නොකර පව්කම් කරමු පින්කම්

237

කර්මය බුදුදහමේ මූලික ඉගැන්වීමකි. එම ඉගැන්වීමේ අරමුණ අපගේ ක්‍රියා පිළිබඳ අපට ඇති වගකීම පෙන්වා දීමයි. අප කරන ක්‍රියා අපටද අප අවට සිටින අයටද මුලු ලෝකයටද බලපාන බව පෙන්වා දීමයි. එසේ පෙන්වා දෙන අතර කර්මය පිළිබඳ සමකාලීන මිත්‍යා මත බැහැර කරයි. බුදුදහමට අනුව චේතනාව මුල්වී කයින් වචනයෙන් මනසින් කර්ම රැස් කරයි. ඒවා කුසල් අකුසල් වශයෙන් වර්ග කරයි. කර්මය මැන බැලිය හැකි නිර්ණායක හෙවත් මිණුම් දඬු අතර චේතනාව හා විපාකය ප්‍රධාන වේ. බුදුරජාණන් වහන්සේට මෙන්ම කෙලෙස් නැසූ මහ රහතන් වහන්සේලාටද කුසල අකුසල කර්ම විපාක දුන් අවස්ථා තිබේ. කර්මයක් විපාකයක් පිළිගැනීම සැබෑ බෞද්ධ ජීවිතයක ලක්ෂණය වෙයි. කුඩා කල සිටම මැරෙන මොහොත දක්වාම අපිත් පාපයෙන් හා අකුසලයෙන් වැළකිය යුතුය.

ප්‍රධාන වශයෙන් තිදොරින් සිදු කරන අකුසල ක්‍රියා දහයක් වෙයි. ඒවායේ විපාකයද ඉතා දරුණුය. කෝට්ටේ යුගයේ රචිත ලෝවැඩ සඟරාවේ වීදාගම ඝනානන්ද පිරිවෙන්පති වීදාගම මෛත්‍රී මාහිමියෝ ඒ බව මෙසේ රචනා කරති.

දස අකුසල් ක්‍රියානම්,

  1. පරපණ නැසීම, 2. සොරකම් කිරීම, 3. කාමයෙහි වරදවා හැසිරීම, 4. බොරු කීම, 5. කේලම් කීම, 6. පරුෂ වචන කීම, 7. හිස් වචන කීම, 8. දැඩි ලෝභය, 9. තරහව, 10. වැරදි විශ්වාසය.
  2. පරපණ නැසීම

පෙර අඟනක් එක් එළු දෙනක ඉස සිඳා
සිය ළඟ වැළැඳි ගිනි දැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙම රඟවේය කාටත් අකුසලේ ලෙදා

පුරාණ කාලයෙහි ස්ත්‍රියක් එළුදෙනක ගේ හිස සිඳින ලදී. ඒ පවින් මුළු ශරීරය ගිනි දැලින් වෙළී අපා දුක් වින්දේ. ඒ එළුදෙනගේ ලොම් ගණනට හිස් කැපුම් ලද්දීය. අකුසලයනම් සියල්ලන්ටම විපාක ලබා දෙන්නේය.

  1. සොරකම් කිරීම,

කෙළියට කඩක් සඟවා යහළුවකු ගෙනේ
එළිකොට නැවත දුන් මිනිසෙකුට එතෙකින්
විළිවැස්මක් නෙැලැබිණි දෙවි වුණත් අනේ
කෙළියටවත් නොකරව් සොරකමත් දැනේ

යහළුවෙකුගෙන් සෙල්ලමට වස්ත්‍රයක් සොරකම් කර සඟවා තබා ඒ බව පවසා නැවතත් වස්ත්‍රය දුන්නේය. සෙල්ලමට කළත් අකුසලයේ විපාකය දරුණුය. දෙව්ලොව ඉපදුණත් ඔහුට දිවසළු නොලැබුනේය.

  1. කාමයෙහි වරදවා හැසිරීම

නොනැවතී අයෙක් පෙර පරදර පව් කැමතී
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙතී
නිම්නැති තවම ලෝකුඩු නිරයේ පැසෙති
නොකෙරෙති මෙව් පව් නුවණැති අය වැඩ කැමතී

පුරාණ කාලයේ අයෙක් ආශාවෙන් නැවත නවතත් පරදාර සේවනය කළේය. මියගිය ඔහුට එම අකුසලයේ විපාක ලෙස ලෝකුඹු නිරයේ උපත ලැබුණේය. අවුරුදු තිස් දහසදකට වරක් ගිනි ජාලා මතුවට විත් විලාප දෙන්නේය. නැවතත් එහිම ගිලෙන ඔහු තවමත් නිරයේ දුක් විඳින්නේය.

  1. බොරු කීම,

ළැදිව රජකේ බොරු බස් කී විගස කයා
නැතිව රිද්දි බලයක් ඒ මිනිස් කයා
පොළොව පළාගෙන ගොස් වැටුණි නරකයා
මොලොව සතුනි ඉන් බොරු කීම නරකයා

පුරාණ කාලයේ රජ කෙනක් ආශාවෙන් බොරු කීවේය. ඔහු ලබා තිබූ සෘද්ධි බලයද අහිමි වී මිනිස් ශරීරයෙන්ම අපායට වැටුණේය. බොරුකීම එතරම් දරුණු දුක් විපාක ලබා දෙන්නේය.

  1. කේලාම් කීම

පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට
මුහුණු කුණුව තව පේතවැ විඳි ගැහැට
පිසුණු බසක් නොකියව් අද පටන් කොට

අයෙක් කේලම් කියා සමගියෙන් වාසය කළ සඟ දෙනමක් භේද කළේය. මරණින් මතු ඔහු නරකාදියෙහි ඉපිද කල්පයක් විසූ අතර නැවත ප්‍රේත අපායෙහි කුණු වූ විරූපි මුහුණක් ඇතිව ඉපිද අපමණ දුක් විඳින්නේය. කේලමෙහි විපාකය එතරම් දරුණුය.

ඉතිරි කොටස ලබන සතියේ…
දඹුල්ල, වාලුකාරාම වෙහෙර වැසි, ශාස්ත්‍රපති,
රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment