අද ඩොලර් එළිය ලැබුණට හෙට කළුවර වෙන හැඩයි!

1375

රටේ ද්‍රරිද්‍රතාවය ඉදිරියට තවත් වැඩිවීමට ඉඩ තිබේ…
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

පෝෂණ ඌනතාවේ ප්‍රතිඵල ලැබෙන්නේ තව අවුරුදු පහ,හයකින්…
පෝෂණවේදී අසංක සුපුන්

අතරමැදි වෙළෙන්දෝ එළවළු වෙළෙඳ පොළ මාෆියාවක් කරගෙන…

මෙරට සමස්ත ජනගහනයෙන් 31%ක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා…

4 දෙනෙක් ජීවත් වන පවුලක මාසික ජීවන වියදම 75,000ට වැඩියි…

කොච්චර කිව්වත් බේකරි නිෂ්පාදනවල මිල අඩු වෙලා නෑ…

මාළු අස්වැන්න අඩුයි, හරකුන්ට, එළුවන්ට, ඌරන්ට, කුකුළන්ට ලෙඩ, මිල තව වැඩි වෙන ලකුණු…

මෙරට දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස මිලියන හතරකින් වැඩි වී ඇති බව වාර්තා වේ. ඒ බව තහවුරු වී ඇත්තේ ආසියා පැසිෆික් කලාපය තුළ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් ලෙස ක්‍රියා කරන LIRNE asia ආයතනය විසින් මෑතක දී සිදු කරන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵලයක් ලෙස ය. 2019 වර්ෂයේ දී මෙරට ජනගහනයෙන් මිලියන තුනක් දරිද්‍රතාවයට පත්ව සිටි බවත් 2023 වර්ෂය වනවිට එම සංඛ්‍යාව මිලියන හතක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම සමීක්‍ෂණයෙන් තහවුරු වී ඇත. ප්‍රතිශතයක් ලෙස එම සංඛ්‍යාව මෙරට සමස්ත ජනගහනයෙන් 31%කි. එමෙන්ම 2019 වර්ෂයේ සිට ග්‍රාමීය දරිද්‍රතාවය දෙගුණ වී ඇති බවත් නාගරික දරිද්‍රතාවය තෙගුණ වී ඇති බව ද එම සමීක්‍ෂණයෙන් තහවුරු වී ඇත.

නාගරික දරිද්‍රතාවය තෙගුණ නොව, සිව්ගුණ, පස්ගුණ තත්ත්වයට පත්ව ඇති බව කොළඹ පැල්පත්වාසීන් අතරට ගිය අපට දැනගැනීමට ලැබිණි. වේලක් කෑමට ආදායමක් නොලබන පවුල් කොළඹ වතුවල බොහෝ ජීවත් වෙති. පවුලේ ආර්ථික අගහිඟකම් නිසා පාසල් නොයන දරුවන් කොළඹ වතුවල බොහෝය. නගරබද අඩු ආදායම්ලාභීන් ජීවත්වන පැල්පත්, මහල් නිවාස සංකීර්ණවල මෙන්ම රට පුරා විවිධ ප්‍රදේශවල සංචාරය කරන අපට ජීවත්වීමට මිනිසුන් විඳින දුක ගැන හොඳ අවබෝධයක් තිබේ. එහෙයින් රැකියාවක් කර මාසිකව ලබාගන්න පඩියෙන්, කුලියක් හෝ සුළු ව්‍යාපාරයක් කර දෛනිකව උපයන මුදලෙන් පවුලේ අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකි පිරිස මිලියන හතරටත් වැඩි විනා අඩු නැත. උපයන මුදලෙන් විදුලි බිල, වතුර බිල ගෙවා දරුවන්ගේ අමතර පන්තිවලට මුදල් ගෙවූ පසු කෑමට අවශ්‍ය හාල් තුනපහ මිලදී ගැනීමට ප්‍රමාණවත් මුදලක් අත ඉතිරි නොවන බව බහුතරයකගේ අදහසය. අපගේ අද්දැකීමය.

මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දෙන ආකාරයට පැතිර ගිය කොවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුදයත් සමග මෙරට ජනතාවගේ ආදායම් තත්ත්වය විශාල ලෙස කඩා වැටිණි. ප්‍රතිශතයක් ලෙස මෙරට ජනතාවගෙන් 26%ක ගේ පමණ ආදායම් තත්ත්වය පහත වැටී ඇත. ජනතාවගේ ආදායම හීනවීමට අමතරව රටේ ජීවන වියදම ද විශාල වශයෙන් වැඩි වී ඇත. මේ වනවිට මෙරට සිවුදෙනෙක් සහිත පවුලක් නඩත්තු වීමට මාසයකට වැය වන වියදම රුපියල් හැත්තෑ පන්දහසකට වැඩිය. කොළඹ ප්‍රදේශයේ දී සිවුදෙනෙකුගෙන් යුත් පවුලක මාසික ජීවන වියදම රුපියල් 95,000කි. මාසික ඉපැයීම රුපියල් හැත්තෑ පන්දහසට අඩු සියලුම පවුල් දරිද්‍රතාවයෙන් පෙළෙති. එමෙන්ම මෙරට පවතින දරිද්‍රතාවය ගැන අවධානය යොමු කරමින් ලෝක බැංකුව පවා සහයෝගය ලබාදීමට සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ. මෙරට දිලිඳු ජනතාව ආරක්‍ෂා කරගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි ඉදිරිපත් කර තිබේ. ඒ සියලු කරුණු කාරණා ගැන අවධානය යොමු කරනවිට මෙරට දරිද්‍රතාවය සම්බන්ධයෙන් දරුණු තැනකට තල්ලු වෙමින් තිබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම රට තුළ පැවැති උද්ධමනයේ යම් අඩුවීමක් ඇති බව සැබෑය. එහෙත් මිල මට්ටම් වැඩිවීමේ වේගය අඩු වුණා විනා මිල මට්ටම් අඩු වී නැත. පසුගිය කාලයේ දී මාසයක් තුළ මිල මට්ටම් වැඩිවීමේ වේගය 70%ක් ලෙස පැවැතිණි. මේ වනවිට එය 20%ක් දක්වා පහළ බැස තිබේ. රජය වාර්තා කරන ආකාරයට මේ වසරේ දෙසැම්බර් මාසය වනවිට එම තත්ත්වය 10%ට අඩු කළ ද සෑම මාසයකම මිල මට්ටම් වැඩිවීම නතර නොවේ. එමෙන්ම ආනයන තහනම් ලිහිල් කිරීමත් සමග මේ වසරේ දෙසැම්බර් වනවිට ඩොලරයේ මිල රුපියල් 380ක් වැනි අගයකට යෑමට ඉඩ ඇති බව මූල්‍ය අරමුදල පවා අනතුරු ඇඟවීම් සිදු කරයි. එවැනි තත්ත්වයක් තුළ මෙරටට ආනයනය කරන සියලුම භාණ්ඩවල මිල ඉහළ යනු ඇත. ඉන්ධන මිල වැඩි වූ විට තේ කඩේ ආප්පයේ සිට සියලු භාණ්ඩවල මිල වැඩි වේ. රජයේ බදු ප්‍රතිපත්තිය රටේ ජනතාවට දරාගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. එහෙත් ජනතාවගේ ආදායම වැඩි නොවේ. එමෙන්ම මේ වනවිට ඇඟලුම් ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක්ම වසා දමා ඇත. ඇඟලුම් ක්‍ෂේත්‍රයේ මෙන්ම වෙනත් ක්‍ෂේත්‍රවල ආයතන මෙරටින් ගලවාගෙන පිටරටවලට රැගෙන යෑමේ ප්‍රවණතාවක් ද පෙන්නුම් කෙරේ. එම තත්ත්වය මත රට තුළ රැකියා අහිමි වෙන පිරිස වැඩි වේ. ඒ සියලු කරුණු කාරණා බුද්ධියෙන් විමසූ විට දරිද්‍රතාවය තව, තවත් වැඩි වී මේ රටේ අනාගතය දැඩි අන්ධකාරයකට තල්ලු වෙමින් තිබෙන බව මන්දබුද්ධික නොවන නිලධාරීන්ට සහ පාලකයන්ට තේරුම් යනු ඇත. එමෙන්ම රට තුළ දරිද්‍රතාවය වැඩිවීමට ප්‍රතිපත්තියක්, නියාමනයක් නැති වෙළෙඳ පොළේ හැසිරීම ද ප්‍රධාන හේතු සාධකයක් වී තිබේ. පසුගිය 20 වැනිදා රාත්‍රියේ සිට බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10ක් අඩු කෙරිණි. එහෙත් පසුගිය සිකුරාදා වන තෙක් එම අඩු කිරීම ක්‍රියාත්මක නොකරපු සුපිරි අවන්හල්, ආපන ශාලා සහ තේ කඩ මෙරට බොහෝමයකි. ආපන ශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ද ඒ බව තහවුරු කළේය.

“පාරිභෝගිකයින්ට තියෙන ප්‍රශ්න අපි කොච්චර කතා කළත් වැඩක් නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න එක මන්ත්‍රීවරයෙක්වත් පාරිභෝගික ගැටලු සම්බන්ධයෙන් කතා කරන්නෙ නෑ. පාර්ලිමේන්තුව තුළ හඬක් නොනැගෙන නිසා වෙළෙඳ මාෆියාව හිතු මතේ භාණ්ඩ මිල වැඩි කරනවා. වැඩි කරන වචනය ඇසුණු සැණින් භාණ්ඩ මිල වැඩි කරන වෙළෙන්දෝ අඩු කරන්න කිව්වට අඩු කරන්නෙ නෑ. වෙළෙඳ පොළ හසුරුවන්නෙ මහ පරිමාණ ව්‍යාපාරිකයන්. මේ ක්‍රමය වෙනස් කරන්න නම් පාරිභෝගික ප්‍රතිපත්තියක් තියෙන්නෙ ඕනෑ. නියාමනයක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව මේ රට හදන්න බෑ…” අසේලගේ කතාව කෙටිය.

අද ඩොලර් එළිය ලැබුණට හෙට කළුවර වෙන හැඩයි!

වෙළෙඳ පොළ තුළ ඒකාධිකාරිය ගොඩනඟා ගෙන සිටින තොග ව්‍යාපාරිකයන් ආනයනය කරන භාණ්ඩ ගබඩා තුළ රඳවා ගෙන ඉල්ලුම, සැපයුම සහ ඩොලරයේ උස්, පහත්වීම මත දවසින්, දවස මිල වෙනස් කරමින් වෙළෙඳ පොළට නිකුත් කරන බව සැබෑය. ගබඩාවල තැම්බෙන අල, ලූනු මිල අදට වඩා හෙට වැඩිය. මාස ගණන් පරණ හාල්වල මිල හිතු හැටියේ වැඩි කරන්නේය. අල, ලූනු, හාල් පමණක් නොව, ආනයනික සියලුම භාණ්ඩවල මිල වෙනස් කිරීමේ න්‍යාය පොදුය. ආනයනික භාණ්ඩවලට පමණක් නොව, දේශීය භාණ්ඩවලට ද එම න්‍යාය පොදුය. පසුගිය 21 වැනිදා පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ වෙළෙඳ සංගමයේ හිටපු ප්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් පැවසූ ආකාරයට එළවළු තොග මිල මෙසේ ය. බළංගොඩ බෝංචි කිලෝව රුපියල් 530කි. වැලිමඩ බෝංචි කිලෝව රුපියල් 450කි. කැරට් කිලෝව රුපියල් 250 සිට 300කි. ලීක්ස් කිලෝව රුපියල් 150 සිට 200කි. නුවරඑළිය ගෝවා කිලෝව 150කි. වෙනත් ප්‍රදේශවල ගෝවා කිලෝව 100කි. වම්බොටු කිලෝව උපරිම 250කි. තක්කාලි කිලෝව රුපියල් 200කි. පිපිංඤ්ඤා කිලෝව 60කි. අනෙකුත් පහතරට එළවළු මිල තරමක් වැඩිය. මැනිං වෙළෙඳ පොළේ එළවළු තොග මිල 20 වැනිදා ඊට වැඩිය. නැවත 21 වැනිදා ද වැඩිය. දින දෙකක් තුළ සැලකිය යුතු අයුරින් මිල වෙනස් කිරීමේ න්‍යාය ගැන වෙනම අධ්‍යයනය කළ යුත්තකි. එමෙන්ම මේ වනවිට තම අස්වැන්නට නිසියාකාර මිලක් නොමැතිව ගොවිතැන බේරාගැනීමට නොහැකි තත්ත්වයකට ගොවීහූ පත්ව සිටිති. එහෙත් පාරිභෝගිකයින්ට දරාගැනීමට නොහැකි තත්ත්වයකට එළවළු මිල වැඩි වී තිබේ. මේ දෙපාර්ශ්වයම අසරණ කර ඇත්තේ අතරමැදි තොග වෙළෙඳුන්ය. එළවළු මිල තීරණය කරනුයේ වගා කරන ගොවීන් නොවේ. වගාවට කිසිදු සම්බන්ධයක් නැති කට්ට, කෛරාටික තොග වෙළෙඳුන්ය. මේ කපටි වෙළෙඳුන් පාලනය කර, මේ රටේ අසරණ ගොවීන් ආරක්‍ෂා කරගෙන පරිභෝගික ජනතාවට සාධාරණ මුදලකට එළවළු ලබාදීමට අදාළ පාලකයින්ට සහ නිලධාරීන්ට තවම වැඩපිළිවෙළක් නොමැතිවීම රටේ කරුමයකි. එහෙයින් මේ වනවිට එළවළු වෙළෙඳාම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව ද පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළෙන් පමණක් නොව, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ද වාර්තා විය. පාරිභෝගිකයින්ට එපා වන තරමට එළවළු මිල වැඩිවීම රටේ එළවළු වගාවගට බරපතළ හානිදායක තත්ත්වයක් බව ද සාධාරණ වෙළෙඳාමක් කරගෙන යන වෙළෙඳ මහත්වරු පෙන්වා දුන්හ.

“මේ වෙළෙඳ පොළට ආවේ ගමේ කඩේ එළවළුවල මිල දැක්කම පපුව පත්තු වෙන නිසා. ඒත් මැනිං මාර්කට් කියලා ලොකු වෙනසක් නෑ. ගොඩක්ම එළවළු, කිලෝවක රුපියල් 200ට වැඩියි. මේ බඩු ටිකට රුපියල් 920ක් ගියා…” එළවළුවලින් පිරුණු සිලිං බෑගය අප දෙසට දිගු කළ හේ බණ්ඩාර ය. රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පුළුවන් සෑම අවස්ථාවකම මැනිං වෙළෙඳ පොළට පැමිණ එළවළු රැගෙන යෑම පුරුද්දක් කරගෙන සිටින බණ්ඩාර අසලින් ඈත් වූ අපි පලතුරු මිල ගණන් විමසා බැලීමට මැනිං වෙළෙඳ පොළේ ඉහළ මහළට ගියෙමු.

අද ඩොලර් එළිය ලැබුණට හෙට කළුවර වෙන හැඩයි!

පසුගිය කාලය පුරා ආනයනික පලතුරු මිල මෙන්ම දේශීය පලතුරු මිල ද දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී තිබූ බව සැබෑය. එහෙත් පසුගිය 20 වැනිදා පෑලියගොඩ මැනිං වෙළෙඳ සකීර්ණයට ගිය අවස්ථාවේ දී පලතුරු වෙළෙඳ සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර පවසා සිටියේ දේශීය පලතුරු මිලේ යම් පහළ බැසීමක් පවතින බවය. ඇඹුල් කෙසෙල් කිලෝව රුපියල් 50 සිට 100 දක්වා ඉහළට මිල විය. කෝලිකුට්ටු කිලෝව 300කි. කර්තකොළොම්බු අඹ කිලෝවක තොග මිල රුපියල් 200කි. අධික මිලකට පැවැති එකම දේශීය පලතුර අන්නාසි ය. කිලෝව රුපියල් 400කි. ආනයනික මිදි, ඇපල්, දොඩම්, දෙළුම් දෙස බැලිය නොහැකි තරමට මිල වැඩි වී තිබේ. දේශීය පලතුරු මිල පහළ ගිය ද දරාගැනීමට නොහැකි ලෙස වෙළෙඳාම අඩු වී ඇති බව ප්‍රියන්ත විජේසුන්දර අපට පැහැදිලි කළේය.

“වෙළෙඳාම අඩු නිසා තමයි පලතුරු මිල අඩු වෙලා තියෙන්නේ. ඒත් ගොවියෝ පලතුරු මිල අඩු කරලා නෑ. ගොවීන්ට අඩු කරන්නත් බෑ. ගොවීන් ගෙන් වැඩි මිලට අරගෙන පුංචි ලාභයක් තියාගෙන විකුණන්නේ ජීවත් වෙන්න කරන්න දෙයක් නැතිකමට. සමහර දවස්වලට අතින් කාලා හරක් බැලුවා වගෙයි. ඇත්තම කතාව නම් පලතුරු ගෙනියන්න මිනිස්සුන්ට සල්ලි නෑ. අඹ ගොඩ අතගාන මිනිස්සු පහළට ගිහින් එළවළු දෙකක් අරගෙන යනවා…”

පාරිභෝගිකයෝ නැති පලතුරු වෙළෙඳ පොළෙන් පහළට බැස්ස අපි පාර මාරු වී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට ඇතුළු වීමු. එහෙත් වෙනදා මෙන් වෙළෙඳ පොළ තුළ තදබදයක් නැත.

“අද වෙළෙඳාමක් තිබුණෙම නෑ. අඩු මිලකට තිබුණේ සාලයො විතරයි. ඒකත් කිලෝව රුපියල් හාරසීයයි. අනිත් සියලුම මාළු වර්ගවල තොග මිල අටසියයට වැඩියි. වෙළෙඳපොළට මාළු එන්නෙ නෑ. යාපනය, මන්නාරම ප්‍රදේශවලින් මාළු එන්නෙම නෑ. ඒ ප්‍රදේශවල මුහුදෙ මාළු අහුවෙන්නෙ නෑලු. වාරකං නිසා නෙමෙයි, රට වටේම මුහුදෙ අස්වැන්න අඩුයි. මේ නස්පැත්ති වෙලා තියෙන්නෙ තහනම් පන්නක්‍රම භාවිතය නිසා. රට වට කර මුහුද තිබුණට ඵලක් නෑ, ඒ මුහුදෙ මාළු නැති නම්. මාළු අස්වැන්න වැඩි කරගැනීමට සාර්ථක වැඩපිළිවෙළක් දියත් නොකරන්න තව අවුරුදු හතරක්, පහක් යනකොට ධීවර කර්මාන්තය ඈවරයි…” පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි එසේ පවසනවිට දීපාල් සිල්වා ගායනා කරන ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු’ ගීතය මගේ මතකයට නැඟිණි.

‘රට වට කර සාගරයි… එහි සම්පත් ආකරයි… පිටින් මාළු රටට ගේනවා ඕයි…

රට මැද තනි වේල් යායයි… බැලුවම හරි සිරියාවයි… නැවෙන් ගෙනැත් හාල් බානවා ඕයි…’

ඒ රටේ මිනිස්සු තනි කර කෙළින්නෙ පිස්සු…’

පාලකයින්, නිලධාරීන් පමණක් නොව, මේ රටේ මිනිස්සුත් පිස්සු කෙළින හැටි පසුගිය කාලයේ පැවැති ගෝල්ෆේස් නාඩගමේ දී අපි දුටිමු. ඒ සියලු මතක චිත්‍රපටයක් සේ මනසේ ඇදෙනවිට හදවත කම්පනයට පත් නොවී තිබීම පුදුමයකි. එමෙන්ම මේ වනවිට මෙරට බහුතරය ආහාර ලබාගන්නේ ශරීරයට නිසි පෝෂණයක් ලබාදීමේ පරමාර්ථයෙන් නොවේ. කුසගින්දර නිවාගැනීමටය. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රෝටීන් ඌනතාවය, ප්‍රමාණවත් ලෙස විටමින් සහ ඛනිජ ලවණ නොලැබීමේ දැඩි ගැටලුවක් මතු වී ඇති බව පෝෂණවේදී අසංක සුපුන් පවසනවිට දැයේ අනාගත පරපුර ගැන හද කකියවන බියක් දැනිණි. එහෙත් බිත්තරයක් රුපියල් පනහට ගිය රටේ, කුකුළු මස් කිලෝව රුපියල් එක්දාහස් හාරසීය ගාණට, ඌරු මස් කිලෝව රුපියල් 1250ට, හරක් මස් කිලෝව රුපියල් 2300ත් එළු මස් කිලෝව රුපියල් 3400 දක්වා මිල වැඩි වී තිබෙන පසුබිමක, එළවළු, පලතුරු මිල දුටුවිට දෑස් නළලෙ නතර වෙන කාලෙක රට තුළ ප්‍රෝටීන් උනතාවයක් ඇතිවීම පුදුමයක් නොවේ.

වාර්තා වන ආකාරයට හරකුන්, එළුවන්, ඌරන් මාරාන්තික රෝගයකින් මිය යෑමේ තර්ජනයකට මුහුණ දී සිටිති. කුකුළු ගොවිපළවල ද මාරාන්තික රෝගයක් පැතිරෙමින් සතුන් මිය යමින් තිබෙන බව වාර්තා වේ. මේ සියලු සතුන්ට එකවිට රෝග මතුවීම ගැන පරිස්සමට පරීක්‍ෂා කර බැලිය යුතු බරපතළ ගැටලුවකි. එමෙන්ම රෝග වැළඳී සතුන් මිය යෑමේ පසුබිමක ඉදිරි කාලයේ දී මෙරට මාංශ හිඟය මීටත් වඩා බරපතළ තත්ත්වයකට පත්වන බව ද සැබෑය. එවැනි තත්ත්වයක් තුළ ප්‍රෝටීන් ඌනතාවය වැඩිවීම, වයස අවුරුදු පහට අඩු දරුවන් මන්දපෝෂණ තත්ත්වයට පත්වීම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. එමෙන්ම වර්තමානයේ ඇති වන පෝෂණ ඌනතා සහ මන්දපෝෂණ තත්ත්වයන්වල භයානක ප්‍රතිඵල දැකබලාගැනීමට පුළුවන් වෙන්නේ අද නොවේ තව වසර පහ, හයකිනි.

තරංග රත්නවීර
ඡායාරූප – යු. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment