නපුරු ‘ආතර්’ යාල හුරතලා ‘ජූඩි’ගේ පුතු මරාදමයි…

282

යාල වනෝද්‍යානය ලෝක ප්‍රකට වන්නට හේතුවක් වන්නේ ‘කොටියා’ නොහොත් ශ්‍රී ලංකානු දිවියන් ඉතා හොඳින් දැකගන්නට හැකි වනෝද්‍යානයක් වන නිසාය. වර්ග කිලෝමීටර් 978 ක් පමණ විශාලත්වයකින් හා කොටස් 5 කින් සමන්විත සමස්ත යාල වනෝද්‍යානයේ සංචාරකයින් සඳහා විවෘතව ඇත්තේ කලාප අංක එක පමණි. මෙම කලාප අංක එකේ වර්ග කිලෝමීටරයකට එක කොටියකු සිටින තරමට යාල කොටින්ගෙන් පොහොසත් බව පවතින විශ්වාසයයි.

මේ දිනවල යාල උද්‍යානය තුළ දිවි ගෙවන මෙම කොටින් අතර ඉතා ජනප්‍රිය පිරිමි කොටින්, ගැහැනු කොටින් හා අම්මා සමග සිටින කොටි පැටවුන්ගේ පවුල් කිහිපයක්ම වෙති. ඔවුන් ජනප්‍රිය යයි අප කියන්නේ මේ බොහෝ කොටින්ට සෆාරි ජීප් රථකරුවන්, වන ජීවී ඡායාරූප ශිල්පීන්, වන ජීවී මග පෙන්වන්නන් හෝ වන සත්ත්ව ලෝලීන් විසින් නම් තබා ඇති හෙයිනි. මේ අතරින් යාල උද්‍යාන ප්‍රධාන දොරටුව පිහිටි පළටුපාන ප්‍රදේශය තම බල ප්‍රදේශය කරගෙන දිවි ගෙවන ‘ජූඩි’ නමැති කොටි දෙන හා වයස මාස 8-10 ක් පමණ වූ ඇයගේ පිරිමි පැටියා සංචාරකයින්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ දෙදෙනෙකි.

මෙම අම්මාගේ සහ කොටි පුතාගේ සෙනෙහස රැගත් ආකර්ෂණීය ඡායාරූප රැසක් පසුගිය කාලයේ මුහුණු පොත්වල හා යූටියුබ් නාලිකාවල නැගී ලොව පුරා ගිය අතර, යාලට එන ඡායාරූප ශිල්පීහු බොහොමයක් තම ගමනේදී ‘ජූඩි’ සහ පැටියා තම ග්‍රහණයට ගන්නට බලා ගෙනම පැමිණියහ.

නපුරු ‘ආතර්’ යාල හුරතලා ‘ජූඩි’ගේ පුතු මරාදමයි…

නමුත් හිටිහැටියේම පසුගියදා මහාසීලව ප්‍රදේශයේ පාරක් අයිනේ ‘ජූඩි’ ගේ දඟකාර පුතු ලේ විලක් මැද මැරී වැටී සිටියේ හද කම්පා කරවන අයුරිනි. අම්මා ‘ජූඩි’ පුතුගේ වියෝව දරාගත නොහැකිව තම පුතු මියගියත් සිරුර ලෙවකමින් සිටියාය. වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් සතා පරීක්ෂා කිරීමේදී දුටුවේ මෙම කොටි පැටියා මැරී තිබුණේ බෙල්ලේ තිබූ දරුණු සපා කෑමක් නිසා බවයි. එනම්, ජූඩිගේ පුතා මියගොස් තිබුණේ තවත් කොටියකුගේ ප්‍රහාරයට ලක්වීමෙනි. ඒ අනුව මේ බල ප්‍රදේශයේම දිවි ගෙවන නපුරු ‘ආතර්’ නමැති කොටියාට මේ මරණයේ වැරැද්ද දැන් පැටවී ඇත.

‘ජූඩි’ යනු ‘ජෝයි’ ගේ දියණියකි. ජෝයි ද මේ දිනවල මාසයක තරම් කුඩා පැටවුන් දෙදෙනකු ගේ හුරතල් බලන්නීය. ‘ජෙසිකා’ යනු ජෝයි ගේ අම්මා මෙන්ම, ජූඩිගේ අත්තම්මාය. යාල සෆාරි රියදුරන් කියන විදිහට ජාතකේ ඒ විදිහටය. එසේම, ජූඩි තම පුතු බිහිකර ඇත්තේ ‘ජුලියස්’ නමැති කොටියාට දාවය. මේ නිසාම ‘ආතර්’ ට ‘ජුඩි’ සමග පොඩි ඇරියස් එකක් තිබ්බාට සැක නැත. ඒ ඇරියස් එක පියවා ගැනීමට ‘ජූඩි’ ගේ පුතු මරා දැමීම යුක්ති සහගත නැත. අවසානයේ යාලෙන් සමුගෙන ගියේ යාල සුන්දරත්වය තව තවත් වඩවන්නට සිටි අපූරු කොටි සුරතලෙකි. නමුත් සොබා දහමේ රීතිය අප කාටත් පොදුය. අප එය පිළිගත යුතුව ඇත.

පසු කතාව-: අප මේ ප්‍රවෘත්තිය දිවයින දිනපතා පුවත්පතේ පළකිරීමෙන් පසු ඊට ලැබුණු ෆේස් බුක් කමෙන්ට් අතර සඳහන් වූ කමෙන්ට් දෙකක මෙලෙස සඳහන් විය. “කොටිත් දැන් මිනිස්සු වගේ වෙලා” සහ ‘ආතර්’ හොඳයි දැන් ඡන්දේ ඉල්ලන්න” ලෙසය.

ජගත් කණහැරආරච්චි
පින්තුර – කමේෂ් කගීව සහ රංගනාත් කිරින්දගේ

advertistmentadvertistment
advertistmentadvertistment