දලූපොතදී දුම්රියේ හැපුණු යතුරුපැදිකරුගේ  බෙල්ල කඳෙන් වෙන්වෙයි

986

අනාරක්‍ෂිත තත්ත්වය ගැන බලධාරීන් මර නින්දේ:

කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ඇති දලූපොත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා අපරික්ෂාකාරීව ධාවනය කළ යතුරුපැදියක් දුම්රියේ ගැටී ඉකුත් 18 පස්වරු 6.00ට පමණ සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු බරපතළ තුවාල සහිතව ගෙල කඳින් වෙන්වී එම ස්ථානයේදීම මියගොස් ඇති බව සීදුව පොලිසිය පවසයි.

මෙසේ ඉතා අවසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පාර, කුරන, කටුනායක පදිංචිව සිටි කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික ආයතනයක විදුලි කාර්මික නිලධාරියකු ලෙස සේවයේ යෙදී සිටි 27 හැවිරිදි තිලාන් රෙවොන් විජේන්ද්‍ර ප‍්‍රනාන්දු යන අයෙකි.

දලූපොතදී දුම්රියේ හැපුණු යතුරුපැදිකරුගේ  බෙල්ල කඳෙන් වෙන්වෙයි

මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් සවිකර නැත. දුම්රිය පැමිණෙන බව අනතුර අ`ගවන විදුලි සංඥා පද්ධතියක් සවි කර ඇතත් එය ක‍්‍රියාත්මක කිරීමට මෙතෙක් පියවර ගෙන නැතැයි ඒ පිළිබඳව විමසා සිටීමේ දී මීගමුව දුම්රිය විදුලි සංඥා පරීක්ෂණ කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පවත්වන සීදුව පොලිසිය පවසන්නේ මෑත කාලයේ මෙම ස්ථානයේ මේ ආකාරයටම සිදුවූ දරුණු අනතුරු තුනක් වාර්තා වී ඇති බවය.

මියගිය අය මෙදින රාත‍්‍රියේ වැඩ මුරයට වාර්තා කිරීමට තම යතුරුපැදියෙන් කටුනායක නිදහස් වෙළෙඳ කලාපය බලා යමින් සිටියදී කටුනායක දලූපොත පාරේ දුම්රිය හරස් මාර්ගයේ දී පුත්තලම සිට කොළඹ බලා ධාවයනය කරමින් තිබූ ශීඝ‍්‍රගාමී දුම්රියක ගැටී ඇත.

හදිසි මරණ පරීක්ෂණය මීගමුව අධිකරණ බල ප‍්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂක එල්. සේනානන්ද මහතා විසින් පවත්වන ලදී. මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ඒ.පී.එම්. රණසිංහ මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූවාය. හිස් කබලට සහ මොළයට සිදුවූ බරපතළ තුවාල ඇතුළු බහුවිදි තුවාල හේතු කර ගෙන මරණය සිදුවී ඇති බව මෙහිදී තීරණය විය.

සීදුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්. සිල්වා මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලොකු නාරංගොඩ, සැරයන් එන්. ආර්. කුමාරසිංහ (14069* යන නිලධාරීහු වැඩිදුර පොලිස් පරීක්‍ෂණ පවත්වති.

බී.ටී.කේ. – ජාඇල අතිරේක
 

advertistmentadvertistment
advertistmentadvertistment