ලංවිම නව සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පත් කෙරේ

210

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී ලෙස රොහාන් සෙනෙවිරත්න මහතා පත් කර තිබේ.

1986 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු උපාධිය දිනාගත් ඔහු එම වසරේම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවයට බැඳුණි.

ලංවිම නව සාමාන්‍යාධිකාරී ලෙස ඊයේ (19 වැනිදා) සිට සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පත්ව ඇති ඔහු විදුලිබල මණ්ඩලයේ අංශ ගණනාවක, ක්‍ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සිය සේවය ලබාදී ඇති, අත්දැකීම් බහුල පළපුරුදු සහ පරිණත නිලධාරියෙකි.

ලංවිම නව සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න පත් කෙරේ
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද සම්පත් ඉලංගකෝන් මහතා අතින් අභිනව සාමාන්‍යාධිකාරිවරයා ලෙස රොහාන් සෙනෙවිරත්න මහතා පත්වීම් ලිපිය ලබාගත් අයුරු.

සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට පෙර, බෙදාහැරීම් අංශ 4 හී අතිරේක සාමාන්‍යාධිකාරී ලෙස සේවය කරන ලද ඔහු, පියසි මත සූර්ය කෝෂ සවිකිරීමේ ක්‍රමවේදය, ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ඨ කළේය. ක්‍ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයෙක් වන සෙනෙවිරත්න මහතා, සුහුරු මනු කියැවීම් පද්ධති, ඉහළ බෙදාහැරීම් කළමනාකරණ පද්ධති, ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති, විදුලිබල ක්‍ෂේත්‍රයට ද්‍රවිකෘත ස්වභාවික වායු හෙවත් එල්. එන්. ජී. මගින් ජනනය, ලංවිම සඳහා වූ ඩිජිටල් පරිවර්තනය, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සහ ඒකාබද්ධ කිරීම, ප්‍රධාන කාර්ය සාධන දර්ශක ආදිය හඳුන්වාදීමේ ප්‍රමුඛයෙකු විය.

රොහාන් සෙනෙවිරත්න මහතා, ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ 35 වසරකට අධික අත්දැකීම් සහිත වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු එක්සත් රාජධානියේ සහ ඔස්ටේ්‍රලියාවේ ඉංජිනේරු ආයතනයන්හි ද සාමාජිකත්වය උසුලයි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා නෝර්වේහී විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයයේ, විදුලි බලය බෙදා හැරීම පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකු වේ. ඒ මහතා වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

2011 සිට 2015 දක්වා වසර පහක කාලයක්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) ලෙස කටයුතු කරමින් නාගරික පුනර්ජීවන කටයුතු සඳහා ක්‍රියාකාරී දායකත්වය ලබාදුන් ඔහු, ලෝක බැංකු ආධාර යටතේ, එක්සත් ජනපද ඩොලර් මිලියන 223 ක්වූ කොළඹ අගනගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියේ, පළමු ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය. මීට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ලංකා විදුලි පුද්ගලික සමාගම, සහ වෝටර්ස් එජ්, යන ආයතනයන්හි අධ්‍යක්ෂවරයෙකු ද කටයුතු කර ඇති රොහාන් සෙනෙවිරත්න මහතා, ජාත්‍යන්තර ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු, එහි ශ්‍රී ලංකා ආයතනයේ සභාපති සහ දකුණු ආසියානු එකමුතුවේ සාමාජිකයෙකු ලෙස ද ක්‍රියාකර ඇත. සිය විශ්වවිද්‍යාල සමය තුළ ක්‍රීඩාවට දස්කම් දක්වා ඇති සෙනෙවිරත්න මහතා, මේස පන්දු, ටෙනිස්, බැට්මින්ටන්, පැසිපන්දු, හොකී යන ක්‍රීඩා සඳහා විශ්වවිද්‍යාල වර්ණලාභියෙකි. ඔහු වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසින්ද සම්මානයට පාත්‍රවී තිබේ. මොරටුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා නායකයා සහ ක්‍රීඩා සංගමයේ සභාපති ලෙස ද කටයුතු කර තිබේ.


සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment