නෙරපීමේ කුමන්ත්‍රණයේ ගෝඨාභයගේ කතාව

610

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය අද සමාජයේ කතාබහට ලක්ව ඇත. එය උණු කැවුම් ලෙස විකිණී ඇති නිසා නැවත මුද්‍රණය කිරීමට සිදුව ඇත. “පොතට ලොකු ඉල්ලුමක් තියෙනවා. හිතුවට වඩා වේගයෙන් විකිණෙනවා.” යැයි එම ග්‍රන්ථය බෙදා හැරීම භාර විජිත යාපා මහතා සඳහන් කර තිබිණි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාගේ කතාව ඉදිරිපත් කිරීම හොඳය. මන්ද 69 ලක්ෂයක වරමෙන් බලයට පත්වූ ජනපතිවරයාට අවසානයේ කොළඹ වරායේ නැවකට නැග පලායෑමට සිදුවීම ඔහුට මනාපය පලකළ රට වැසියන්ටද බලවත් නිග්‍රහයක් විය. ඇත්තෙන්ම මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ජනාධිපතිවරයකු විදේශීය පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් සහ ශ්‍රී ලාංකේය සමාජයේ විශේෂිත කොටස් ගණනාවක සහභාගිත්වයෙන් දියත් කරන ලද කුමන්ත්‍රණ සහ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ තුළින් නෙරපා හැරීම පිළිබඳ වෘත්තාන්තයි. 1931 සිට සර්වජන ඡන්ද බලය භුක්ති විඳ, 1948 දී නිදහස ලැබීමෙන් පසු සාමකාමී සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩු වෙනස්කම් පමණක් අත්දැක තිබුණු ශ්‍රී ලංකාවේ දේශපාලනයට 2022 සිදුවීම් නව මානයක් එක් කළේය. 2009 දී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු හේතූන් ගණනාවක් නිසා ශ්‍රී ලංකාව නව යටත්විජිතවාදී ග්‍රහණයට හසු කර ගැනීමේ උපායමාර්ගය වූයේ රට තුළ වාර්ගික හා ආගමික දේශපාලනය මෙහෙයවීම සහ රටේ ආර්ථිකය බිඳ දැමීමයි. මේ පොතට පාදක වී ඇත්තේ එම දේශපාලන කුණාටුවේ කේන්ද්‍රස්ථානයේ සිට ලැබූ අත්දැකීමයි.

ජනපති ධුරයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය ගැන හිටපු ජනපතිවරයා පොතක් එළිදක්වන බව දක්වමින් නිකුත් කළ නිවේදනයේ මෙලෙස සඳහන්ව තිබිණි. “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” යන මැයෙන් රචිත මගේ කෘතිය එළිදැක්වීම 07 සිදු කෙරෙනවා. 2009 වසරේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය අප ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව විදේශීය මැදිහත්වීම් උත්සන්න වුණා. 2019 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ලෙස තේරී පත් වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය සහ දේශීය පාර්ශ්ව මා බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටියා. මා ජනාධිපති ලෙස බලයේ සිටි අවුරුදු දෙකහමාරක පමණ මුළු කාලයම පාහේ එකල ශ්‍රී ලංකාව සහ මුළු ලෝකයම පුරා පැතිර ගිය කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට ගතවුණා. කුමන්ත්‍රණකාරී බලවේග මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය 2022 මාර්තු අගදී ආරම්භ කළේ වසංගතය පාලනය කර එන්නත් ව්‍යාපාරය සම්පූර්ණ කර ආර්ථිකය ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබූ අවස්ථාවකදීය. මේ රට නිදහස ලබාගත් පළමු හැට වසර තුළ කිසිදාක අත්විඳ තිබූ නැති අන්දමින් අද වන විට මේ රට තුළ විදේශ මැදිහත්වීම් සහ අභ්‍යන්තර දේශපාලනය බාහිර පාර්ශ්වයන් විසින් හැසිරවීම සිදු වෙමින් පවතිනවා. මා ජනාධිපති ධුරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාමී බල හුවමාරු පමණක් අත්විඳ තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර තිබෙනවා. එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිෂේධනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් වෙනවා. කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ඍජු අත්දැකීමකි. ඒ නිසා මේ කෘතිය ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව විදේශිකයන්ටත් වැදගත් වේ යැයි මම විශ්වාස කරනවා. (උපුටනය අවසන්)

අරගලය ගැන සඳහන් සිය කෘතියේ 185 වැනි පුටුවේ සඳහනක් තබන රාජපක්ෂ මහතා කියන්නේ කවරක්ද ? අරගලයට මූලිකත්වය දුන් බොහෝ අය තුළ බෞද්ධවීම හෝ බුද්ධාගමට විශේෂ තැනක් දීම වැරද්දක් යන ආකල්පය තිබිණි. අරගලය මූලික වශයෙන්ම සිංහල හා බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් බවට මා ඉදිරිපත් කළ අදහස මෙයින් මොනවට සනාථ වෙයි.

බොහෝ දෙනා රාජපක්ෂ මහතා බලයට පත්කළේ ඔහු යකඩ හස්තයකින් රට පාලනය කරනු දැකීමටය. එදා මිරිහානට පැමිණි පිරිසට පොලු කැඩෙන්නට පහර දුන්නා නම් සමහර විට අරගල කූඩාරම් ඉදිවන්නේද නැත. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රඟදැක්වූ චරිතය ජනපතිවූ පසු වෙනස් වූයේ මන්දැයි බොහෝ දෙනා තුළ ප්‍රශ්නයක් වී තිබිණි. මේ ගැන ඔහු ජනපති ධුරයෙන් ඉවත්වී මාස ගණනකට පසු එතුමාගේ සහෝදරියගේ පවුලට සමීප පුද්ගලයෙක් ප්‍රශ්න කළ ආකාරය මේ පොතේ සඳහන් කර ඇත. “මොනවද මේ ජනපතිතුමා අපි ඔබව බලයට පත්කළේ ඔබතුමාට තියනවා යැයි කියපු සුදු වෑන් සහ මිනීකන මෝරුන් පාවිච්චි කරලා මේ රට යකඩ හස්තයකින් පාලනය කරයි කියලා බලාපොරොත්තුවෙන් නමුත් ඔබතුමා එළවලා දානකම් නිකං හිටියා.” මේ ප්‍රකාශය දෙනියායේ දානමය පිංකමකදී සිදුකර ඇති අතර බොහෝ දෙනා බලා සිටියදී තමාට දෝෂාරෝපනය කළ බව ජනපතිවරයා සිය පොතේ සඳහන් කර ඇත. ඇත්තෙන්ම බොහෝ දෙනාගේ සිත් තුළ කැකෑරෙමින් තිබූ ප්‍රශ්නය මෙලෙස ඉදිරිපත් කර ඇත. අපේ සිතේද එවැන්නක් තිබිණි. රාජපක්ෂ මහතා කියන්නේ තමා ජනපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනතාවට සහනයක් සැලසීමට බවයි. අරගලය උග්‍රව පැවති සමයේ මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමට බල කළ අයුරු ඔහු සිය ග්‍රන්ථයේ 188 පිටුවේ සඳහන් කර ඇත. හැම විටම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය ගැන කතා කරන බලවත් රටවල් සියල්ලම අරගලය පැමිණි විට ජනපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස නෙරපා හැරීමේ ව්‍යාපාරයට කෙලින්ම සහයෝගය දුන් බව මේ කෘතියේ අවධාරණය කර ඇත. ජුලි නෝනා කටයුතු කළේ කවරාකාරයෙන්ද යන්න අපට අමතක නැත. දැන් ඇය රෝයල් තෝමියන් මැච් එක බලන්නට ගොස් නැටුම් නටයි. සිය ධුර කාලය අවසන් නිසා තවත් නැටුමක් නටන්නට ඇයට වුවමනා වී තිබේ.

මෙහි 180 පිටුවේ ඇති කතාව මෙලෙස උපුටමි. 2022 මැයි 09 වැනිදා ප්‍රචණ්ඩකාරීන් විසින් රට පුරා නිවාසවලට ගිනි තබද්දී නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබියදී මම තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට දුරකථනය ලබාදී ඔහුට පොලිස් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටියදීත් සිදුවන දේ නැවත්වීමට නොහැකි වූයේ මන්දැයි මට පැහැදිලි කරන ලෙස කීවෙමි. ඔහු මට ඒ සම්බ්න්ධයෙන් පැවසුවේ ප්‍රචණ්ඩ සිදුවීම් වැළැක්වීමට යෑමේදී විරෝධතාකරුවන්ට තුවාල මරණ සම්බන්ධයෙන් වගකීම ගැනීමට පොලිස් නිලධාරීන් මැලිකමක් දක්වන බවත් දෙවනුව කිසිම හේතුවක් මත ගිනි අවි භාවිතා නොකළයුතු යැයි පොලිස්පතිවරයාගෙන් නියෝගයක් නිකුත්ව තිබුණු බවත් තුන්වනුව බරපතළ සිවිල් නොසන්සුන්තා ඇතිවන සෑම අවස්ථාවක එම ප්‍රදේශයේ ස්තානගතකර හමුදා භට පිරිස්වල සහාය පොලිසිය ඉල්ලා සිටින විට ඔවුන් පොලිසිය සහයට පැමිණියත් මේ අවස්ථාවේ පොලිසිය උදව් ඉල්ලා සිටියත් හමුදාව පැමිණියේ නැති බවයි. මේ කෘතියේම හිටපු හමුදාපතිවරයා ඇමෙරිකාවේ සම්භාධක නිසා මානසික පීඩාවකින් සිටි බවත් සඳහන් කර ඇත. එනිසාම මැයි 09 හා ජුලි 09 මෙරට පොලිසිය හා හමුදාව ක්‍රියාත්මක වූයේ නැති බව පැහැදිලිය. නමුත් මෙය ඛේදයක් නොවන්නේද? නමුත් වත්මන් ජනපතිවරයා බලයට පැමිණි දින රාත්‍රියේම අරගලකරුවන් පන්නා දමන ලදී. එය හොඳ වැඩකි. නමුත් රාජපක්ෂ ජනපතිගේ අණට හමුදාව කීකරු නොවුවේද?

සංවිධානාත්මක ප්‍රචණ්ඩකාරීන් පිරිසකට කිසිදු බාධාවකින් තොරව කොළඹට පැමිණ ජනපති මන්දිරය ජනපති ලේකම් කාර්යාලය අගමැති කාර්යාලය සහ අගමැති නිල නිවාස අත්පත් කර ගැනීමටත් බලයේ සිටි අගමැතිවරයාගේ පෞද්ගලික නිවාස ගිනිබත් කිරීමටත් හැකිවූයේනම් එතැන බරපතළ නීතිය හා සාමයේ බිඳවැටීමක් සිදුව ඇති බව පැහැදිලිය. ආරක්ෂක හා බුද්ධි අංශ කටයුතු සම්බන්ධයෙන් අවබෝධයක් ඇති මා වැනි පුද්ගලයෙක් ජනපති ධුරයේ සිටියදීත් මේ රට දක්ෂතම හමුදා නිලධාරීන් ආරක්ෂක අංශ මෙහෙයවද්දීත් එවැනි දෙයක් සිදුවූයේ කෙසේද යන්න මගෙන් නිතර අසන ප්‍රශ්නයකි. (උපුටනයකි)

සිංහල බෞද්ධයන්ගේ අති බහුතර කැමැත්තෙන් පත්වූ රාජපක්ෂ ජනපති ධුරයේ දිවුරුම් දුන්නේ රුවන්වැලිසෑ රදුන් අභියසය. එහෙත් දැන් සියල්ල ආපසු කණපිට හරී තිබේ. බෞද්ධයන්ට හා දහමට නිගරු කිරීම එළිපිටම සිදුවේ. එය දේශීය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණකරුවන්ගේ වඩා සංවිධානාත්මක ක්‍රියාවලියකි. මේ ග්‍රන්ථයේ 191 පිටුවේ සඳහන් කර ඇත්තේ කුමක්ද? සිංහලයන් හා විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් දැන් යළිත් දෙවැනි පෙළට වැටී ඇත. බෞද්ධ සංස්කෘතිය, ඉතිහාසය සහ සම්ප්‍රදාය යළිත් උපහාසයට ලක්වෙමින් පවතී. දේශපාලනඥයෝ සිංහලයාගේ සහ සිංහල බෞද්ධයාගේ අයිතීන් තහවුරු කරනවාට වඩා මැතිවරණවලදී ඡන්ද ලබා ගැනීම සඳහා සුළු ජාතීන් ගැන වැඩියෙන් සොයා බැලීමට උන්නදු වෙති. මේ සම්බන්ධයෙන් මගේ ඡන්දදායකයන් මගෙන් බලාපොරොත්තු වූ දේ ඉටුකිරීමට නොහැකි වීම ගැන මම මහජනතාවගෙන් සමාව අයදිමි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූයේ ප්‍රබල ජනතා වරමකිනි. නමුත් ඔහු නෙරපූ රජු විය. ජනපති ලෙස තපස් රැකිය නොහැක. එසේම තේමිය කුමරා වීමටද නොහැක. ඔහු ශ්‍රී ලංකාව පාලනය කළ වසර දෙකකුත් මාස නමයක කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ලියැවිය යුතු සංධිස්ථානීය සිදුවීම් පෙළක් සිදුවුණි. එම දේශපාලනික සිදුවීම් විග්‍රහයට නොගෙන ශ්‍රී ලංකාවේ අතීතයත් අනාගතයත් පිළිබඳ කිසිවකුට විවරණය කළ නොහැකිය.

“විරෝධතා සහ උද්ඝෝෂණ මධ්‍යයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොව පළමු රාජ්‍ය නායකයා මම නොවෙමි. නමුත් ලෝකයේ වෙනත් රටවල එවැන්නක් සිදු වූ බොහෝ අවස්ථාවල අදාළ නායකයා එක්කෝ මැතිවරණවලින් තොරව රට පාලනය කළ ආඥාදායකයකු, නැතිනම් මැතිවරණ ක්‍රමය කූඨ ලෙස මෙහෙයවමින් ඉතා දිගු කලක් බලයේ රුඳී සිටි පුද්ගලයකු වන බව අපි දැක ඇත්තෙමු. නමුත් මම එම කුලක දෙකටම අයත් නොවෙමි.”

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment