දොස්තරලාට දුන් තිස්පන්දහසේ දීමනාව ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ වර්ජනයේ

49

රෝගීහු පීඩාවට

වෛද්‍ය නිලධාරීන් සඳහා රජය ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිව දිවයින පුරා රෝහල්වල ඊයේ (09 දා) ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (10දා) උදෑසන 8.00 ට අත්හිටුවීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අතුරු වෛද්‍ය, හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සංගම් 05 ක් සමග සාකච්ඡා කර වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබිණි.

කැබිනට් මණ්ඩලය විසින් පසුගිය 08 වැනිදා වෛද්‍ය නිලධාරීන් සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට තීරණය කිරීම සම්බන්ධයෙන් සිය බලමණ්ඩලය සතුටට පත් වූවත්, එම යුක්තිය සියලු සෞඛ්‍ය වෘත්තීයවේදීන්ටම සාධාරණ ලෙස ඉටු කිරීමට ඇමැති මණ්ඩලය අපොහොසත් වීම කනගාටුවක් බව එම බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

සෞඛ්‍ය සේවාවේ සාමූහිකත්වය මෙමගින් බරපතළ ලෙස නොසලකා හැර ඇති බැවින් ද කියන තරම් ආර්ථික අර්බුදයක් රජයට නොමැති බැවින් ද තමන්ට ද 35,000 ක දීමනාව ලබාදෙන තුරු අරගල කිරීමට සිදුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ කියති.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් එම බලමණ්ඩලය ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමුකර ඇත.

සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කාලසීමාවේ අත්‍යවශ්‍ය රෝහල් සේවා සියල්ල සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට ඒකාබද්ධ සෞඛ්‍ය බලමණ්ඩලය කටයුතු කළ බව, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment