නොරොච්චෝලේ කඳුළු සලයි – ගල්අගුරු නාවොත් රටම අඳුරේ

247

ජනවාරි මුල ගල්අඟුරු ඉවරයි
ගල්අඟුරු නැතිව යන්ත්‍ර නතර කර යළි පණගැන්වීමට කෝටි ගාණක වියදමක්
රුසියානු සමාගමට චෝදනා කළ අය දැන් හොයාගන්නත් නෑ

නොරොච්චෝල බලාගාරයේ දැනට පවතින ගල්අඟුරු සංචිතය ජනවාරි මස මුල් සතිය දක්වා පමණක් ප්‍රමාණවත් වන බැවින් ඉන් පසුව නොරොච්චෝල බලාගාරයේ සම්පූර්ණ ජනනය ලබාගැනීම දැඩි ගැටලුවක්ව ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර ඇති අතර ඉන් එක යන්ත්‍රයක් නතර කළ හොත් පමණක් ඉතිරි යන්ත්‍ර දෙක ජනවාරි 10 වැනිදා පමණ වන තෙක් ක්‍රියාත්මක කළ හැකි බව ද හෙතෙම කීය.

මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ගයකට අවතීරණ නොවූවහොත් ජනවාරි මාසයේ සිට විදුලිය විසන්ධි කිරීමේ කාලසීමාව තවත් වැඩි කිරීමේ අවදානමක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා මාස හයකට පසු මුදල් ලබාගැනීමට එකඟ වී සිටි රුසියානු සමාගම ඉවත්වීම නිසා ගල්අඟුරු ලබාගැනීමේ අර්බුදය උග්‍ර වූ බව ද එම නිලධාරියා කීය. රුසියානු සමාගමට වඩා අඩු මුදලකට ගල්අඟුරු සපයාගත හැකි බවට ඇතැම් දේශපාලනඥයන් ඇතුළු කිහිපදෙනකු චෝදනා කිරීම නිසා එම රුසියානු සමාගම අඩු මිලට ගල්අඟුරු ලබාගන්නා ලෙස දැනුම් දී ගල්අඟුරු සැපයීමෙන් ඉවත් වූ බව ද එම නිලධාරියා කීය. චෝදනා කළ කිසිවකු අඩු මිලට ගල්අඟුරු ලබාදීමට මෙතෙක් ඉදිරිපත් වී නැතැයි ද හෙතෙම කියා සිටියේය.

ලබන වසරේ අප්‍රේල් 15 ට පෙර (වාරකන් කාලය එළැඹෙන නිසා) ගල්අඟුරු නැව් 38 ක් ගෙන්වාගත යුතු නමුත් මේ වනතෙක් රටට පැමිණ ඇත්තේ 2021 ටෙන්ඩරයට අනූව නැව් 06 ක් පමණක් බව ද මේ මාසයේ පැමිණ ඇත්තේ එක් නැවක් පමණක් බව ද එම නිලධාරියා කීය.

නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර 03 මගින් දෛනිකව මෙගාවොට් 900 ක් නිපදවන අතර බලාගාරයේ අවශ්‍යතාවට මෙගාවොට් 90 ක් රඳවාගෙන මෙගාවොට් 810 ක් ජාතික පද්ධතියට එක් කරයි. එය සමස්ත විදුලි සැපයුමෙන් සියයට 40 ක් පමණ වේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ නොරොච්චෝල බලාගාරයට ගල්අඟුරු නොමැතිව එක් යන්ත්‍රයක් පැය 24 කට නවතා නැවත ගල්අඟුරු දහනය වන තත්ත්වයට උෂ්ණත්වය ලබාගැනීමට රුපියල් ලක්ෂ 100 ක් 120 ක් පමණ වැය වන බව ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති කමිටු සාමාජික අනිල් රංජිත් මහතා පැවසීය.

මෙම යන්ත්‍රයක් දින 10 කට වඩා වැඩි කාලයක් නතර කර නැවත ගල්අඟුරු දහනය වන තත්ත්වයට ගෙන ඒමට රුපියල් ලක්ෂ 300 ක් පමණ වැය විය හැකි බව ද ඒ මහතා කීය. මෙසේ විශාල වියදමක් දැරීමට සිදුවන්නේ බලාගාරයේ යන්ත්‍ර ගල්අඟුරු දහනය වන තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මගින් යන්ත්‍ර උණුසුම් තත්ත්වයට ගෙන ඒම සඳහා යැයි ද රංජිත් මහතා කීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment