ටින් අංකයක් ලබාගැනීම ජාතික හැඳුනුම්පත ළඟ තබා ගත්තා සමාන ක්‍රියාදාමයක් – රවී කරුණානායක (එජාප)

133

ටින් අංකයක් ලබා ගැනීම යනු ජාතික හැඳුනුම්පතක් ළඟ තබා ගැනීමට සමාන ක්‍රියාදාමයක් යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

කොළඹ නිව් කදිරේෂන් කෝවිලේ තෛපොංගල් උත්සවයට එක් වීමෙන් අනතුරුව ජනමාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ, මෙම ටින් අංකය ලබා ගැනීම මගින් මෙතෙක් නීත්‍යානුකූල නොවුණු ක්‍රියාවලියක් නීත්‍යානුකූල වන බවය.

කඩා වැටී තිබුණු ආර්ථිකය ක්‍රමානුකුලව හොඳ අතට හැරෙමින් තිබෙන්නේ යැයි ද, බදු අය කර

ගන්නේ ආර්ථික ශක්තියක් තිබෙන අයගෙන් පමණක් යැයි ද, ඒ අනුව ටින් අංකයක් තිබූ පමණින් බදු ගෙවීමට සිදු නොවන්නේ යැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.

2024 වර්ෂයේ දී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට ද, 2025 දී එම ආර්ථික වර්ධනය 5%දක්වා ඉහළ නංවා ගැනීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

2024 සහ 2025 යනු රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් වනු ඇති බව පෙන්වා දුන් රවී කරුණානායක මහතා ඒ අනුව තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ගැනීමට අවශ්‍ය නොවනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

රටේ ආර්ථිකයේ රැඩිකල් පෙරළියක් සිදුව ඇති තත්ත්වය හමුවේ තවදුරටත් රුපියලේ වටිනාකම අඩු වී උද්ධමනය ඉහළ නොයනු ඇතැයි ද හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා කියා සිටියේය.

2024 වර්ෂයේ දී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගනිමින් එම ආදායම 15%ක ඉලක්කයකින් අවසන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද රවී කරුණානායක මහතා සඳහන් කළේය.

රටට අලුත් ආර්ථිකයක් අවශ්‍ය යැයි ද, ජනාධිපතිවරයා ඉතා සැලසුම්සහගත ලෙස එම ආර්ථිකය රටේ ගොඩනගමින් සිටින්නේ යැයි ද පැවසූ රවී කරුණානායක මහතා ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී තිබෙන්නේ එම ආර්ථිකය රැකියා උත්පාදනය කරන, විදේශ විනිමය අතිරික්තයක් ලබාදෙන සහ අතිරික්ත ආදායමක් ලබාදෙන ආර්ථිකයක් විය යුතුය යන්නැයි ද පෙන්වා දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment