පහරදීමකට ඇල්ලූ හලාවත නගර සභාපතිට ඇප – පිස්තෝලය හිසට තබා පහර දුන්නා – පහර කෑමට ලක්වූවෝ

263

* ඔවුන් අපට ගැහුවා – සභාපති ඇතුළු පිරිස කියති

තරුණයන් දෙදෙනකුට පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නගර සභාපතිවරයා, ඔහුගේ සොහොයුරා සහ සිද්ධියට සම්බන්ධ තවත් තිදෙනකු හලාවත මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇපමත මුදාහැරීමට හලාවත දිසා විනිසුරුවරයා ඊයේ (12දා) නියෝග කළේය.

මෙසේ පහරදීමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත නගර සභාපති තුෂාන් අබේසේකර, ඔහුගේ සොහොයුරා වන ඉෂාන් අබේසේකර සහ ඔවුන්ගේ මිතුරන් තිදෙනෙකි. මෙම පහරදීම සිදුවූයේ පෙරේදා (11දා* රාත‍්‍රියේය.

පහරකෑමට ලක්ව ඇත්තේ හලාවත නගරයේ පදිංචි ව්‍යාපාරිකයකුගේ පුත‍්‍රයකු හා ඔහුගේ සමීප මිතුරෙකි. මොවුහු දෙදෙනා ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත්ව සිටිති. සභාපති වරයාගේ පාර්ශ්වයේ තිදෙනකුද මෙම තරුණයන්ට පහරදුන් බව පවසමින් හලාවත රෝහලට ඇතුළත්ව තිබේ.

සභාපතිවරයා හා පහරකෑමට ලක්වූ තරුණයන් අතර පැවති ආරවුලක් දුරදිග යෑමත් යතුරුපැදියක් සම්බන්ධව පැවති ආරවුලක් නිසාත් සභාපතිවරයා ඇතුළු පිරිසක් සේදවත්ත ප‍්‍රදේශයේදී මෙම පහරදීම සිදු කර ඇති බව පැවසේ. මේ වන විට හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින පහර කෑමට ලක්ව සිටින තරුණයන් කියා සිටියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් තමන්ට සහ තම සුඛෝපභෝගී වාහනයට පහර දුන් බවයි. සභාපතිවරයා සහ ඔහුගේ සොහොයුරා ඇතුළු පිරිස පිස්තෝලයක් හිස මතට තබා තමන්ට පහරදුන් බවද පහරකෑමට ලක්වූ තරුණයෝ පවසති. කෙසේ වෙතත් හලාවත සභාපතිවරයා ඇතුළු පිරිස පොලිසියට පවසා ඇත්තේ ඔවුන්ගේ යතුරුපැදියේ පැමිණිලි පාර්ශ්වයේ යතුරුපැදියක් ගැටීමෙන් ඇතිවූ බහින්බස් වීමකින් පසු ඔවුන් සභාපතිවරයා ඇතුළු පිරිසට පහර දුන් බවයි.

දෙපාර්ශ්වයේම පැමිණිලි සම්බන්ධව හලාවත මූලස්ථාන පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ. පහරදීමට සභාපතිවරයා පැමිණි නගර සභා කැබ් රථය හා පහරකෑමට ලක් වූ ව්‍යාපාරික ප‍්‍රත‍්‍රයාගේ වාහනයද හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් සභාපතිවරයා සහ සොහොයුරා හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සාන්ත සිසිර කුමාර අබේසේකර මහතාගේ පුත‍්‍රයෝ වෙති.

සචින්ත හිමාස් (24)

අපේ මල්ලි කෙනෙක්. සභාපතිගේ ගේ ඉස්සරහ පාරෙ නිතර මෝටර් බයිසිකලයෙන් එහා මෙහා යනව. එහෙම යද්දි සභාපති බයිසිකලේ නවත්තල බලහත්කාරයෙන් ගන්න හදලා. එයාගෙ සහෝදරයයි තව කට්ටියයි එකතු වෙලා තමා මේ වැඬේ කරල තියෙන්නේ. ඒක ආරංචි වෙලා අපි එතැන්ට යද්දී අපිත් එක්ක බහින්බස් වුණා. ඊට පස්සේ මගේ ඔළුවට පිස්තෝලෙ තියලා තර්ජනය කෙරුවා. එතන විස්සක් විතර කට්ටිය හිටියා. අපිට අතින් පයින් ගැහැව්වා. මගේ කරේ තිබුණ චේන් එකත් කඩා ගත්තා. හලාවත නගර සභාව එයාලට තියෙන්නෙ කිව්වා. අපිට කරපු මේ දේවල් සේරම සීසීටීවී කැමරාවල ඇති කියලා මම හිතනවා.

නවෝෂ් ඔනිර ගන්හේවා (23)

සේදවත්ත හංදියෙදී අපේ වාහන හරස් කරලා හලාවත සභාපතිවරයයි, සහෝදරයයි, එයාගෙ යාළුවො ටිකයි අපට පහර දුන්නා. අපේ වාහනයට පොලූවලින් ගැහැව්වා. උඹලට වෙඩි තියලා මරනවා කියල පිස්තෝල පෙන්නලා අපට තර්ජනය කරලා මම නගරාධිපති මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා තමයි අපිට මේ දේවල් කළේ.

හේමන්ත රන්දුණු, මහවැව – අමරනන්ද විජේසේකර, පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ, නල්ලදරන්කට්ටුව – පි‍්‍රයංග ඉලංගමුදලි, මාදම්පේ – කමල් ප‍්‍රියංකර

advertistmentadvertistment
advertistmentadvertistment