දැඩි මහන්සියකින් කැපකිරීමකින් මේ ජයග‍්‍රහණය ලබා ගත්තා – ශ‍්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායක

249

බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතා තරගාවලියේ දී රන් පදක්කම දිනූ ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ ලෝකඩ පදක්කම දිනූ කාන්තා කණ්ඩායම පෙරේදා (29 දින) පස්වරුවේ දිවයිනට පැමිණ තිබුණි.

ශ‍්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ නායක ලසිදු මෙත්මල් කටුනායක ගුවන් තොටුපළේ දී ප‍්‍රකාශ කළේ දැඩි මහන්සියකින්, කැපකිරීමකින් මේ ජයග‍්‍රහණය ලබා ගත් බවයි. තමන්ට ජාත්‍යන්තර අත්දැකීම් අඩු බවත් ඒ වගේම සත්කාරක කණ්ඩායමක් පරාජය කිරීම අපහසු කාර්යයක් බවත් ඒත් ඒ අපහසු කාර්යය ඉටු කර ජය ගත් බවත් පැවසීය.

ඒ වගේම බංග්ලාදේශයේ පැවති අධික ශීතල දේශගුණික තත්ත්වයත්, අනෙකුත් ප‍්‍රතිවාදී කණ්ඩායම්වලින් එල්ල වූ පීඩනයත් ඉතා දැඩි බවත් ලසිදු මෙත්මල් ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායමේ නායිකා තිළිණි වාසනා කටුනායක ගුවන් තොටුපළේ දී මෙසේ පැවසුවාය.

අපි ශ‍්‍රී ලංකාවෙන් බංග්ලාදේශය බලා පිටත්වීමට දින දෙකකට පෙර අපගේ කණ්ඩායමේ ප‍්‍රධානතම ක‍්‍රීඩිකාවන් පස් දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වුණා. ඒ නිසා අතිරේක ක‍්‍රීඩිකාවන් යොදා ගෙන මෙම තරගාවලියට මුහුණ දුන්නා. අපි කණ්ඩායමක් විදියට ගොඩක් ගැටලූ වලට මුහුණ දුන්නා.

විශේෂයෙන්ම නේපාලය සහ උස්බෙකිස්තානය සමග පැවති තරගවලදී, මේ තත්ත්වය යටතේ දීත් කරට කර වට 05 ක් ම තරග කළා යැයි ද ඇය පැවසුවාය.

මෙම තරගාවලියේ දී හොඳම ප‍්‍රහාරිකාව සම්මානය හිමි කර ගත් ප‍්‍රීතිකා ප‍්‍රබෝධනී මෙසේ පැවසුවාය.

මම පුත්තලම, ආනමඩුව, රතනපාල ජාතික පාසලේ ක‍්‍රීඩිකාවක්.

මම කවදාවත්ම විදේශීය වොලිබෝල් සංචාරයක නිරත වෙලා තිබුණෙත් නැහැ. එහෙත් මම මෙම තරගාවලියේ දී මගේ දස්කම් දක්වලා, තරගාවලියේ හොඳම ප‍්‍රහාරක ක‍්‍රීඩිකාව බවට පත් වුණා. ඉදිරි අනාගතයේ දී මීට වඩා උසස් ජයග‍්‍රහණ ශ‍්‍රී ලංකාවට ලබා දීමට කැප වී ක‍්‍රීඩා කරන බව ද ඈ වැඩිදුරටත් පැවසුවාය.

මෙම ජයග‍්‍රහණය සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා,

ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී දැක්වූ දක්ෂතා අති විශිෂ්ටයි. මේ කණ්ඩායමට තවත් බොහෝ දුර යා හැකි බව මෙම තරගාවලියේ දැක්වූ දක්ෂතාවලින් මනාව පෙන්නුම් කළා. ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය හරහා පෙරට පැමිණි යොවුන් ක‍්‍රීඩකයන්ගේ හැකියාවන් මෙහිදී කැපී පෙනුනා. මධ්‍යම ආසියානු කලාපයේ ශූරයන් බවට පත්වීමට ශ‍්‍රී ලංකාව පැමිණි ගමනේ මුල මැද අග හැමතැනකම ඩයලොග් සමාගමත් සිටිනවා’ යැයි පවසා සිටියේය.

ජයග‍්‍රාහී ජාතික වොලිබෝල් කණ්ඩායමේ නිල අනුග‍්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment