දළඳා සමිදුන් උදෙසා තේවා මාරුව අද – අස්ගිරි විහාරයෙන් මල්වතු විහාරයට පැවරේ

99

පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රානුකූලව ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීම අද (02දා) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කෙරෙයි.

මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාර්ෂික චාරිත්‍රය සිදු කෙරේ.

වාර්ෂික වස් එළඹීම කෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මේ තේවා මාරුව සිදු වන අතර පසුගිය වසරේ ඇසළ පුන් පොහෝ දිනයට පසුදින සිට වසරක් අස්ගිරි මහා විහාර පාර්ශ්වය මගින් දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කරනු ලැබීය. ඉංග්‍රීසි පාලන සමයේ දළදා වහන්සේගේ පැවිදි භාරකාරීත්වය මහා විහාර දෙකේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පවරා දීමෙන් පසු ඇති කර ගත් එකඟතා අනුව තේවා කටයුතු වසරක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති.

තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ නමක පත් කිරීම සිදු කරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත් කරනු ලබන අතර, උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙති. අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නා වූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත් කෙරෙන අතර, ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරයි. තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනු ලබන්නේ උන්වහන්සේය.

පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර, උන්වහන්සේලා තේවාව භාර පාර්ශ්වයේ නේවාසික උපසපන් භික්ෂූන් වීම අනිවාර්යය සාධකයකි.

තේවා මාරුව සිදු වන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලු බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමියන් විසින් භාණ්ඩ භාර ගැනීම සිදු කරනු ලබයි. අනතුරුව තේවා මාරුව සිදු වෙයි. තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහාය වීම පිණිස දියවඩන නිලමේ විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment