ප්‍රසංගයේ මුඛ්‍ය අරමුණ මුදල් සෙවීම නෙමෙයි – රෝහණ සිරිවර්ධන

234

‘ඔබේ අතගෙන පෙර සැඳෑවක’ හෙට මහරගමදී

දශක පහකට ආසන්න කාල පරාසයක් ගීතවත්ව, ගී රසකාමී සිත් සතන් අමන්දානන්දයට පත් කළ හෙළ මියැසි කෙතේ ප්‍රේමණීය ගී රාවය, ප්‍රවීණ ගායනවේදී රෝහණ සිරිවර්ධන සිය මතකාවර්ජන සමඟින් ගීතවත් වන ‘ඔබේ අත ගෙන පෙර සැඳෑවක’ ආදරණීය ගී සැඳෑව සහ ඔහුගේ ගායන දිවියේ රස මුසු සන්සිද්ධි අළලා ලියැවුණු සුළෙල ගී රොද ග්‍රන්ථය ජන ගත කිරීම හෙට (19 දා සෙනසුරාදා) සවස 6.30 ට මහරගම තරුණ සේවා සභා රංගශාලාවේදී පැවැත්වේ.

එය නිමිත්ත කර ගනිමින් ප්‍රවීණ සම්මානිත ගුවන් විදුලි ඒ ශ්‍රේණිධාරී ගායනවේදී ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිෂ්පාදක, රෝහණ සිරිවර්ධනයන් සමග ‘දිවයින සිනමා කලා’ පැවැත්වූ කෙටි සංවාදයක සම්ප්‍රාප්ති සටහනයි මේ.

දිගු නිහැඬියාවකට තිත තබමින් ‘ඔබේ අත ගෙන’ යන්නට එන ලෙස ඔබේ ගී රසකාමීන්ට ආරාධනා කරන ආදරණීය ගී සැඳෑව පිළිබඳව පවසමින් මේ කතා බහට ප්‍රවේශ වුවහොත්…

මම 2008 සහ 2018 දීත් ඒකපුද්ගල ගී ප්‍රසංග ඉදිරිපත් කළා. ඒ ප්‍රසංගවලදී යුග ගායනාවෙන් මට සහාය වූ නිර්මලා රණතුංග, චන්ද්‍රා බුලත්සිංහල, අනුරාධ නන්දසිරි සහ නෙරංජලා සරෝජනී ප්‍රවීණ ගායන ශිල්පිනීන් කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි.

මේ ප්‍රසංග දෙකම නිවේදනයෙන් වර්ණවත් කළේ ප්‍රවීණ නිවේදක, වසන්ත රෝහණ මහතායි. 2018 න් පසු කොළඹදී සහ මහනුවරදී ප්‍රසංග දෙකක් කරන්න සැලසුම් කළත් කොවිඩ් ව්‍යසනය නිසා එය අතහැර දමන්න සිදුවුණා. දැන් රට තුළ පවතින වාතාවරණය හොඳ නිසා මගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පවත්වන්න කල්පනා කළා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ, නිෂ්පාදක, අරුණ කාන්ති චිත්‍රපට අධිපති සුනිල් අරුණ වීරසිරි මහතා ‘ඔබේ අතගෙන’ ප්‍රසංගයට සහ ‘සුළෙල ගී රොද ග්‍රන්ථය එළිදැක්වීම සඳහාත් අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වුණා. මුද්‍රණ අනුග්‍රහය ‘ෆාස්ට් ඇඩ්ස්’ අධිපති ප්‍රේම් දිසානායක මහතාගෙන්. ප්‍රවීණ ගීත රචක, යාපා බණ්ඩාර සෙනෙවිරත්න මහතා මගේ ගී රචනා නිර්මාණ සහ ජීවන ගමනේ රසමුසු තැන් එක්තැන් කරමින් ‘සුළෙල ගී රොද විචාරාත්මක ග්‍රන්ථය රචනා කරනු ලැබුවා. මේ ග්‍රන්ථය මගේ රසික රසිකාවියන් වෙත සාධාරණ මිලකට ලබා දෙනවා.

මගේ ප්‍රසංගයේ මුඛ්‍ය අරමුණ මුදල් සොයා ගැනීම නෙවී. රසිකයන්ට මගේ ගීතවල රසාස්වාදය නැවත අත්විඳින්නට සැලසීම නැවත සජීවීකරණය කිරීම තමයි ප්‍රධාන. ප්‍රසංගයේදී මම ගීත 16 කට වැඩිය ගායනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ‘දෑසේ මල් විලේ’ (එදා ගැයුම මාලනී බුලත්සිංහල සමග අද සන්ධ්‍යා බුලත්සිංහල සමග), ‘අප එදා දෙපා නැගූ’ (එදා ගැයුම නිරංජලා සරෝජනී අද අනුරාධා නන්දසිරි) ප්‍රවීණ ගේය පද රචක බන්දුල නානායක්කාර වසම්, මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර සහ මහාචාර්ය දයාරත්න රණතුංග යන මහත්වරුන් ප්‍රසංගයේදී කෙටි දෙසුම් පවත්වනවා.

සංගීතය ප්‍රවීණ සංගීතවේදී මනෝජ් පීරිස් ප්‍රමුඛ ‘ත්‍රීතාල්’ වෙතින්. ප්‍රසංගය මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ නිවේදක වසන්ත රෝහණ සහ ඉන්ද්‍රජිත් සුරවීර මහත්වරුන්. ‘සීත කඳු රැල්ලේ, දේව මන්දිරේ, මටත් හොරෙන්, ලොවේ කොයි කාටත් හොරෙන් සහ තිලකසිරි ප්‍රනාන්දු එදා ගායනා කළ 1979 දී ‘වජිරා’ ගුවන් විදුලි නාකටයකට ගැයූ ‘එන්න මද නළේ’ ගීතයත් ගයනවා. මගේ තනු නිර්මාණ ඇතුළත් ගී ත්‍රිත්වයක් වන රතු රෝස වසන්තේ, පිච්ච මලින් සහ හේමන්ත රාත්‍රි කාලේ මෙම ප්‍රසංගයේදී මා විසින් ගායනා කරනු ලබනවා. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ සහ යාපා බණ්ඩාර සෙනෙවිරත්න යන මහත්වරුන් එම ගී ත්‍රිත්වය රචනා කරනු ලැබුවා.

සුභාවිත ගීතයෙන් රසවත් වූ ඔබ එළිදැක්වූ ගීත කැසට් පට ගැන පැවසුවොත්…

ඒ කාලේ සිංග් ලංකා ආයතනය, එහි අධිපති ආනන්ද ගනේගොඩ මහතා විසින් ලංකාවේ ගීත ගැයූ හොඳම සහ දක්‍ෂතම ගායනා ශිල්පීන් 10 දෙනකුගේ ගීත කැසට් පට එළිදැක්වූවා. වාසනාවට ඒ දහය අතර මමත් සිටියා. මටත් හොරෙන් තමයි මගේ ගීත ඇතුළත් මුල්ම කැසට්පටය. ඊටපසු පියවරෙන් පියවර කැසට් පට හතරක් එළිදැක්වූවා. ‘ඔබේ අතගෙන’ මගේ මුල්ම සංයුක්ත ගී තැටිය.

● සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment