පටන්ගත් තැනදීම අවුරුද්ද අල නොකරනු

903

ඊයේ දිනයේ දුම්රිය ධාවනය හරි හැටි සිදු නොකිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවකයන් හැසිරුනු කැත ජරා ආකාරය පිළිබඳ අපගේ පිළිකුල සටහන් කරමින් පැරණි කතාවකින් අද වැකිය අරඹමු. ගිය අවුරුද්දේ නොවැම්බර් 30 වැනිදා පෙරවරු 7.05 ට කොළඹ සිට බෙලිඅත්ත බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය අම්බලන්ගොඩට ආවේ පැයකටත් වැඩි කාලයක් ප්‍රමාද වෙලා ය. එයට හේතුව උදේ. 9.10 ට අදාළ දුම්රියේ සිසිලන පද්ධතිය අක්‍රියවීම නිසා එන්ජිම නැවතීම ය. ඒ නිසා බළපිටිය දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ දුම්රිය රියැදුරාගේ සහායක තැන විසින් අසල ළිඳක් වෙත ගොස් බාල්දිවලින් වතුර ගෙනවුත් දුම්රිය සිසිලන පද්ධතියට දමා එය ක්‍රියාත්මක කරවන ලදි. දුම්රිය පැයකට වැඩි කලක් ප්‍රමාද වෙන්නේ ඒ අනුවය. ඕනෑම වාහනයක් ගෙදරින් එළියට ගන්නා විට එහි එන්ජිමේ තෙල් සහ වතුර බැලීම සාමාන්‍ය සිරිතකි. එහෙත් නොවැම්බර් 30 වැනිදා බෙලිඅත්ත බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ තෙල් වතුර බැලීමට කාර්ය මණ්ඩලයට අමතක විය. නො එසේ නම් ඔවුන් විසින් වැඩේ උවමනාවෙන්ම මඟහරින ලදි. හරියාකාරව වතුර නොදමා දුම්රිය ධාවනය කළ විට එන්ජිම ‘සීස්’ වීමට ඉඩ තිබේ. එසේ සීස් වූ විට එන්ජිමක් අලුතින් තැබිය යුතුය. කාර් එකක එන්ජිමක් මෙසේ තැබීම සඳහා රුපියල් ලක්‍ෂ 5 සිට රුපියල් ලක්‍ෂ 35 දක්වා මිලක් වැය වේ. කෝච්චියක එන්ජිමක් සීස් වූ විට අලුත් එන්ජිමක් තැබීම සඳහා රුපියල් කෝටි තුන හතරක්වත් වැය වීමට පුළුවන. නොවැම්බර් 30 වැනිදා කොළඹින් ගිය කෝච්චියේ එන්ජිම සීස් වුණා නම් ඒ ගැන කිසිවෙකු කතා නොකරන අතර අවසානයේදී සිදුවන්නේ එන්ජිම ඇදගෙන ගොස් මරදානේ දුම්රිය අංගනයේ ගාල් කිරීමය. එසේ ගාල් කිරීමෙන් අවුරුද්දක් ගත වූ තැන ඉතිරි වන්නේ නිකම්ම නිකං කෝච්චි සැකිල්ල පමණි. කෝච්චියේ ලයිට්වල සිට එන්ජිමේ තඹ කම්බිය දක්වා සියලු දේ රෑට දුම්රිය යාඩ් එකට පනින කුඩුකාරයෝ ගලවාගෙන යති. අපේ කතාවේ ඉතුරු ටික මෙතැන් සිට පටන් ගනිමු.

මෙහි පළමුවන ඡේදයේ කියා ඇති පරිදි ඊයේ පෙරවරුවේ කාර්යාල දුම්රිය 10 ක ගමන් වාර අවලංගු කර තිබිණ. එයට හේතුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 500 ක් අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම ගැනීමය. මෙසේ විශ්‍රාම ගිය සේවකයන් 500 දෙනාම දුම්රිය රියැදුරන් හෝ රියැදුරු සහායකයන් නොවේ. ඊයේ දවස වූ කලී මේ අවුරුද්දේ වැඩ පටන් ගන්නා පළමුවන දවස විය. එදින උදේ සේවා ස්ථානවලට වාර්තා කිරීම සාමාන්‍ය වශයෙන් ගත් කල අනිවාර්ය කාරණයකි. හැට සම්පූර්ණ වූ 500 දෙනා එකවර විශ්‍රාම යෑම කන්තෝරු දුම්රිය 10 ක් එකසැරේ අවලංගු වීමට හේතුවක් විය නොහැකි බව මඟී ජනතාව අදහස් කරති. මීට අවුරුදු ගණනකට පෙර ශ්‍රී ලංකාවේ සම්මත විශ්‍රාම වයස් සීමාව අවුරුදු 55 කි. අද වන විට එය අවුරුදු 60 දක්වා දීර්ඝ කර තිබේ. විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළක් ද තිබූ නමුත් එවිට රැකියාවක් ලබාගැනීම සඳහා වයස සම්පූර්ණ කළ අයට තවත් අවුරුදු 5 ක් බලා සිටීමට සිදුවීමත්, එමගින් තරුණ ශ්‍රමය ඇල්මැරෙන තත්ත්වයකට පත් වී ඔවුන් තුළ අසහනයක් ගොඩනැඟෙන බවත් තර්කානුකූල ලෙස ඔප්පු කර තිබිණ. 1971 කැරැල්ල හටගත්තේ මේ රටේ තරුණ පරපුරට රැකියා නැතිවීම නිසා ය. 88 – 89 භීෂණකාරී තත්ත්වයට හේතුව ද තරුණ අසහනය වෙයි. මේ නිසා තරුණයන්ට නිසි වයසේදී රැකියා සපයා ඔවුන් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් කේන්‍ද්‍රගත කිරීමක් තිබිය යුතුය. හැබැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ 500 ක් එකසැරේ විශ්‍රාම යන විට එය කිසියම් සැලසුමකට අනුව සිදුකිරීමේ වගකීම ප්‍රවාහන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබිණ. දෙසැම්බර් 31 වැනිදා 500 දෙනෙක් විශ්‍රාම යන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය ඊට සූදානම් විය යුත්තේ අවුරුදු 02 කට පමණ කලින් ය. ඇබෑර්තු වන තනතුරු 500 වෙනුවෙන් අලුත් 500 දෙනෙක් පුරුදු කිරීම එම කාලය තුළදී සිදුකළ හැකිය. එහෙත් අපට පෙනෙන විදිහට 31 වැනිදා පුපුරණ බෝම්බයේ කැබලි ජනවාරි 02 වැනිදා උදේ දුම්රියවලින් කාර්යාලවලට යන ප්‍රජාවට වදින බව ප්‍රවාහන අමාත්‍යාංශයට හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට මතක තිබුණේ නැත. ඒ කෙසේ වුවද සේවකයන් කළමනාකරණය කරගෙන කන්තෝරු දුම්රිය 10 ඇදගෙන යෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය සේවකයන්ට හැකි බව අපි විශ්වාස කරමු. මේ කලබැගෑනිය නිසා අවසාන වශයෙන් කෙළවෙන්නේ ජනතාවටය. ජනතාවට කෙළවීම යනු රටට කෙළවීමය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ප්‍රශ්න බහුල ස්ථානයකි. ලංකාවේ පැරණිම සංවිධානාත්මක ප්‍රවාහන ක්‍රමවලින් එකක් වූ දුම්රිය සේවය මේ රටේ දියුණුවට මහත් සේ උපස්ථම්භක වූ ආයතනයකි. මේ ආයතනය රැක ගැනීම රජයේ මෙන්ම ජනතාවගේ ද යුතුකම වේ. එහෙත් දැනට දුම්රිය සේවය රකිනවා වෙනුවට සිදුවන්නේ එය විනාශය කරා ගමන් කිරීමය. ලංකාවේ වැඩිම පාඩු ලබන ප්‍රවාහන සේවය ලෙස දුම්රිය හඳුන්වනු ලැබේ. එසේම මාසයකට දවස් කීපයක් වෘත්තීය ක්‍රියාමාර්ග ලෙස හැඳින්වෙන වැඩ වර්ජන නිසා දුම්රිය සේවය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැත. එක්කෝ වැඩි පඩි ඉල්ලා දුම්රිය වර්ජන සිදුවේ. නැත්නම් දුම්රිය රියැදුරා යන වචනය වෙනුවට දුම්රිය නියමුවා යන වචනය යෙදිය යුතු යැයි කියමින් වර්ජන සිදුකරනු ලැබේ. වර්ජනය කිරීමට අවශ්‍ය වූ විට පීල්ලක් ඇදයි යැයි කියමින් හෝ එම අරමුණ කරා යෑමට දුම්රිය සේවකයන්ට පුළුවන. අප අවසන් වශයෙන් ඉල්ලන්නේ ජනවාරි 02 වැනිදා සේවයට වාර්තා කරන මේ රටේ ශ්‍රම බළකායට සහයෝගයක් නොදීමේ පාපය දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සමසේ බෙදාගත යුතු බවය.

advertistmentadvertistment
advertistmentadvertistment