයාල ඡන්දයට අකැමැතියි. හැංගිලා ඉන්නෙ. එහෙම ප්‍රශ්නයක් නැත්තෙ ජාතික ජන බලවේගයට. ඉතින් ජාතික ජන බලවේගය අලුත් යමක් කරන්න විශාල උනන්දුවකින් වැඩ කරමින් යනවා.

හැබැයි ඔබලා කොච්චර උනන්දුවකින් වැඩ කළත් රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස මැතිවරණය සඳහා තවමත් ක්‍රියාත්මක වෙලා නෑනෙ?

වෙලා තියෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා නෑ නෙමෙයි, ක්‍රියාත්මක වෙන රාජ්‍ය යාන්ත්‍රණයට ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස බාධා කරමින් ඉන්නවා. මොකද අපේ රටේ මැතිවරණ තියන්නෙ මැතිවරණ කොමිසම. ජනාධිපති නෙමෙයි, අගමැති නෙමෙයි. මැතිවරණ නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාම ඊට අදාළ සේවා සපයන ආයතන පොලිසිය, රජයේ මුද්‍රණාලය වැනි ආයතන නීතියෙන් බැඳිල ඉන්නවා මැතිවරණය කරගෙන යෑමට සහය ලබා දීමට. මීට කලින් හැම ඡන්දයක්ම වුණෙත් එහෙමයි. කව්රුවත් ඒක ප්‍රශ්න කරන්න ගියෙත් නෑ. මේ සැරේ ප්‍රශ්නය තමයි මේ සැරේ ඡන්දය ප්‍රකාශයට පත් කරන්න කලින් ඉඳන්ම ජනාධිපතිවරයා මේ ඡන්දය වළක්වන්න උත්සහ ගනිමින් හිටියෙ. ඔහු කිව්වෙ මැතිවරණය තියන්න සල්ලි නෑ කියල. ඇත්ත ගත්තොතිත් සල්ලි නෙවෙයි නැත්තෙ ඔහුට ඡන්දයි නැත්තෙ. එතකොට ඔවුන්ගෙ ජන වරමේ ප්‍රමාණය හෙළිදරව් වෙන නිසා මේ ඡන්ද ප්‍රතිඵලයට බයයි. ඒ නිසා ප්‍රකාශයට පත් කරපු ඡන්දය නවත්වන්න අධිකරණයටත් ගියා. ඒකත් හරි ගියේ නෑ. ඇප මුදල් ගැනීම වළක්වන්න දිසාපතිවරුන්ට ලියුම් ගහල ඒකත් හරි ගියේ නෑ. දැන් අපි වගකීමෙන් කියනවා ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවල ඇයට බලපෑම් කරල මේ මුද්‍රණ කටයුතු වළක්වන්න කටයුතු කරල තියනවා. ඒ අනුව තමයි ඇය සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නෙ නෑ කියල මැතිවරණ කොමිසමට ලියුමක් එවන්නෙ. මේ තියෙන්නෙ හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණයට බාධා කිරීමක්. අපි මේ නිලධාරීන්ට කියන්නෙ ජනාධිපතිවරයාගේ ලණු කාලා අමාරුවේ වැටෙන්න එපා. අනිවාර්යයෙන් මැතිවරණ නීතිය අනුව මැතිවරණයකට බාධා කිරීම වසර තුනක් සිරගත කළ හැකි වරදක්. ජනාධිපතිවරයට නම් මේ වෙලාවේ මුක්තිය තියන නිසා බේරෙනවා. නමුත් රාජ්‍ය නිලධාරීන්ට ඒක නෑ.

මුද්‍රණාලයාධිපතිනිය කටයුතු කරන්න ඕන රජය කියන විදියට නේද?

ඇයට කිව්වොත් රජයෙන් මුද්‍රණ කටයුතු කරන්න ඇය බැඳි ඉන්නෙ මුද්‍රණ කටයුතු කර දෙන්න. නැතිව නවත්වන්න නෙවෙයි. ඒ වගේම මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාම එතෙක් සිට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටින දේ කර දෙන්න ඇය බැඳී සිටිනවා. ඇය එය පැහැර හැරියොත් ඇයට එරෙහිව නඩු පවරල හිරේ යවන්න විතරක් නෙවෙයි විශාල වන්දි මුදලක් ලබා ගන්නත් පුළුවන්. නිලධාරීන්ගේ වගකීම සමාජයට වග වීම. අපි කියන්නෙ නිලධාරීන් ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න.

ව්‍යවස්ථාදායකයත් විධායකයත් කියනව නම් මැතිවරණ පවත්වන්න මුදල් නෑ කියල විධායකය වන ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් නීතිය ඉදිරියට පමුණුවන්න පුළුවන්ද?

අපේ රටේ මුදල් පාලනය කරන්නෙ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් නොවැම්බර් මාසේ අයවැයක් ගෙනල්ලා ඒ අයවැය අනුමත කරල මේ හැම ආයතනයකටම මුදල් අනුමත කරල තියෙන්නෙ. ඒ නිසා දැන් ආයෙ කියන්න බෑ සල්ලි නෑ කියල. අනික මේ වෙලාවේ ඒ අය ඕන නැති වැඩවලට ඕන තරම් සල්ලි වියදම් කරනවා. නිදහස සමරන්න කෝටි හතලිහක් නාස්ති කළා. අනික මේ ආණ්ඩුව කියන හැමදේම පරස්පරයි. එක පැත්තකින් කියනවා රනිල් වික්‍රමසිංහ ආවට පස්සෙ ආර්ථිකය හැදීගෙන එනවා, අපේ විදෙස් සංචිත පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා, රුපියල ශක්තිමත් අපට මුදල් එනවා වගේ කතා. එහෙම කියල අනෙක් පැත්තෙන් ආයෙ කියනවා, මුදල් නෑ අත්‍යවශම දේ විතරක් කරන්න වගේ කතා. ඒ නිසා අනිවාර්යෙන් මේ ප්‍රෝඩාවට එරෙහිව අපි නීතිය ඉදිරියට යනවා.

මේ වාතාවරණයට එරෙහිව මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් පක්ෂයක් ලෙස ගන්න වෙනත් ක්‍රියාමාර්ග මොනවද?

තාම මැතිවරණ කොමිසම නිල වශයෙන් කිව්වෙ නෑ ඡන්දය තියන්නෙ නෑ කියල. ඡන්ද පත්‍රිකා බෙදා හැරීම කල් දැම්මා කිව්වට ඡන්දය කල් දානවා කියල මැතිවරණ කොමිසම කිව්වෙ නෑ. නිශ්චිත වශයෙන් ඡන්දය කල් දැම්මොත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මැතිවරණය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල එකතු කරගෙන අපිට සටන් කරන්න පුළුවන්. ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර බලවේග සියල්ලටම අපි කතා කරනවා. අපි ජනතාව ඒකරාශි කරනවා. ආණ්ඩුවට සදාකාලිකව ඡන්දය තියන්නෙ නැතිව ඉන්න බෑ. ආණ්ඩුව මාස හයක් නම් ඡන්දය කල් දාන්නෙ අපි මිනිස්සු එකතු කරනවා ඒ ඡන්දය තියෙන මොහොතෙ ආණ්ඩුව පරද්දවන්න. අපි මහජන බලය පෙන්වනවා. ඒ නිසා ඡන්දය කල් දාන එක ආණ්ඩුවට උත්තරයක් නෙවෙයි මීට වඩා නරක් වෙනවා.

මහජන බලයක් හදල මහජන බලය පෙන්වන්න ගියොත් නැවතත් අසූ අට අසූ නවයක් නිර්මාණය වෙයිද?

පැහැදිලිවම අපි දන්නවා ඒ වගේ උගුලක් තමා මේ අටවල තියෙන්නෙ. මොකද මේ ඉන්නෙ ජේ.ආර්. ගෙ බෑණනෙ. ජේ. ආර්රුත් බලය තියාගන්න අසූ තුනේ මැතිවරණය කල් දාල රට ලේ විලක් කෙරෙව්වා. ඒ අත්දැකීම් තියන නිසා රනිල් අටවන උගුල්වල පය නොතියා යන්න තරම් අවබෝධයක් අපිට තියනවා. ඒ නිසා රනිල් කපන බොරු වළවල්වල අපි වැටෙන්නෙ නෑ. අපි කලබල වෙන්නෙ නැතිව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට සටන් කරල ජනතාවගේ ශුද්ධ වූ ඡන්ද අයිතිය දිනා දීලා ඒ ශක්තියෙන් මාලිමාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ස්ථිරසාර වැඩ පිළිවෙළකට අපි යනවා.

ජාතික ජන බලවේගය මැතිවරණය ජයග්‍රහණය කරල බලය ගත්තත් රටක් කරගෙන යන්න තරම් ඔබලට ජාත්‍යන්තර සබඳතා නෑ කියල තමා කියන්නෙ?

මුලින්ම ඒකෙන් කියවෙනවා අපි දිනනවා කියන එක. ඒක සතුටක්. අනික ජාත්‍යන්තර සබඳකම් කියන්නෙ යාළුකම් නෙවෙයි. කාටද එහෙම තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එහෙම තියෙනව නම් මේ අමාරු වෙලාවේ රටවලින් මුදල් ටිකක් ඉල්ලගන්න තිබුණනෙ. හැබැයි තාම බැරි වෙලා තියෙනවා. අඩුම ගාණේ ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවත් බැරි වෙලා තියනවනේ. එයාල කරල තියෙන්නෙ ලෝකයෙන් ණය අරන් කාල කාල රට ණය කරල තියෙන එක. ජාත්‍යන්තර සබඳතා කියන්නෙ රටවල් රටවල් අතර තියෙන සබඳතාවයට. රටවල් අතර මිසක් මිනිස්සු අතර ජාත්‍යන්තර සබඳතා නෑ. මෝදි – රනිල් වික්‍රමසිංහ සබඳතා කියල වර්ගයක් නෑ. රටවල් රටවල් අතර පවතින ජාත්‍යන්තර සබඳතා ඉතාම ගෞරවනීය ලෙස පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව දැනුම අද්දැකීම සියල්ල අපිට තියෙනවා. පසුගිය කාලේ ලංකාවේ ප්‍රබල ප්‍රමුඛ සියලුම තානාපති කාර්යාල අනුර දිසානායක සහෝදරයා හමුවෙලා සාකච්ඡා කළා. අපේ වැඩ පිළිවෙළට ප්‍රසාදය පළ කළා. ඒ කියල අපි කාටවත් යට වෙන්න යන්නෙත් නෑ.

භාණ්ඩාගාරය හිස් කියල කියනවනෙ. හිස් වුණ භාණ්ඩාගාරයක් එක්ක රටක් හදන්නෙ කොහොමද?

භාණ්ඩාගාරය හිස් කළේ මේ පාලකයොනෙ. හිස් වුණ භාණ්ඩාගාරයේ තිබ්බ දේවල් ටික ඒගොල්ල ගාව තියෙනවා. අපි මේ ආණ්ඩුව ගත්ත ගමන් මේ රටේ මහා පරිමාණ වංචා දූෂණ කරපු අයට නඩු පවරනවා. නඩු අහල ඉතා ඉක්මනින් ඒ හරහා හොරකම් කරපු සල්ලි පවරගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා. දෙක අපි ඒත් එක්කම නිෂ්පාදන ආර්ථිකයක් පටන් ගන්නවා. ඒ සඳහා සැලසුම් අපි හදල තියෙන්නෙ. හිටපු ජනාධිපතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප් ඇමැතිවරුන්ට දෙන වරප්‍රසාද අපි නවත්වනවා. ඒ හරහා විශාල මුදලක් රාජ්‍ය වියදමින් අපිට ඉතිරි වෙනවා. වංචා දූෂණ නැති වෙනකොට විදේශීය ශ්‍රමිකයින් රටට මීට වඩා මුදල් එවන බව අපි දන්නවා. කෙටි කාලීනව රටේ ආර්ථිකය ගොඩ ගන්න ඒක විශාල දායකත්වයක් වෙනවා. අපි එන්නෙ එහෙම වැඩපිළිවෙළක් ඇතිව.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment