ජීවන විලේ සැඟව ගිය පේලේ

265

බ්‍රසීල ජාතිකයකු වන මෙතෙක් ලොව බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයකු ලෙස විරුදාවලි ලත් පේලේ පිළිකාවක් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා වේලාවෙන් (30 දා) අලුයම මියගියේය. මියයන විට 82 හැවිරිදි වියෙහි පසු වූ මෙම විශිෂ්ට ගණයේ පාපන්දු ක්‍රීඩකයා ඉකුත් වසරේදී (2021) මහාන්ත්‍රයේ (බඩවැල්) පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගැනිණි. හදිසියේ රෝගාතුර වීම නිසා ඔහුව බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලට ඉකුත් නොවැම්බර් 29 වැනිදා ඇතුළත් කරන ලද අතර නත්තල් දිනය ආසන්න වන විට ඔහුගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව පේලේ ගේ දියණියක් විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි.

පේලේ ගේ මහාන්ත්‍රයේ හටගැනුණු පිළිකාව සඳහා සිදු කළ ප්‍රතිකාර සාර්ථක වුවද ඔහු මියගොස් ඇත්තේ එම පිළිකාව හේතුවෙන් හටගත් බහු ඉන්ද්‍රීය අකර්මණ්‍යතාවය යනුවෙන් හැඳින්වෙන සියලු ඉන්ද්‍රියයන් අක්‍රීය වීමේ තත්ත්වය හේතුවෙන් බව ඇල්බර්ට් අයින්ස්ටයින් රෝහලේ වෛද්‍යවරු පවසා තිබේ.

ජීවන විලේ සැඟව ගිය පේලේ

බ්‍රසීලයේ ජාතික වස්තුවක් සේ නිවේදනය කර ඇති ජාත්‍යන්තර පාපන්දු තරුවක් වූ පේලේ 1940 වසරේ ඔක්තෝබර් 23 වැනිදා උපත ලබා ඇත්තේ බ්‍රසීලයේ ට්‍රසේ කොකොස් ප්‍රදේශයේ අතිශයින් දුගී පවුලකය. ඔහුගේ මුල් නම එඩ්සන් අරන්ටෙස් ඩෝ නසිමෙන්ටෝ වූ අතර දරිද්‍රතාවය කරපින්නාගෙන උපත ලැබුවද පේලේ මියයන විට ලොව සිටි ධනවත්ම පාපන්දු ක්‍රීඩකයකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයකුද විය. පේලේ පාපන්දු ක්‍රීඩාවට පිවිසෙන විට ඔහුගේ වයස අවුරුදු 17ක් විය.

ජීවන විලේ සැඟව ගිය පේලේ

වසර 21ක් වූ සිය ක්‍රීඩා දිවිය තුළදී ඔහු බ්‍රසීලය වෙනුවෙන් හා පාපන්දු සමාජ වෙනුවෙන් පාපන්දු තරග 1367ක් ක්‍රීඩා කර අති අතර එම තරගවලදී ගෝල 1283ක් ලබා තිබිණි. මෙම ගෝලවලින් 77ක්ම බ්‍රසීලයේ ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ලබා ගෙන තිබේ. පේලේ බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන පාපන්දු ශූරතා තරගාවලි 04කට (1958,1962,1966,1970) ක්‍රීඩා කර තිබූ අතර ඉන් 03ක් (1962,1966 හා 1970) ජයග්‍රහණය කරා මෙහෙයවමින් එසේ කළ ලොව ප්‍රථම පාපන්දු ක්‍රීඩකයා බවට පත් විය. එම වාර්තාව මෙතෙක් වෙනත් ක්‍රීඩකයකුට බිඳහෙළීමට නොහැකි වී තිබේ. ලෝක පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් 2000 වසරේදී පේලේව 20 වැනි ශත වර්ෂයේ බිහි වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වශයෙන් නම් කරනු ලැබීය.

ජීවන විලේ සැඟව ගිය පේලේ

පේලේ යන නම ඔහුට තබා ඇත්තේ හීබ්රු භාෂාවෙහි එන “ආශ්චර්ය” යන අර්ථය ගෙන දෙන අයුරින් වුවද තමාට එම නම තැබීමට මුල් වූ හේතුව හා නමෙහි අර්ථය පේලේ පවා නොදැන සිටි බව ඔහුගේ ජීවිත කථාව ඇතුළත් ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ.

ජීවන විලේ සැඟව ගිය පේලේ

වයස අවුරුදු 34 දී ජගත් පාපන්දු පිටියෙන් සමුගත් පේලේ ලොව පුරා රටවල පාපන්දු ක්‍රීඩාව ජනප්‍රිය කරලීමේ කටයුතුවල මෙන්ම දුගී ජනතාවට උපකාර කිරීමේ සමාජ සත්කාර ක්‍රියාවන්ටද සක්‍රීයව සිය දායකත්වය ලබා දී තිබිණි. දෙවරක් විවාහ වී සිටි ඔහුට දරුවන් පස් දෙනකු සිටී. පේලේ ගේ අවසන් කටයුතු ලබන සතියේදී ඔහු විසින් වැඩිම කාලයක් පාපන්දු ක්‍රීඩාවේ නිරත වූ බ්‍රසීලයේ සාඕ පවුලෝ නගරයේ පිහිටි විලා බෙල්මයිරෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර ඇති බව වාර්තා වේ.

● ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment