ඥානසාර හිමි සහ බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් සභාපති 19 දා උසාවි කැඳවයි

101

නිවාස සංකීර්ණයකින් නෙරපුවැයි කතකගෙන් පැමිණිල්ලක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහනසේ දෙනමකට හා බම්බලපිටිය ෆැල්කන් රෙසිඩන්ස් නමැති සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ සභාපතිවරයාට ලබන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඊයේ (2 දා) නියෝග කළේය.

එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මරණීය තර්ජන නිසා සිය දියණියන් සමඟ ඉන් ඉවත්වී මේ වනවිට ඒකල ප්‍රදේශයේ පදිංචි ඉනෝකා චන්දිමා දිසානායක මහත්මිය විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය මගින් ගොනුකර තිබූ පෞද්ගලික නඩුවක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මේ වනවිට ඇමරිකාවේ පදිංචි 82 හැවිරිදි සිය පියාගේ සහෝදරිය පසුගිය වසරේ මැයි 18 වැනිදා විදේශගත වන විට තමා භාරයට පත්කර ඉබි යතුරු භාරදී තිබූ ඉහත කී නිවාස සංකීර්ණයේ පිහිටි සුඛෝපභෝගි නිවස නඩත්තු කරමින් හා රැකබලා ගනිමින් හා භූක්ති විඳිමින් සිටියදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවත් පිරිසක් සමග එම ස්ථානයට පැමිණ තමාට එම දේපළට ඇතුළුවීමට බාධා කරමින් කලහකාරීව හැසිරි ඇති බව පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඊට දින කිහිපයකට පෙර පළමුවන සැකකාර හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ නමක් දුරකථන ඇමතුම් ලබාදෙමින් තර්ජනය කර එම දේපළෙන් ඉවත්වන ලෙසට බලපෑම් කළ බවත් ඒ පිළිබඳ බම්බලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ආපසු පෙරකී දේපළට යන විට එහි ආරක්ෂක නිලධාරියා විසින් ද තමන්ට එම දේපළට ඇතුළු නොවන ලෙසට තර්ජනය කරමින් බාධා කළ බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

නීතිඥ චමත්කා අබේසිරිවර්ධන මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය පැමිණිල්ල නියෝජනය කළාය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment