දකුණේ පාතාල ඝාතන කළේ හමුදා කඳවුරෙන් ඉස්සූ ටී 56න්!

778

විදුලිබල රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය ඇතුළු පසුගිය කාලයේ දකුණු පළාතේ සිදුවූ මිනිස් ඝාතන ගණනාවක් සිදුකර ඇත්තේ පාතාල කණ්ඩායම් විසින් කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් ලබාගත් ටී 56 ගිනි අවියකින් බවට පොලිසිය සැක පහළ කරයි.

කරන්දෙණිය හමුදා කඳවුරේ අවි ගබඩාවේ තිබූ ටී 56 ගිනි අවියක් ඇතුළු මැගසින් කීපයක් අතුරුදන්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

යුද හමුදා පොලිසිය මගින් මෙම අවි ගබඩාවේ භාරකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරි දිනවලදී සැකකරු පොලිසියට භාරදීමට නියමිතය.

කරන්දෙණිය අවි ගබඩාවට යාබදව වළ දමා තිබියදී ටී 56 මැගසින් කීපයක් යුද හමුදා පොලිසිය මගින් පසුගියදා සොයාගෙන තිබිණි. පොලිසිය සැක පහළ කරන්නේ මෙම අවි ගබඩාවෙන් අතුරුදන් වූ ටී 56 ගිනි අවිය කුලී පදනම මත පාතාලයට මිනිස් ඝාතන සිදුකිරීම සඳහා ලබාදෙන්නට ඇති බවයි.

රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය ඇතුළු දකුණේ සිදුවූ මිනිස් ඝාතන කීපයක් සඳහා පාතාල කල්ලි විසින් යොදාගෙන තිබුණේ ටී 56 ගිනි අවි බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අතුරුදන්වූ අවිය සොයා මෙහෙයුමක්ද ආරම්භ කර ඇත.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment