තවත් තරගයක් තිබියදීම ලබා ගත් තරගාවලි ජය ගැන සතුටුයි – තරගයේ වීරයා චරිත් කියයි

198

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කරන්නට හැකිවීම සතුටට කරුණක් බව පෙරේදා (11 දා) පැවති දෙවැනි තරගයේ නොදැවී ලකුණු 97 ක් ලබමින් තරගයේ වීරයා බවට පත් වූ ශ්‍රී ලංකා උප නායක චරිත් අසලංක පැවසීය.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එම අදහස් පළ කළ චරිත් අසලංක තව දුරටත් පැවසුවේ කණ්ඩායමේ බලාපොරොත්තුව ඉතිරි තරගයත් ජයගෙන 3-0ක් ලෙස තරගාවලියේ සියලු තරග ජයග්‍රහණය කිරීම බවයි.

එසේම ශ්‍රී ලංකාවේදී පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවල ක්‍රීඩා කිරීමේ අවස්ථාව මීට පෙර තරගාවලිවලදී ලැබුණි නම් අයිසීසී මගින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිවලදී ක්‍රීඩා කිරීම ද පහසු වන බවයි.

“අපි ලෝක කුසලානයට එක්වීමෙන් අනතුරුව සියලු දෙනා කතා කළේ තණතීරු ගැනයි. මොකද මීට කළින් ශ්‍රී ලංකාවේදී අපිට ලැබුණේ ලකුණු 300 ඉක්මවා ලබා ගත නොහැකි තණ තීරුයි. ඒ ගැන කථා කළ නිසාම එම තත්ත්වය නිවැරිදි වී තිබෙන බව මම සිතනවා. මීට පෙර තරගයේදී ලකුණු 380 ඉක්මවා යෑමට හැකි වූ අතරම ඔවුන් ද ලකුණු 300 ඉක්මවා ගියා. එසේම මෙම තරගයේ දී අපි ලකුණු 310ක් ලබා ගත්තා. ඇෆ්ගනිස්ථානයත් පිතිකරණයේ යෙදෙද්දී හොඳ තැනක රැඳී සිටියා. එසේ වුවත් අපි හොඳින් පන්දු යැවූ නිසා ඔවුන්ගේ කඩුලු දවා ගැනීමට හැකි වුණා. මම සිතන ආකාරයට සිදු විය යුත්තේ එයයි. මොකද සෑම අවස්ථාවකම ජාත්‍යන්තරයේ දී අපිට ලැබෙන්නේ ලකුණු 300 ඉක්මවා යා හැකි තණ තීරුයි. එය අපගේ රටෙහි තත්ත්වයන් තුළත් හොඳින් පුහුණු වී තිබීය යුතුයි. අනෙක් සෑම රටකම එය සිදු කරනවා. එසේ පුහුණුව සිදු කර තිබුණා නම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.)තරගාවලිවලදී තරග කිරීම පහසු වෙනවා. දැන් පිතිකරුවනුත් ලකුණු රැස් කරන්න කැමැත්තෙන් ඉන්නවා.”

ඇෆ්ගනිස්ථානය සමග පෙරේදා පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 155ක පහසු ජයග්‍රහණයක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 308 හමුවේ පිළිතුරු සෙවූ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සියලු දෙනා ලකුණු 153 ක් තුළ දැවී ගියහ.

“එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයග්‍රහණය කළ හැකි වීම කණ්ඩායමට ලොකු සතුටක්. නමුත් තවමත් ඉවර නැහැ. තවත් තරගයක් ඉතිරිව තිබෙනවා. බලාපොරොත්තු වෙන්නේ තරගාවලිය තරග 3-0ක් ලෙස නිමා කිරීමයි.”

පිතිකරණ ලැයිස්තුවේ අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ චරිත් අසලංක මෙසේ පැවසීය

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරනවා කියන්නේ අනිවාර්යයෙන් යම් පීඩනයක් තිබෙනවා. එහිදී ලකුණු 100 කඩුලු 3ක් ඇති විට මෙන්ම 200 ට කඩුලු 3ක් තියෙද්දීත් පිතිකරණයට යන්න පුළුවන්, කෙසේ වෙතත් එය පීඩනය තිබෙන ස්ථානයක්, නමුත් මේ වන විට මම තරග 50කට වැඩිය ක්‍රීඩා කර තිබෙනවා. එසේ වුවත් මම පුහුණුකරුවන් සමගත් කතා කරලා ඔවුන්ගේත් අත්දැකීම් ලබාගෙන පීඩනය පාලනය කරන ආකාරය තවදුරටත් ඉගෙන ගනිමින් ඉන්නවා.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment