නැගෙනහිර කාබනික ගොවිතැනට විදේශ මැදිහත්වීම

274

නැගෙනහිර පළාතේ ආයෝජන අවස්ථා සඳහා චීන යුනාන් පළාතේ ආයෝජකයන් කැඳවා ගැනීමේ අරමුණින් නැගෙනහිර පළාතේ ඉදිරි වසර පහ සඳහා වන උපාය මාර්ගික සැලැස්ම ආණ්ඩුකාරවරිය විසින් මා සු ෂින් මහතා වෙත ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් බලශක්තිය නිපදවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

නැගෙනහිර පළාතේ කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරය ස්ථාපනය කිරීම සඳහා පූර්ණ සහාය ලබාදීමට චීනය එකඟ වී තිබේ. නැගෙනහිර පළාත සම්බන්ධයෙන් මෙවැනි වැඩසටහනක් එකවර හදිසියේ ඉස්මතු වූවක් නොවන අතර එය සිදුවීම් පෙළක එක් කොටසකි.

චීන තානාපති කී සෙන්හොංග් මහතා කොළඹදී සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් වසරකට පසු එනම් පසුගිය දෙසැම්බර් මස 15 සිට 17 දක්වා වූ දින තුනක් උතුරු පළාතේ සංචාරයක නිරත විය. ඔහු පළාත් ආණ්ඩුකාරවරයා, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

මේ අතර චීන තානාපතිවරයාගේ පසුගිය සතිය තුළ සිදුකළ සංචාරයන්ද ප්‍රාදේශීය මාධ්‍ය අවධානයට යොමු විය. විශේෂයෙන්ම ඉන්දියාවේ තමිල්නාඩුව ඇතුළු ඉන්දියාවේ භූ දේශපාලනයට, සංස්කෘතික සබඳතාවලට සමීපව පිහිටි ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කිරීම පිටුපස ඇති අභිප්‍රායන් පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ දැඩි අවධානය මතු කර ඇත. උතුරු නැගෙනහිර ප්‍රදේශ සම්බන්ධයෙන් චීනයේ භූමිකාව කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බලපෑම් එල්ල කරනු ඇති බවට දේශපාලන විචාරකයන්ගේ මතය වේ.

එසේම චීන තානාපති කී සෙන්හොංග් මහතා 2022 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමත් සමඟ එම සංචාරය හා සම්බන්ධ සැබෑ අරමුණු පිළිබඳව ප්‍රදේශයේ ජනතාව තුළ මහත් කුතුහලයක් ඇති විය.

මෙම සංචාරයේදී චීන තානාපතිවරයා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් ආර්ථික සහන ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මෙහිදී චීන සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. නැගෙනහිර පළාත ස්වභාවික සම්පත්වලින් පොහොසත් කලාපයක් බවත් සංචාරක කර්මාන්තයේ දියුණුවට වැඩි ඉඩක් නැගෙනහිර ප්‍රදේශයේ පවතින බවත් චීන ආයෝජකයන් සඳහා නව අයෝජන අවස්ථා යොදා ගන්නා ලෙසට එහිදී ආණ්ඩුකාරවරිය ඉල්ලා සිටියාය.

චීනය සෑම විටම තමාට ලැබෙන අවස්ථාවන් තම රටේ උපරිම යහපත උදෙසා යොදා ගන්නා රටක් නිසා නැඟෙනහිර පළාතේ සිදු කෙරෙන චීන ආයෝජනයන් සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් කටයුතු කිරීම ඉතා වැදගත්ය. චීන ජාතිකයන් තම අරමුණු සහ අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා සෑම අවස්ථාවකම කටයුතු කර ගන්නා බැවින් ජනතාව ඒ පිළිබඳ සැලකිලිමත් වීම ඉතා වැදගත් කාරණයක් ලෙසට සැලකිය හැකිය.

නැගෙනහිර පළාත ප්‍රාථමික කෘෂිකර්මය පදනම් කරගත් ආර්ථිකයක් ඇති අතර එය පොදුවේ හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ ධාන්‍යාගාරය” ලෙසටය. නැගෙනහිර පළාත ජාතික වී නිෂ්පාදනයට 25% ක දායකත්වයක් සපයනු ලබයි. ජාතික කිරි නිෂ්පාදනයෙන් 17% ක් සහ ජාතික මත්ස්‍ය නිෂ්පාදනයෙන් 21% ක දායකත්වයක් නැගෙනහිර පළාත සපයනු ලබයි. තවද මෙම ප්‍රදේශයේ බඩඉරිඟු වගාව ව්‍යාප්ත වෙමින් පවතින අතර, දෙමුහුන් බීජ සහිත මහා පරිමාණ බඩඉරිඟු වගාව සහ ගිවිසුම්ගත අලෙවිකරණය හේතුවෙන් නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර රටේ බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිෂ්පාදනය කිරීම ඉලක්ක කර ඇත. කර්මාන්ත අංශය පළාතේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 34% ක දායකත්වයක් ලබා දී ඇති අතර ත්‍රිකුණාමලය සහ සාම්පූර් ඇතුළු අපනයන නිෂ්පාදන සැකසුම් කලාප හා කාර්මික කලාප ත්‍රිකුණාමලය වරායට සමගාමීව කාර්මික අංශය නංවාලීම සඳහා සංවර්ධනය කර ඇති අතර එය මහාපරිමාණයේ භාණ්ඩ නිෂ්පාදන සහ කාර්මික නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා පුළුල් දායකත්වයක් සපයනු ලබයි.

මෙවැනි පසුබිමක් නැගෙනහිර ප්‍රදේශයේ පවතින අතරතුර චීනයේ යුනාන් පළාතේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාතේ කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරය ස්ථාපනය කිරීම සඳහා පූර්ණ සහාය ලබාදීමට චීනය එකඟ වී තිබේ. මෙම එකඟතාවයට එළඹ ඇත්තේ මාර්තු මස මැද භාගයේදී චීනයේ යුනාන් පළාතේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුවය.

ඒ අනුව ප්‍රථම වරට කන්තලේ ප්‍රදේශයේ ඉදිකරන කාබනික නිෂ්පාදන තත්ත්ව පරීක්ෂණාගාරයක් පිහිටුවීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට චීනයේ යුනාන් පළාත එකඟ වී ඇත. මෙය කාර්මික තාක්ෂණ ආයතනයේ මැදිහත්වීමෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ අදහසකට අනුව ඉදිකිරීමට නියමිතය.

ව්‍යාපෘතිය සඳහා වූ විශේෂ සාකච්ඡාවක් යුනාන් පළාතේ විදේශ සබඳතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මා සු ෂින් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලයේදී මාර්තු 12 වැනිදා පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී කාබනික නිෂ්පාදන තත්ත්ව රසායනාගාරයේ බීජ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබාදීමට ද තීරණය විය. මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තත්ත්ව සහතිකයක් ලබාදෙන පර්යේෂණාගාරයක් මෙරට ඉදිවන පළමු අවස්ථාව මෙය ලෙසට සැලකේ.

යුනාන් පළාත් ආණ්ඩුකාරවරයා සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අතර අදාළ එකඟතාවලට එළඹීමට නියමිතව ඇත්තේ මැයි මාසයේදීය. ගිවිසුමට අනුව පර්යේෂණාගාරයේ කටයුතු අදියර 02ක් යටතේ සිදු කෙරෙන අතර පළමු අදියර යටතේ පස, බීජ, ජලය සහ පොහොර පරීක්ෂා කිරීමට නියමිතය. දෙවන අදියර යටතේ ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් ලබා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරේ.

නැගෙනහිර පළාතේ ආයෝජන අවස්ථා සඳහා චීන යුනාන් පළාතේ ආයෝජකයන් කැඳවා ගැනීමේ අරමුණින් නැගෙනහිර පළාතේ ඉදිරි වසර පහ සඳහා වන උපාය

මාර්ගික සැලැස්ම ආණ්ඩුකාරවරිය විසින් මා සු ෂින් මහතා වෙත ඉදිරිපත් කරන ලදී. ඊට අමතරව සූර්ය බලයෙන් සහ සුළං බලයෙන් බලශක්තිය නිපදවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

යුනාන් පළාතේ අධ්‍යාපන, ග්‍රාමීය කර්මාන්ත, බලශක්ති නගර සැලසුම්, ව්‍යාපාර සහ නිෂ්පාදන ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශේෂ චීන නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

කාබනික පොහොර රැගත් චීන පොහොර නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ තත්ත්වය හමුවේ චීනයේ යුනාන් ප්‍රාන්තයේ අනුග්‍රහය යටතේ කාබනික තත්ත්ව රසායනාගාරය පිහිටුවීම සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ද ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇත.

ප්‍රදීප් යසරත්න

advertistmentadvertistment
advertistmentadvertistment