නැනෝ තාක්ෂණයෙන් යුරෝපයට දොරටු විවර වෙන දේශීය ඖෂධ

99

ලෝකයේ හොඳම ගොරකා වර්ගය ඇත්තේ අප රටේය. නමුත් ගොරකා ආශ්‍රිත නව ආහාර නිෂ්පාදන සිදුකරන්නේ බටහිර රටවලය. අප රටට ආවේණික පෝෂ්‍ය ගුණයෙන් අනූන මුරුංගා වර්ග රැසක් ඇත. නමුත් මුරුංගා ආශ්‍රිත නව ආහාර නිෂ්පාදන අප ජර්මනියෙන් ආනයනය කරනු ලබයි.

මෙලෙස අප රටේ බොහෝ වටිනා ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය තිබුණ ද ඉන් නව නිෂ්පාදන සිදුකර බටහිර වෙළෙඳපොළට අපනයනය කරන්නට තරම් අප උනන්දුවක් දක්වා නැත. තවම අප උත්සාහ ගන්නේ සුපුරුදු තේ, පොල් සහ රබර් යන භෝග අපනයනයට පමණි.

මෙවන් පසුබිමක ලොව විශාලතම ආහාර නිෂ්පාදන ආශ්‍රිත වෙළෙඳ ප්‍රදර්ශනය වන ‘සියල්’ වෙළෙඳ ප්‍රදර්ශනය මෙවර කැනඩාවේ ටොරොන්ටෝහි පැවැති අවස්ථාවේදී ඊට දේශීය ඖෂධ ආශ්‍රිත නිෂ්පාදන රැසක් ඉදිරිපත් කිරීමට මෙරට කීර්තිමත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වන සුජීව විතානගේ මහතා පියවර ගනු ලැබීය.

සෙත්සුව ආයුර්වේද නිෂ්පාදන යටතේ ඔහු සිය ආයුර්වේද නිෂ්පාදන රැසක් මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කර ඇමරිකානු ඩොලර් මිලියන ගණනක අපනයන ඇණවුම් ද ලබා ගැනීමට අවස්ථාව උදාකරගෙන තිබේ.

මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව රාජගිරිය දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා සෙත්සුව ඖෂධ නිෂ්පාදන රෝහල හා සම්බන්ධ වී දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන ඉගෙනුම ලබා ගත්තා. එහිදී අවබෝධ කරගත් දෙය වූයේ දේශීය වෙදකම තුළ සුවිශේෂී ඖෂධ වර්ග රැසක් නිපදවනවා. ඒ සඳහා අපට ඉහළ මට්ටමේ වට්ටෝරු තිබෙනවා. නමුත් මෙම ඖෂධ නිපදවන්නේ සාම්ප්‍රදායික ක්‍රමයට. ඒවා ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කරන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන් යටතේය. ඒ නිසා වර්තමාන සමාජය තුළ මෙම ඖෂධ ජනප්‍රිය වී නැහැ. මෙය අවබෝධ කරගත් මා පළමුව එම නිෂ්පාදන නවීන තාක්ෂණයට අනුව ඇසුරුම් කිරීම සහ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඇති කර ගත්තා.

එහි එක් පියවරක් ලෙස සෙත්සුව නිෂ්පාදන යටතේ සාදනු ලබන ප්‍රාණජීව ඖෂධය කරල් ලෙස රෝගීන්ට ලබාදීම සඳහා නිෂ්පාදනය කරනු ලැබුවා. එය මේ වනවිට ජනප්‍රිය වී තිබෙනවා.

මෙහි සාර්ථකත්වය අනුව මම සෙත්සුව නිෂ්පාදන සියල්ල නව තාක්ෂණයට අනුව නිපදවීමට පියවර ගත්තා. ඊට අමතරව ඇමරිකානු ආහාර සහ ඖෂධ දෙපාර්තමේන්තුවේ අවසරය මත සෙත්සුව ඖෂධ ඇමෙරිකානු වෙළෙඳපොළට අපනයනය කිරීමට අවස්ථාව උදාකර ගත්තා.

අප රටේ නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ ජයගන්න නම් ඔවුන්ගේ අවශ්‍යතා අනුව නිපදවිය යුතුයි. ඒ අනුව මම මෙම වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්වූයේ අපගේ දේශීය ඖෂධ වර්ග ඔවුන්ගේ අවශ්‍යතා අනුව නිපදවීමට යොමු වීමෙනි. එහිදී අප නිපදවූ කුරුදු බටර් ආලේපය සඳහා විශාල ඉල්ලුමක් ඇති වූවා. එය නිපදවූයේ කුරුඳු, මීපැණි සහ පොල් යොදාගෙන.

මෙම ප්‍රදර්ශනය සඳහා ඇමෙරිකාව, කැනඩාව, ජපානය, චීනය, ඕස්ටේ්‍රලියාව, ජර්මනිය, එංගලන්තය ඇතුළු බටහිර රටවල් සහ ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්තානය වැනි ආසියානු රටවල ආහාර නිෂ්පාදකයන් සහභාගි වී සිටියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටියේ මා පමණයි. මේ සඳහා මා සහභාගි වූයේ පෞද්ගලික වියදමින්. එහිදී මට කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විශේෂ සහයෝගයක් ලබා දුන්නා.

මෙම ප්‍රදර්ශනයට සහභාගි වීම තුළින් මා ලබාගත් දැනුම වූයේ නැනෝ තාක්ෂණය මගින් හෙළ වෙදකම, දේශීය ඖෂධ සහ අපගේ ආයුර්වේද නිෂ්පාදන ලෝකයට ගෙන යා හැකි මාර්ග හඳුනා ගැනීමයි. ඊට අමතරව අපගේ දේශීය ඖෂධ කැනඩාවේ විශ්වවිද්‍යාල මට්ටමින් පර්යේෂණ කිරීම සඳහා අවස්ථාව උදාකර ගත්තා.

ඊට අමතරව අපගේ දේශීය නිෂ්පාදන කැනඩාව තුළ බෙදාහැරීමේ ජාලයක් ගොඩනඟා ගැනීමේ අවස්ථාව හිමිකර ගත්තා. ඒ අනුව නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි දේශීය ඖෂධ ඉදිරියේදී කැනඩාවට අපනයනය කිරීමේ අවස්ථාව අපට හිමි වෙනවා.

වෛද්‍ය සුජීව විතානගේ මහතා සිය පෞද්ගලික වෙහෙස තුළින් උදාකරගත් මෙම වෙළෙඳපොළ ඔස්සේ ඉදිරියේදී අපට දේශීය නිෂ්පාදන රැසක් කැනඩාවට අපනයනය කළ හැකි වනු ඇත. අපට ඩොලර් අවශ්‍ය මොහොතක සම්ප්‍රදායික අපනයන වෙළෙඳපොළෙන් ඔබ්බට ගොස් මෙවැනි නව නිෂ්පාදන අපනයනය මගින් ඩොලර් සංචිත වැඩි කර ගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව හෙළ වෙදකම යුරෝපයට රැගෙන යෑමට ද අවස්ථාව උදා වේ.

බටහිර රටවල ජනතාව නිර්මාංශ ආහාර වර්ගවලට දැඩි කැමැත්තක් දක්වන බව වෛද්‍ය සුජීව විතානගේ මහතා පැවසීය. එම නිර්මාංශ ආහාර ගොන්නට දේශීය ඖෂධ සහ ආහාර ඉතා පහසුවෙන් එක් කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment