ජයග‍්‍රාහකයින්ට  ඩොලර් ගණන් තෑගි බෙදන  – මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට ඇරැඹේ….

222

ආසියානු වොලිබෝල් සම්මේලනය සහ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයන් හි අධීක්ෂණයෙන් ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙයවනු ලබන ප‍්‍රථම මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය 18,19,20 දිනවලදී මීගමුව බීච් පාර්ක් වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව 75 වන නිදහස් උළෙලට සමගාමීව ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

තරග මාලාව පිරිමි හා කාන්තා අංශයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා ඉරානය, උස්බෙකිස්ථානය, මාලදිවයින, පාකිස්ථානය සහ සත්කාරක ශ‍්‍රී ලංකාව සහභාගී වීමට නියමිතය. තරග මාලාවේ සමාරම්භක උළෙල 18 වැනි දින පෙ.ව. 8ට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලන සභාපති, ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කාංචන ජයරත්න මහතා සහ මීගමුව නගර සභාපති දයාන් ලංසා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය සඳහා සහභාගී වන රටවල් නියෝජනය කරමින් එක් රටකින් කණ්ඩායම් 02 බැගින් පිරිමි හා කාන්තා අංශයෙන් සහභාගී වන අතර සත්කාරක ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් 03 බැගින් සහභාගී වීමට නියමිතය.

ජයග‍්‍රාහකයින් සඳහා නිදහස් කුසලානය පිරිනැමීමට නියමිත අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ප‍්‍රථම ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් 1500ක්, දෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් 1000ක් හා තෙවන ත්‍යාගය ලෙස ඇමරිකානු ඩොලර් 500ක් පිරිනැමීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහා තරග ලබන 20 වැනිදා රාත‍්‍රී 7.00ට තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment