තරුණ ප්‍රජාව ජාතික නායකත්වයට ගෙන එන වැඩපිළිවෙළක් සමග යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට බලයක් ලැබෙන පනතක් ගේනවා

165

ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න

අන් කවරදාටත් වඩා මෙරට තාරුණ්‍යයේ ගැටලු තීව්‍ර වෙමින් පවතින මොහොතක එකී ගැටලු විසඳීමට නායකත්වය දෙන තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතාව මුණගැසීමට පසුගියදා අප පැමිණියෙමු. ඒ, ජාත්‍යන්තර තරුණ දිනය අගෝස්තු 12 වැනිදාට යෙදී තිබෙන මොහොතකය. ජාත්‍යන්තර තරුණ දිනය සමරනු පිණිස, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උළෙල තරුණ තරුණියන් 2000 කගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම, ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී සිදු කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ 31 වැනි සභාපති/අධ්‍යක්ෂ ජනරාල්වරයා වන 25 හැවිරිදි පසිඳු ගුණරත්න මහතා, කිංග්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් සිවිල් සහ යටිතල පහසුකම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BEng (ගෞරව) උපාධියක්ද, ඩීමොන්ට්ෆෝර්ට් විශ්වවිද්‍යාලයෙන් (එක්සත් රාජධානිය) ප්‍රමාණ සමීක්ෂණ සහ ඉදිකිරීම් පිළිබඳ BSc (ගෞරව) උපාධියක් ද ලබා ඇත. මේ වන විට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධියක් හදාරන ඒ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයකු ලෙසද ඉගෙනීම් කටයුතු සිදු කරයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා 2017 වසරේ උප ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසද කටයුතු කර තිබේ. එසේම ඔහු දැනට කොළඹ 07 සිංහ සමාජයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

පහතින් පෙළගැසෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න මහතා සමග ‘ඉරිදා දිවයින’ සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි.

ප්‍රශ්නය:- ඔබට ජාතික තරුණ සේවා සභාවේ මුල් පුටුව හිමිවන්නේ මෙරට ඉතිහාසයේ අන් කවරදාටත් වඩා තරුණ අසහනය උඩු දුවමින් පවතින වකවානුවක. විසිපස් හැවිරිදි තාරුණ්‍යට නායකත්වය දෙන තරුණයකු වශයෙන් තරුණ අසහනය විසඳීමට, තරුණ ගැටලු විසඳීමට ඔබ සතු ඇති වැඩ පිළිවෙළ කුමක්ද?

පිළිතුර:- ඇත්තටම තරුණයකු වශයෙන් මේ මොහොතේ රටේ තාරුණ්‍ය මුහුණ දෙන ගැටලු අභියෝග කුමක්ද යන්න අවබෝධයක් අප සතුව තිබෙනවා. නව ලොවට ගැලපෙන තාරුණ්‍ය ගොඩනැගීම සඳහා ගතයුතු, ගතහැකි ක්‍රියාමාර්ග රැසක් සහිත වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා වගේම එය අප මේ වන විට දියත් කරමින් සිටිනවා.

ඇත්තටම රටේ තාරුණ පරම්පරාවට අද කිසිසේත් නොසිතූ නොපැතූ අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු ව තිබෙනවා. ඔවුන් එය කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක්. එවන් තත්ත්වයක් තුළ ඔවුන් මානසික වියවුලකට පත්ව තිබෙනවා. අප පළමුව කළ යුත්තේ ඔවුන් එම තත්ත්වයෙන් මුදා ගැනීමයි. ඒ සඳහා අප තාරුණ්‍යයේ පැත්තේ හිටගෙන විසඳුම් සෙවිය යුතුයි. එහිදී ජාතික තරුණ සේවා සභාව හරහා වෘත්තීය මාර්ගෝපදේශය හා මනෝ උපදේශන ක්‍රියාමාර්ග වඩාත් පුළුල් කරන්න අප උපදෙස් ලබාදී තිබෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම අපගේ තරුණ සේවා නිලධාරි ඉන්නවා. අපි ඔවුන්ට වෙත මනෝඋපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන සේවා පුහුණු කරන්න තීරණය කර තිබෙනවා. ඔවුන් තමයි නිරන්තරයෙන් තරුණ ප්‍රජාව සමග ගැටෙමින් කටයුතු කරන්නේ. ඔවුන් හරහා තරුණ ප්‍රජාවගේ මානසික තත්ත්වය යහපත් කරන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යෞවන සමාජ සම්මේලනය නායකයන් හරහා ඇතිව ඇති මානසික වියවුල් සඳහා විසඳුමක් ලබා දෙන්න ඔවුන්ට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්න හැකිවන ආකාරයේ ව්‍යාපෘති රාශියක් අප මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම රටේ තාරුණ්‍යය ක්‍රීඩාව තුළ කලාව තුළ කාර්යබහුල කිරීමට කටයුතු කරන්න හැකිනම් ඔවුන්ගේ මනස අයහපත් තත්ත්වයට හැරෙන්න ඇති ඉඩකඩ අඩුයි. එනිසා අපි ඔවුන් ඒ වෙත නැඹුරු කිරීම සඳහා තව තවත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

ප්‍රශ්නය:- අරගලය ක්‍රියාත්මක පැවති කාල සීමාව තුළ තාරුණ්‍යය ඒ තුළ සක්‍රීයව කටයුතු කළා. එහිදී දකින්නට ලැබුණු කාරණයක් තමයි තරුණයා ඉතාමත් නිර්මාණශීලීව ඒ තුළ කටයුතු කිරීම. ඇත්තටම එම නිර්මාණශීලී තාරුණ්‍යයේ දක්ෂතාවයන් තරුණ සේවා සභාව උකහා ගන්නේ කෙසේද?

පිළිතුර:- යම් යම් තැන්වලදී දේශපාලන උවමනා නිසා අරගලය අසාර්ථක වුණත් ඇත්තටම රටට ආදරය කළ පිරිසක් එතැන හිටියා. නිර්මාණශීලී තාරුණ්‍ය එතැන සිටියා. ඇත්තටම ඔවුන් ජාතික නායකයන් බවට පත්කළ යුතුයි. මේ රට වෙනුවෙන් යම් ඕනෑම තලයක සිට යම් තරුණයකු තරුණියකු පෙරට පැමිණෙනවා නම් ජාතික නායකත්වයට ඔවුන් සූදානම් කළ යුතුයි. ඒ කටයුත්ත සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ හසර ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභාවලට මේ වන විට තරුණ නියෝජිතයන් 530 දෙනෙකු පමණ තෝරාගෙන තිබෙනවා. එම කටයුත්ත අධීක්ෂණය ජාතික තරුණ සේවා සභාව ඉදිරියේ දී සිදුකිරීමට නියමිතයි. ඔවුන් එම කමිටුවලට සහභාගි කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකයේ නීති සම්පාදන ක්‍රියාවලියට සෘජුවම දායක කරගන්න කටයුතු කරනවා.

එතැනින් එහාට ගියොත් තරුණ පාර්ලිමේන්තුව තරුණ සේවා සභාවේ තවත් එක් ව්‍යාපෘතියක් නොකර පාර්ලිමේන්තු පනතකින් එයට ලොකු බලයක් ලබා දීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ඒ හරහා තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ලොකු බලයක් හැකියාවක් කාර්යයක් පැවරීමට කටයුතු සකස් වෙමින් තිබෙනවා. එමගින් අප බලාපොරොත්තු වන්නේ තරුණ ප්‍රජාව ජාතික නායකත්වයට සූදානම් කිරීමයි. මේ කටයුතු තුළින් ජාතික තරුණ පාර්ලිමේන්තුවත් නීතිගත වෙනවා. අරගලය තුළින් රට වෙනුවෙන් ඉදිරියට ආ තරුණයන්ට වේදිකාව හදන්න අප සූදානම්. ඔවුන් නීති සම්පාදන ක්‍රියාවලියට සෘජුව දායක වන්න ජාතික තරුණ සේවා සභාව හරහා වේදිකාව සැකසෙනවා.

ප්‍රශ්නය:- ලෝකය නව තාක්ෂණය සමඟ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ. ඒ සඳහා මෙරට තාරුණ්‍ය සූදානම් දැයි ඔබ සිතනවාද?

පිළිතුර:- මෙරට තාරුණ්‍යය හැකියාවන් සපිරි පරපුරක්. නමුත් අවාසනාවකට ඔවුන්ගේ ඒ හැකියාවන් නිසිලෙස උකහා ගන්න තවමත් නොහැකි වී තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී ඉඩප්‍රස්ථාව ක්‍රමක්‍රමයෙන් විවර වී යැයි මම දැඩි ලෙස විශ්වාස කරනවා.

ඇත්තටම අපගේ අධ්‍යාපන ක්‍රමය පැරණියි. යාවත්කාලීන වුණු මඟපෙන්වීමක් දැන්වත් අප තරුණ ප්‍රජාවට අවශ්‍යයි. ඇත්තටම මම තරුණ සේවා සභාවේ සභාපති ධුරයට පත්ව තවම ටික දවසයි. මෙහි ඇති පාඨමාලා නව ලෝකයට ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. යල් පැන ගිය පාඨමාලා වෙනුවට ලෝකය සමග රට ඉදිරියට ගෙන යා හැකි තරුණ පරම්පරාවට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා ගත හැකි නව නිෂ්පාදන නව දැනුම ලබාදෙන සුදුසු පාඨමාලා නිර්මාණය කිරීමට වසර විස්සක් පමණ කෙරෙන එකම පාඨමාලා වෙනුවට ලෝකයේ සමග ඉදිරියට යන නව පාඨමාලා තරුණ සේවා සභාව ඉදිරියේදී හඳුන්වා දෙනවා. ලෝකයට ගැළපෙන ලෙස තරුණයා බලමුළු ගන්වන්න අනිවාර්යයෙන්ම අප කටයුතු කරනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් විෂය භාර ඇමැති රොෂාන් රණසිංහ මහතා මහතාත් අප වෙත ලබා දී තිබෙනවා.

ප්‍රශ්නය:- ඇත්තටම මේ වන විට අප රටේ තරුණ තරුණියන්ගේ සිහිනය වී තිබෙන්නේ කෙසේ හෝ සුදුසු වෙනත් රටක් වෙත යෑම. තරුණයන්ට නායකත්වය දෙන නායකයෙකු ලෙස තරුණ තරුණියෝ තවදුරටත් මෙරට සිටිය යුත්තේ ඇයි යන ප්‍රශ්නය ට ඔබගේ පිළිතුර කුමක්ද?

පිළිතුර:- ඇත්තටම මගේ හිතේ කවදාවත් රට හැරදා යන්න හීන තිබුණෙ නැහැ. අදටත් මගේ හිත කියන්නේ රට දියුණු කළ හැකි ය යන කාරණය. අප රට පසුබෑමකට ලක්වූ බව ඇත්ත. නමුත් අප රට ස්ථාවර රටක් බවට පත්වෙමින් සිටිනවා. එදා අපි සංසන්දනය කළේ ලෙබනන් රට වැනි රාජ්‍යයන් සමගයි. අද එම රටවල් තව තවත් අගාධයට ඇද වැටෙමින් තිබියදී අප රට ස්ථාවර වෙමින් තිබෙනවා. අප රටට දියුණු වෙන්න පුළුවන් මානව සම්පත භෞතික සම්පත ඕනෑවටත් වඩා අප සතුව තිබෙනවා. මේවා නිසි ලෙස භාවිතා කර කළමනාකරණය කර තව වසර දහයක් පහළොවක් හරි ජාතික ප්‍රතිපත්තියක් යටතේ වැඩ කළොත් අපට අනිවාර්යෙන් නැගිටින්න පුළුවන්. වත්මන් තරුණ පරම්පරාවට එය අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. අපේ වත්මන් තරුණ පරම්පරාව එය කරන බවට මට සැකයක් නැහැ. අපගේ තරුණ පරම්පරාව රට සංවර්ධිත රටක් බවට පත් කළ පරම්පරාව ලෙස ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන බව මම හිතනවා. ඇත්තටම අදටත් මම ඒ හීන දකිනවා. එය යථාර්ථයක් බවට පත්වෙන හීනයක් යැයි මම විශ්වාස කරනවා. වෙනත් රටකට ගොස් දෙවැනි පුරවැසියකු ලෙස ජීවත් වනවාට වඩා සිය මවුබිමට ආදරේ කරමින් රට සංවර්ධනය කර සතුටින් ජීවත් විය හැකියි.

සමහර හීන අත්හැරිය යුතු හීන නෙවෙයි. වැටීම් තමයි නැගිටීමට ඇති හොඳම අවස්ථාව. අපට උදා වී තිබෙන්නේ ඒ අවස්ථාවයි. පක්ෂ පාට, ජාති, කුල මල, ආගම් බේද අමතක කර එකම වේදිකාවකට විත් රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරමු යැයි රටේ සමස්ත තරුණ ප්‍රජාව ගෙන් මා ඉල්ලා සිටිනවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment