නිර්ධන පන්තිය ස්වර්ගයට එසවූ නත්තල

159

සමස්ත විශ්වයත් මානව සංහතියත් මවා වදාළ සර්ව බලධාරි දෙවිපියාණන්ගේ ශුද්ධවූ ති‍්‍රත්වයේ පුත‍්‍ර වූ කි‍්‍රස්තු රජාණෝ යුදයාවේ බෙත්ලෙහෙම් කඳු මිටියාවතේ ගවහලක ගවයන් මැද නිර්ධන පන්තිය නියෝජනය කරමින් දිළින්දකු ලෙස මනු ලොව උපත ලැබීම සමස්ත විශ්වයම උඩුයටිකුරු කළ විශ්මිත සංසිද්ධියක් නොවේද? සැබෑ නත්තල සමරන මානව සංහතියේ සියල්ලෝ දිළිඳුකමේ ඔටුන්න පැළඳගෙන ගවහලට යා යුතුමය. දේව රාජ්‍ය උරුමයේ සංකේතය ගවහලය. සෑම කිතුනුවෙක්ම ගවහලේ නිර්ධන පන්තියේ දිළින්දකු විය යුතුමය. එවිට ඔහුට දෙවිඳුන් දුන් ධනය, බලය, නිලය, වස්තු සියල්ල දෙව් වදන අනුව බැගෑපත්ව දිළින්දන්ට නැතිබැරි තම සහෝදරයා සමග බෙදා හදා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුමය.

කිතු උපතට පෙර කිතු සමිඳුන් කුසේ දරාගෙන දේව අම්මා නොහොත් කන්‍ය මරිය මවුතුමිය කි‍්‍රස්තු උපතේ දිළිඳු සංකල්පයේ අරුත මරිය උදාන ගීතයෙන් ප‍්‍රකාශ කළ අයුරු දේව වාක්‍යයෙන් ජනගත කළේ මෙසේය. ‘‘සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා උඩඟු සිත් ඇත්තන් විසුරුවා හැර මහා නරපතීන් සිය සිහසුන් වලින් පහත හෙළා දීනයන් උසස් කළ සේක. සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.’’

(ශුද්ධවර ලූක්, මරිය උදාන ගීතය, 1:51-53)

මානව සංහතියට ජන්ම පාපයෙන් නැතිවී ගිය දේව රාජ්‍ය උරුමයේ විමුක්තිය, යළි ලබාදීමට දේව නියමයෙන් කිතු සමිඳුන් මෙලොවට උපන්නේ රාජාති රජෙක් ලෙස තේජස් ශී‍්‍රයෙන් අහස දෙදරවා ගෙන නොවේ. ගවහල රජමැඳුරක් කරන්න කිසිවකුට බැරිය. අහිංසක ගව මෘගයන් මැද සීතල මැදියම් රැයේ මරියා නම් කන්‍යාවකගේ කුසින් බිහිව, ජුසේ නම් දිළිඳු වඩුකම්කරුවකු සුරැකි පියාකොට උපන් විශ්වයේ රජාණන් වූ කිතු සමිඳුන් සිය උපත වූ නත්තල තුළින් ලොවට සාක්ෂාත් කළ විප්ලවීය පණිවුඩය තවමත් කිතුනු ලෝකය තුළ ජනගත වී නොමැති බව පැහැදිලිය. නත්තල කාබී ජොලිකරන සැණකෙළියක් වී තිබීම තුළින්ම කිතුනුවන් නත්තලේ සැබෑ පණිවුඩය, විකෘතිකර ඇති බව ද පැහැදිලිය. මෙන්න, කිතු දහම නිර්මාතෘ කිතු සමිඳුන්ගේ ජීවන මාර්ගය, නමුත් කිතුනු අපත්, අපගේ නියමුවනුත් කිතුනු සැබෑ දැක්මට මුවා වී මේ කොයි යන්නේ? කිතු සමිඳුන් උපන්නේ ගවහලේ දිළින්දකු ලෙසය.

උන්වහන්සේ ජීවත් වූයේ ද නාසරෙත්හි දිළින්දකු ලෙසය. උන්වහන්සේ විමුක්තිය වෙනුවෙන් ජුදා සමාජයේ ධනවාදී පූජකයන්ගේ සහ සමාජ බලවතුන්ට එරෙහිව පීඩිතයන්ගේ පැත්තේ සිට සත්‍ය කතා කළ නිසාය.

ජෝ. සංගපාලආරච්චි

නිර්ධන පන්තිය ස්වර්ගයට එසවූ නත්තල
advertistmentadvertistment
advertistmentadvertistment