නවසීලන්තය එක ලකුණකින් එකට එක කරයි

223

එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් 1 ලකුණක තියුණු ජයග්‍රහණයක් ලබා ගත් සත්කාරක නවසීලන්ත කණ්ඩායම දෙරට අතර පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ඊයේ (28 වැනිදා) සමත් වූයේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමේ අවසන් පිතිකරු වූ ජේම්ස් ඇන්ඩර්සන්ගේ කඩුල්ල ජයග්‍රහණයට එක ලකුණක් මෙපිටින් තිබියදී දවා ගැනීමට නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් සමත් වූයේය.

වරෙක එංගලන්ත කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 80කට දැවී ගොස් නවසීලන්තයට පහසු ජයග්‍රහණයක් හිමි වීමට ද ඉඩ තිබූ අතර, තවත් වරෙක එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 201ක් ලෙස සටහන් වී තිබියදී එංගලන්තයට පහසු ජයග්‍රහණයක් හිමිවන ලකුණු ද පෙන්වමින් මෙම තරගයේ ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් තිබුණි.

එංගලන්තය වෙනුවෙන් පළමු ඉනිමේ ශතකයක් ලැබූ හිටපු නායක ජෝ රූට් වත්මන් නායක බෙන් ස්ටෝක්ස් සමග එංගලන්තය ජයග්‍රහණය කරා රැගෙන යෑමට උත්සාහ දැරුවද අනතුරුව නවසීලන්ත නායක ටිම් සවුති නීල් වැග්නර් සහ මැට් හෙන්රි සමග එකතුව ස්ටෝක්ස් සහ රූට්ගේ බලාපොරොත්තු බිඳ දැමූහ.

තරගාවලියේදී ලකුණු 329 ක් ලබාගත් එංගලන්තයේ හැරී බෲක් තරගාවලියේ වීරයා ලෙස ද ඉනිමක පරාජයෙන් බේරීම සඳහා දෙවැනි ඉනිමේදී නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලැබූ හිටපු නායක කේන් විලියම්සන් තරගයේ වීරයා ලෙස ද සම්මාන ලැබීය.

නීල් වැග්නර් කඩුලු 4ක්, ටිම් සවුති කඩුලු 3ක් සහ මැට් හෙන්රි කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු සාරාංශය

එංගලන්තය පළමු ඉනිම 435/9, දෙවැනි ඉනිම 256

නවසීලන්තය පළමු ඉනිම 209, දෙවැනි ඉනිම 483

advertistmentadvertistment
advertistmentadvertistment