ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඓතිහාසික නඩු තීන්දුවක්

292
ධර්මදාස මොහොට්ටිගේ මහතා විසින් වන්දි මුදල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ සභාපති නීතිඥ ඒ. සී. ගණරත්න මහතාට පිරිනැමූ අයුරු.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් වූ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගනු ලැබුවේ රටේ දේශපාලන මහත් ආන්දෝලනාත්මක අවධියක ය. නව පක්ෂය රාජාලියා පක්ෂ ලාංඡනය සමග කලඑළි බැසීම හෙවත් සම්ප්‍රාප්තිය පැවැති රජයට මහත් අභියෝගයක් ද විය. දේශපාලන ක්ෂේත්‍රය තුළ අතිදැවැන්තයින් පිරිවරා ගෙන රාජාලියා සම්ප්‍රාප්තිය ශ්‍රී ලාංකික ජනීජනයා මහත් හරසරින් පිළිගත්තා පමණක් නොව, ඒ වටා දස දහස් ගණනින් එක්රොක් වන්නට ද ගත වූයේ ද කෙටි කාලයකි. එවන් පසුබිමක 1992 ජනවාරි 04 වැනිදා සෙනසුරාදා දින හෝමාගම ප්‍රජාතන්ත්‍රවාදයසුරැකීමේ සංවිධානය වෑතර ක්‍රීඩාංගණ ක්‍රීඩාංගාරයෙහි “වත්මන් දේශපාලන තත්ත්වය” මැයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. එදින ප.ව. 2.00 සිට ප.ව. 7.00 දක්වා එම සම්මන්ත්‍රණය සඳහා හෝරාව ද වෙන්කර තිබිණි.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සංවිධානය හෝමාගම එවක ලේකම්වරයා ලෙස කටයුතු කළේ, දැනට අසූහය වැනි වියෙහි පසු වන හමුදා සේවයේ විශ්‍රාමික වර්ණ සැරයන් ධර්මදාස මොහොට්ටිගේ මහතා ය. අංක 180/2, දම්සෙවණ, අක්ෂිදාන මාවත, ගොඩගම – හෝමාගම ලිපිනයෙහි ඒ මහතා පදිංචිව සිටියි. ශ්‍රී ලාංකීය දේශපාලනය ඓතිහාසික නඩු තීන්දුවකට පාදක වූ වෑතර ක්‍රීඩාංගණ ක්‍රීඩාගාරයෙහි පැවැති එම සම්මන්ත්‍රණය පිළිබඳව තොරතුරු විමසීමට ඒ මහතා හමුවිය.

හෝමාගම – ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සංවිධානය ලේකම්වරයා ලෙස මම කටයුතු කරමින් සිටි අවධියෙහි තමයි මේ සිදුවීම වුණේ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සංවිධානයේ ලේකම්වරයා ලෙස වෑතර ක්‍රීඩාංගණය සහ ෆැවිලියන් එක ඉල්ලා 1991.12.18 මා ලිඛිත ඉල්ලීමක් කළා. හෝමාගම සමුපකාර සමිතියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතාගේ කාරුණික ආරාධනයෙන් හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් “වත්මන් දේශපාලන තත්ත්වය” මැයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. ලේකම්වරයා ලෙස මමත්, සභාපති ලෙස මංජු ශ්‍රී අරංගල මහතාත් ඊට අත්සන් කළා.

එදිනම කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චියට අවසර ඉල්ලා සිටී ම මැයෙන් ලිඛිත ඉල්ලීමක් කළා. 1992 ජනවාරි 04 වැනි සෙනසුරාදා ප.ව. 2.00 සිට රාත්‍රී 7.00 දක්වා වූ කාලසීමාව තුළ වෑතර ක්‍රීඩා පිටියේ ෆැවිලියන් එක තුළ අප සංවිධානයේ අනුග්‍රහයෙන් හෝමාගම සමුපකාර සමිතියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න මහතාගේ ක්‍ෂණික ආරාධනයෙන් හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් “වත්මන් දේශපාලන තත්ත්වය” මැයෙන් පවත්වනු ලැබූ ඒ විශේෂ සම්මන්ත්‍රණ අවස්ථාවේදීත් ඊට පෙරදින කහතුඩුව පොලිස් බල ප්‍රදේශවල පෙ.ව. 10 සිට ප.ව. 7.00 දක්වා ප්‍රචාරක කටයුතු සඳහාත් ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි කිරීමට අවසර ලබාදෙන මෙන් කාරුණිකව ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

මෙම ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා වාහනයේ වර්ගය හා අංකය 41ශ්‍රී0784 වන අතර ශබ්ද විකාශන යන්ත්‍ර හිමියාගේ අදාළ ලිපිය ද මේ සමග අමුණා ඇති බව කරුණාවෙන් සලකන්න යනුවෙන් සඳහන් කර මමත් සභාපතිවරයාත් අත්සන් කළා.

● ප්‍රබල ඇමැතිවරයකුගේ මැර ජුන්ටාව පෝස්ටර් ඉරා දමයි

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඓතිහාසික නඩු තීන්දුවක්

එවකට රටේ තිබුණ දේශපාලන අර්බුදය සහ ජනතාවට දැනෙන, කුතුහලයක් ඇති කරන්නයි, “වත්මන් දේශපාලන තත්ත්වය” යන මාතෘකාව අපි යොදා ගත්තේ. ඇත්තට ම ඒක හොඳට පත්තු වුණා. හෝමාගම සහ කහතුඩුව පොලිස් බල ප්‍රදේශය තුළත් අවට ප්‍රදේශය තුළත් සම්මන්ත්‍රණයට අදාළ දැනුවත් කිරීමේ විශාල ප්‍රමිතියේ පෝස්ටර් අලවා ප්‍රදර්ශනය කළා. විරුද්ධවාදීන් කොතරම් කිපුණ ද කීවොත් එක්තරා එවකට රජයට සම්බන්ධ අමාත්‍යවරයකුගේ මැර ජුන්ටාව එක රැයකින් පෝස්ටර් ඉරා අයින් කළා. රට තුළත් මේ වගේ සිද්ධි ඇති වෙන්න, ඇති වෙන්න නව පක්ෂය වටා ජනතාව ඒකරාශී වුණා. ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩපිළිවෙළක් එවකට රාජ්‍ය නායකයා අනුගමනය කළා. එවක ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ මර්දනකාරි දේශපාලනයට විරුද්ධව තමයි එම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණේ. ජනතාව දැනුවත් කරන්න.

● ලලිත් ඇතුලත්මුදලිගෙන් පොලිසියට අභියෝගාත්මක ප්‍රකාශයක්

කොහොමටත් ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා සමග මගේ කිට්ටු සම්බන්ධකමක් තිබුණා. එදා අනූදෙකේ ජනවාරි හතරවැනිදා බොහෝම සතුටින් ලලිත් ඇතුලත්මුදලි හිටපු ඇමැතිතුමා සම්මන්ත්‍රණ භූමියට පැමිනුණා. හිටපු පිරිස දැකලා එතුමාත් සෙසු පිරිසත් බොහෝම සංතෝසයෙන් හිටියේ. එතුමා අසුන්ගෙන සිටි ස්ථානයට මම ගිහින් සම්මන්ත්‍රණය පවත්වන්න දුන්න පොලිස් අවසර පත්‍රය පෙන්නුවා. මම එහෙම කළේ එහි සඳහන් කොන්දේසි කඩ වුණොත් එතුමා ඇතුළු පිරිසට අගතියක් වේවි යන සැකයෙන්. එතුමා “පොලිස් පර්මිට්” එක හොඳට කියෙව්වා. ඒ වනවිටත් සම්මන්ත්‍රණය පටන් අරගෙන නැහැ. එතුමා ඒක පාරට ම නැඟිටලා මයික්‍රෆෝනය ළඟට ගිහින් අභියෝගයක් කළා. අපි කතා කරනවා. පුළුවන් නම් අපේ කතා නවත්වන්න කීවා. පොලිසිය නිහඬව බලා සිටියා.

● පොලිස් කොන්දේසිවලට එරෙහිව නඩු මඟට

සම්මන්ත්‍රණය අවසන් වෙලා එතුමා මට කතා කළා. මොහොට්ටිගේ මහත්තයා අපි මේ පොලිස් ෆර්මිට් එකේ කොන්දේසිවලට විරුද්ධයි. අපි නඩු දානවා. ඔයා ඉදිරිපත් වෙන්න ඕනි කියලත් කීවා.

ඒ අනුව 1992.01.23 ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් ගොනු කරනු ලැබුවා. 1992.11.13 පෙත්සම් විභාගය අවසන් වුණා. මමත් දින කිහිපයක් ලලිත් ඇතුලත්මුදලි මහතා සමග ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. 1992.02.08 වැනිදා දිවයින පුවත්පතේ අධිකරණ වාර්තාකරු ස්ටැන්ලි සමරසිංහ මහතා රැස්වීමකට අවසර දෙන්නෙත් කොන්දේසි මත නම්…. ව්‍යවස්ථාවෙන් ලැබෙන රටවැසි අයිතියට කුමක්වේ ද ජනාධිපති නීතිඥ ලලිත් ඇතුලත්මුදලි යන සිරස්තලය යටතේ ඉතාමත් සරලව මෙසේ වාර්තා කර තිබුණා.

“කිසියම් පක්ෂයක් හෝ සංවිධානයක් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට පොලිසියේ අවසර ඉල්ලුවාම රජයට විරුද්ධව ප්‍රකාශ කරන්න එපා යැයි කොන්දේසි පනවද්දී අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටවැසියන්ට සහතික කොට දී ඇති මූලික අයිතියට සිදුවන්නේ කුමක්දැයි ජනාධිපති නීතිඥ ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේදී ඊයේ ප්‍රශ්නයක් මතු කළේය.”

තිස්ස බණ්ඩාරනායක, ආචාර්ය රංජිත් අමරසිංහ, රංජිත් ධීරරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හමුවේ ඇතුලත්මුදලි මහතා මෙම ප්‍රශ්නය නැඟුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමිනි. පසුගිය ජනවාරි 4 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසිද්ධ රැස්වීමකට අවසර දෙනවිට පොලිසිය කොන්දේසි පනවා ඒ සඳහා අවසරය දීමෙන් මූලික අයිතීන් උල්ලංඝනය කළ බව පවසමින් ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර, ප්‍රේමරත්න ගුණසේකර, ධර්මදාස මොහොට්ටිගේ යන මහත්වරුන් මෙම පෙත්සම් ඉදිරිපත් කොට තිබිණි.

කහතුඩුව පොලිස් ස්ථානාධිපති, ජනක ගුණතිලක, ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි ඇම්. ඇස්. රණසිංහ, පොලිස්පති අර්නස්ට් පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සිරිල් රණතුංග යන මහත්වරු සහ නීතිපතිවරයා මෙම පෙත්සම් මගින් වගඋත්තරකරුවන් ලෙස නම් කොට ඇත. මෙම රැස්වීම පැවැත්වීමට පොලිසියේ අවසරය ඉල්ලා සිටි විට දෙවන වග උත්තරකාර සහකාර පොලිස් අධිකාරි රණසිංහ මහතා 1992 ජනවාරි 2 වැනි දින දාතමින් එම අවසරය දුන්නේ කොන්දේසි කිහිපයක් පනවා යැයි ඇතුලත්මුදලි මහතා වැඩිදුරටත් අධිකරණයට කීය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඓතිහාසික නඩු තීන්දුවක්
වන්දි මුදලට හිමි චෙක්පත

මෙම රැස්වීමේ දී රජය, යම් සංවිධානයක් සහ යම් පුද්ගලයකු විවේචනයට ලක්වන අන්දමේ ප්‍රකාශවලින් වැළකී සිටිය යුතුය. ලලිත් ඇතුලත්මුදලි, ඇම්. ජී. ප්‍රේමචන්ද්‍ර, ප්‍රේමරත්න ගුණසේකර යන මහත්වරුන්ට පමණක් කතා කිරීම සීමා කරමින්, මෙම කොන්දේසි පනවා ඇතැයි ඇතුලත්මුදලි මහතා පැවසීය.

මෙවැනි කොන්දේසි පනවා රැස්වීමක් පැවැත්වීමට අවසර දුන් ප්‍රථම වතාව මෙය යැයි ද රජය විවේචනය කිරීම තහනම් කිරීමට කොන්දේසි පැනවීමට නොහැකි යැයි ද, එලෙස කොන්දේසි පැනවූ විට රැස්වීම් පැවැත්වීමේ තේරුමක් නැතැයි ද ඇතුලත්මුදලි මහතා කීය.

යම් රැස්වීමක දී නීති විරෝධී සහ අපහාසාත්මක ප්‍රකාශ කළ විට පියවර ගැනීමට පොලිසියට හැකි නමුත් රජය විවේචනය තහනම් කිරීමට නොහැකි බව ඇතුලත්මුදලි මහතා අධිකරණයට පැහැදිලි කළේය.

පෙත්සම් තුනම විභාග කිරීමට තීරණය කළ අධිකරණය මාර්තු 25 වැනි දින විභාගයට ගන්නා බව දැන්විය. මාර්තු 1 වැනි දින වගඋත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිත විය.

නීතිඥ ඇම්. බී. හඳකුඹුර මහතාගේ උපදෙස් පරිදි ටි. ජයතුංග, නලින් දිසානායක, හයසින්ත් ප්‍රනාන්දු මෙනවිය, මහේන්ද්‍ර අමරසිංහ, රංජනි මොරවක මෙනවිය, ආචාර්ය රංජන් ප්‍රනාන්දු, රංජන් ගුණරත්න යන නීතිවේදීන් සමග ජනාධිපති නීතිඥ ලලිත් ඇතුලත්මුදලි මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

පෙත්සම් විභාග කිරීම ඒ අනුව මාස දහයකින් අවසන් වූ බැව් ධර්මදාස මොහොට්ටිගේ මහතා පැවසුවේ එම මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව එම නඩුව දේශපාලන ක්ෂේත්‍රයේ මහත් අවධානයකට ලක්කරමින් රුපියල් නවදහස් පන්සීයක වන්දියක් ද ලබාගෙන බවය. ඊට දින කිහිපයකට පසුව ඇතුලත්මුදලි මහතා මට කථා කළා. වන්දි මුදල් ලැබුණ ද කියලා ඇසුවා. මම නැහැ කීවා. පොලිස් මූලස්ථානයට ඒ ගැන ඉල්ලීමක් කරලා ලිපියක් දෙන්න කියලා එතුමා කීවා. නඩුවේ තීන්දුවේ පැහැදිලිවම නියෝගයක් තියෙනවා වන්දි ගෙවීමට. සර් මම ඉල්ලනවට වඩා හොඳයි ඔබතුමා ම මේකට මැදිහත් වනවා නම් කියලා මම එතුමට කීවා. ඊට දින කිහිපයකට පසුව පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මට චෙක්පත ලබා දුන්නා.

ලැබුණ එම වන්දි මුදල ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ අරමුදලට මම පරිත්‍යාග කළා. පෙරමුණේ සභාපති නීතිඥ ඒ. සී. ගුණරත්න මහතාට පිරිනැමුවා. එම අවස්ථාවට පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, උපනායක ජනාධිපති නීතිඥ හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක, මහලේකම් හිටපු අමාත්‍ය ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර, හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය සමරවීර වීරවන්නි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මුතුබණ්ඩා යන මහත්වරුන් ද එක්වූහ.

● ඓතිහාසික නඩු තීන්දුවක්

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී ඓතිහාසික නඩු තීන්දුවක්
ධර්මදාස මොහොට්ටිගේ මහතා

රට තුළ මහත් අවධානයකට මේ නඩු තීන්දු ලක් වුණා. 1992 නොවැම්බර් 16 වැනිදා ‘දිවයින’ පුවත්පතේ කතුවැකිය ලොකු ඉඩකඩක් ලබාදී තිබුණා. “ඓතිහාසික නඩු තීන්දුවක්” යන සිරස්තලය යටතේ පළවූ මෙම කතුවැකිය රටේ සිදුවන පෙරලිකාර දේශපාලන සහජ සිද්ධීන් හමුවේ අදට මෙන්ම අනාගතයට ද වැදගත් අදහස් සමුදායක් කැටි කරලා ගෙනහැර දක්වා තිබෙන බව අවධාරණය කරන මොහොට්ටිගේ මහතා එම කතුවැකිය සුරක්ෂිතව ලිපි ගොනු අතර තබාගෙන ඇත. පහතින් පළවන්නේ එම කතුවැකියයි.

“දේශපාලන රැස්වීම්වල දී රජය විවේචනය නොකරන ලෙස දන්වා, අසවල්, අසවල් කථිකයන්ට එම රැස්වීම සීමා විය යුතු බවට කොන්දේසි පනවා, ශබ්ද විකාශන බලපත්‍ර නිකුත් කිරීම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපය අහෝසි විය හැකි ප්‍රවණතාවක් බව පසුගිය 13 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙන ලද තීන්දුවක දැක්වේ.”

“පොලිසිය විසින් කොන්දේසි පනවා ශබ්ද විකාශන බලපත්‍රයක් නිකුත් කිරීමෙන් හෝමාගම ධර්මදාස මොහොට්ටිගේ මහතාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කොට තිබේ.”

“විවේචනය හා අදහස් ප්‍රකාශ කිරීම මහජනතාවගේ මූලික අයිතිවාසිකමක් බව කිව යුතු නොවේ. විවේචනය හා අදහස් පළ කිරීමට බාධා පැමිණවීම තොරතුරු දැනගැනීමේ අයිතිය පැහැර ගැනීමකි. භාෂණ නිදහස අරඹයා ඉතා වැදගත් නඩු තීන්දුවක් ඉකුත් සතියේ ප්‍රකාශයට පත් විය. ජනමාධ්‍යකරුවන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය අගයන කොයි කවුරුනුත් “කළු බළල්” නඩුවෙන් ඇත්ත කතුවරයා නිදහස් වීම ගැන සොම්නස්වනු නිසැකය. මන්ද යත් එය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස පිළිබඳ ඓතිහාසික අධිකරණ තීන්දුවක් වන හෙයිනි.”

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment