නිල්දිය පොකුණේ දිය නෑමට ගිය සිසුවා ගිලී මරුට

113

ගාල්ල කෝන්ගහ පල්ලිය අසල නිල් දිය පොකුණේ දිය නාමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවකු දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැති හදිසි මරණ පරීක්ෂණයක දී අනාවරණය විය.

මියගොස් ඇත්තේ ගාල්ල මිලිද්දුව ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් මොහොමඩ් පයිසාම් (10) නැමැති 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකි.

මියගිය පාසල් සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් කරාපිටිය රෝහලේ දී ඊයේ (20) සිදු කරනු ලැබීය.

මෙකී පාසල් සිසුවා තම මවට මිතුරෙකු හමුවීම සඳහා යන බව පවසා පාපැදියෙන් පැමිණ ඇත. පසුව පාසල් සිසුවා පාපැදිය නිල්දිය පොකුණ අසල නතර කොට පොකුණට බැස දිය නාමින් සිට ඇත. දිය නාමින් සිටිය දී මොහු දියේ ගිලී මිය ගොස් තිබේ. ප්‍රදේශවාසීන් විසින් මෙම පාසල් සිසුවාගේ පාපැදිය සහ ඇඳුම් පොකුණ අසල තිබෙනු දැක ඇත. ප්‍රදේශවාසීන් විසින් නිල් දිය පොකුණෙ ගිලී සිටි සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙනවිත් ඇත. ඒ වනවිටත් සිසුවා මිය ගොස් තිබුණි .

මියගිය පාසල් සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රොහාන් රුවන්පුර මහතා විසින් සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා දියේ ගිලීමෙන් මරණය වී ඇති බවට තීන්දු කළේය.
ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment