තරුණයාගේ ඉතාලි පිම්ම කටුනායකදී වරදී

480

කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රයක් උපයෝගී කර ගනිමින් කටාර් රාජ්‍යය දෝහා නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යෑමට තැත් කළ ශ‍්‍රී ලාංකික තරුණයකු 02 දින රාත‍්‍රී කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 22 හැවිරිදි වියේ පසුවන හලාවත, මාරවිල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඔහු 02/02 දින රාත‍්‍රී 09.10 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර බලා පිටත්ව යෑමට නියමිතව තිබූ කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 655 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් ගුවන් ගමන් ප‍්‍රවේශ පත‍්‍රය ලබා ගැනීම සඳහා විගමන අංශය වෙත පැමිණ, එතැන රාජකාරියේ නියුතුව සිටි ආගමන විගමන නිලධාරීවරයා වෙත, ඊට අවශ්‍ය ගුවන් ගමන් බලපත‍්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ.

එහිදී එම ලියකියවිලි අතර තිබූ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රය පරීක්ෂා කළ එම නිලධාරියාට ඒ පිළිබඳව මතු වූ සැකය මත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

එහිදී මෙම තරුණයා ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා බලපත‍්‍රය, තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ එම නිලධාරීන් මෙය සම්පූර්ණයෙන්ම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ වීසා බලපත‍්‍රයක් බවට කරුණු තහවුරු කර ගැනීමට සමත් වී තිබුණි.

ඉන්පසුව මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබේ .

ගුවන්තොටුපොල – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment