ප්‍රියමාලි  කියාදෙන ආයෝජන පාඩම්

1215

අවසර නොලත් මුල්‍යායතන යනු මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකුල බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරන ආයතන හා පුද්ගලයින්ය. බැංකු පනත හා මුදල් ව්‍යාපාර පනත යටතේ  ශ්‍රී ලංකාවේ මුල්‍ය අතරමැදිකරණ ව්‍යාපාර කටයුතු පාලනය වේ. මේ නීතිවලට අනුව  ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන බලපත්‍රයක් නැතිව මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගත නොහැකිය. ඇතැම් විට එම ආයතන සහ පුද්ගලයින් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ තැන්පතු යන වචනය සඳහන් නොකරමින් ඒ බව සඟවමින් විය හැකිය.

 තිළිණි ප්‍රියමාලි නම මේ දිනවල රැව් පිළිරැව් දෙමින් තිබේ. මේ කාන්තාව පිළිබඳ පුවත් දිනපතා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වාර්තා කරමින් තිබේ. කෝටිපතියන්ගේ කෝටි ගණන් පිල්ලි ඇරපු ‘මැඩම්’ සහ කෝටි ප්‍රකෝටි වලින් මුදල් වංචා කළ සක්විති ගණයේ කාන්තාවක් වැනි හැඳින්වීම් ඇය හඳුන්වා දීමට මාධ්‍යයේ වාර්තා කර තිබෙනු දැකගත හැකි විය. දේශපාලනඥයන්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරු, මහාචාර්යවරු සහ නළු නිළියන් වැනි අය ද ඇයගේ ඇමට හසු වී ඇති බවට මාධ්‍ය වාර්තා කර ඇත. ඇය තමාට මුදල් දුන් අය එම මුදල් ඉල්ලූ විට එම මුදල් නොදී සිටීමට ද නොයෙකුත් උපක්‍රම භාවිත කර තිබේ. ඒ සඳහා ප්‍රසිද්ධ නිළියක් යොදාගෙන තිබූ බවද මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මැය

 ගමන් බිමන් යන්නේ ගියේ ද පෞද්ගලික ආරක්ෂකයන් සමග බවද කියති. මෙකී මාධ්‍ය වාර්තාවල ඇත්ත නැත්ත අප දන්නේ නැත. කෙසේ වෙතත් මේ සිදුවීමෙන් අපට උගත හැකි ආයෝජන පාඩම් බොහොමයක් තිබේ. මෙවැනි මොහොතක මුදල් ආයෝජනයේ අවදානම් පිළිබඳ දැනුම්වත් වී මෙවැනි වංචාවල ගොදුරු බවට පත් නොවී සිටිය හැකි නම් එය ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

 ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට තිළිණි ප්‍රියමාලි නමැත්තිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇත. මේ සැකකාරිය භාවිතා කළ ජංගම දුරකතන දෙකක් මේ දක්වා සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව මාධ්‍යයට පවසා තිබිණි. ඇය අදාළ සිරමැදිරියේ රඳවා සිටියදී කළ සොදිසියේ දී එම සිරමැදිරියේ දොරක සඟවා තිබූ එක් ජංගම දුරකතනයක් මීට පෙර සොයාගත් බවත්, ඇය වෙනත් සිරමැදිරියකට මාරු කිරීමෙන් පසු ඉකුත් (9) දින රාත්‍රියේ පරීක්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී වෙනත් දුරකතනයක් ද සොයා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි. මෙම දුරකතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත. රිමාන්ඩ්ගතව සිටියත් වෙනත් සාමාන්‍ය අයට කළ නොහැකි දේ මෙවැනි බලවත් අයට කළ හැකි බව මීට පෙර ද වාර්තා වී ඇත. එහෙත් මේවා කළ හැකි වන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ද සහාය ඇතිව නොවේ ද? මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරි විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද වාර්තා වේ. තිළිණි ප්‍රියමාලි නමැති මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. ඇය සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් පුවත් වාර්තා වෙමින් තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිව යුත්තේ ඇය තවමත් සැකකාරියක් පමණක් බවයි. එය අප සිහි තබාගත යුතුය. ඒ නිසා ඇයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඇය වරදකාරියක් බවට කිසිදු පූර්ව නිගමනයක් අප තුළ නොමැති බව ද කිව යුතුය. ඒ පිළිබඳ තීරණය කරනු ඇත්තේ උසාවියයි. උසාවිය ඒ පිළිබඳ කරුණු විභාග කර ඇය වරදකාරියක් ද නැද්ද යන්න තීරණය කරනු ඇත.

 මේ කියන තිළිණි ප්‍රියමාලි එක් රැයකින් ජනප්‍රිය වූයේ මෙරටට ජාත්‍යන්තර ජයග්‍රහණයක් ගෙනවිත් නොවේ. සුපර් ස්ටාර් තරගයකින් ජයගෙන ද නොවේ. ඇයට එල්ල වී ඇත්තේ බරපතළ මූල්‍ය වංචා චෝදනාවන්ය. මෙම සැකකාරිය රුපියල් කෝටි

 ගණනක මුදල් ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, වෛද්‍යවරුන් සහ නළු නිළියන් ආදී නොයෙකුත් පුද්ගලයන්ගෙන් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත. මෙයින් පැහැදිලි වන්නේ මුදල් තිබෙන මෙවැනි ධනවත් අයට පවා නිසි මූල්‍ය සාක්ෂරතාව නොමැති බවයි. මේ නිසා මූලික වශයෙන්ම තමන්ගේ මුදල් ආයෝජනය කිරීමේ දී සැලකිල්ලට ගත යුතු මූලික කරුණු පිළිබඳව හෝ අවබෝධය සෑම කෙනෙකුටම තිබීම ඉතාමත් වැදගත්ය. නොයෙක් අයට තමන් ළඟ මුදල් ආයෝජනය කළහොත් ඉහළ ප්‍රතිලාභ දෙන බවට ප්‍රකාශ කළ හැකිය. එහෙත් මූලික වශයෙන්ම මහජනයාගේ මුදල් තැන්පතු භාර ගැනීමට නම් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් විය යුතුය. එසේ නොමැතිව මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් නැත. ඒ නිසා මූලික වශයෙන්ම මුදල් තැන්පතු ගැනීමට නම් එය අවසරලත් මූල්‍ය ආයතනයක් විය යුතුය.

 රට තුළ අවසරලත් මූල්‍ය ආයතන මෙන්ම අවසර නොලත් මූල්‍යායතන ද තිබේ. මින් අවසරලත් මූල්‍යායතන ලෙස හඳුන්වන්නේ මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට නීතියෙන් බලය පවරා ඇති අයතනයන්ය. මෙහිදී කිව යුතු මූලික දෙයක් වන්නේ සමාගමක් ලෙස යම් ආයතනයක් ලියාපදිංචි කළ පමණින් ඒ ආයතනයට මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් නොලැබෙන බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබා දී ඇති ආයතන සමූහයක් තිබේ. ප්‍රධාන වශයෙන්ම පහත සඳහන් ආයතන කාණ්ඩ තුනට මහජනගෙන් මුදල් තැන්පතු භාර ගැනීමට බලයක් තිබේ.

 1. බලපත්‍රලාභී වාණිජ බැංකු

 2. බලපත්‍රලාභී විශේෂිත බැංකු

 3. ලියාපදිංචි මුදල් සමාගම්

 කලින් කලට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම අවසරලත් මූල්‍ය ආයතන ලැයිස්තුව පුවත්පත් මගින් ප්‍රසිද්ධ කරනු ලබයි. එසේම මහ බැංකුවේ වෙබ් අඩවියට පිවිස ඒ ගැන දැන ගැනීමට ද හැකියාව ඇත. එසේම යම් ආයතනයක් අවසරලත් මූල්‍ය ආයතනයක් ද කියා ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් මහ බැංකුව විමසා ඒ ගැන දැන ගැනීමට ද හැකියාව තිබේ. මේ නිසා ඔබගෙන් මුදල් ඉල්ලා සිටින තැනැත්තා හෝ තැනැත්තිය නැවතී සිටින්නේ තරු හෝටලයක ද එසේත් නැත්නම් ඒ අයගේ කාර්යාලය තිබෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද හෝ ඒ අය ආශ්‍රය කරන්නේ කවුද යන්නෙන් ඔබ ලබාදෙන මුදල්වලට කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව සිහියේ තබා  ගන්න. එසේම ඔබගෙන් මුදල් ඉල්ලා සිටින අය ඔබගේ හිතවතෙකු, ඥාතියෙකු හෝ අසල්වැසියෙකු වුවද ඔවුන් කවර සුරංගනා කතා කියා සිටිය ද ඒ කිසිවකින් ඔබගේ මුදලේ ආරක්ෂාව සැලසෙන්නේ නැත. ඒ කරුණු කිසිවක් ඔබ ඉහළ ප්‍රතිලාභයක් හෝ ඉහළ පොලියක් ලබාදෙනවා කියමින් තැන්පත් කරන හෝ ආයෝජනය කරන මුදල්වලට ආරක්ෂාවක් ලබා නොදේ. මූලික වශයෙන්ම ඔබ බැලිය යුතු කරුණක් වන්නේ ඔබ මුදල් තැන්පත් කරන ආයතනය අවසරලත් ආයතනයක් ද යන්නයි. කොටස් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කිරීමට ද බලය ඇත්තේ කොටස් තැරව්කාර ආයතනවලටය. එසේම විදේශ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන බවට ද ඔබට කියා සිටිය හැකිය. ඒ නිසා මේ කවරක් කීවත් ඔබගේ මුදල් ගැන ඔබ විමසිලිමත් විය යුතු වේ. නැතහොත් ඒ ආයෝජනය හෝ තැන්පත් කරන මුදල්වලට දෙනවා කියා සිටි ඉහළ ප්‍රතිලාභ පමණක් නොව ඔබ තැන්පත් කළ හෝ ආයෝජනය කළ මුල් මුදල පවා ඔබට අහිමි වී ඔබට දුකට පත් වීමට සිදු විය හැකිය. එසේ ඔබ රැවටීමට ලක් වී පසුව නීතියේ පිහිට පැතුවත් ඒ මුදල් ලබාගත් ආයතන හෝ පුද්ගලයන් එම මුදල් වියදම් කර ඇත්නම් දැන් ඒ මුදල් ලබාදීමට ඔවුන් සතුව මුදල් හෝ වත්කම් නැත්නම් සිදු වන්නේ කුමක් ද? ඒ නිසා එවිට ඒ මුදල් ලබා ගැනීම ඉතාමත් දුෂ්කර කටයුත්තක් විය හැකිය. එසේම පිරමීඩ යෝජනා ක්‍රම වැනි දේවලින් ද ඔබ මුලාවට පත්ව ඔබගේ වටිනා ධනය විනාශ විය හැකිය.

 අප මුලින් සඳහන් කළ පරිදි මූලික වශයෙන් මුදල් තන්පත් භාර ගැනීමට බලය ඇත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ ලියාපදිංචි මුදල් සමාගම් යන ආයතන කාණ්ඩ තුනට වුවද තැන්පතු භාර ගැනීම සඳහා මහ බැංකුවෙන් බලපත්‍රයක් ලබා ගැනීමේ හෝ මහ බැංකුවේ ලියාපදිංචි විය යුතු නැති ආයතන කිහිපයක් ද තිබේ. ඒවා නම් සමුපකාර සමිති පනත යටතේ ලියාපදිංචි වූ සමුපකාර සමිති, ජාතික නිවාස පනත යටතේ පිහිටුවනු ලැබූ ගොඩනැගිලි සමිති සහ යම් කිසි නීතියක් යටතේ පිහිටුවා ගන්නා ලද ලාභ ඉපයීම පරමාර්ථ කර නොගත් වෙනත් ඕනෑම සමිතියකට හෝ සංවිධානයකට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය ඇතිව සිය සාමාජිකයන්ගෙන් පමණක් තැන්පතු භාර ගත හැකිය. එහෙත් මේ ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ අධීක්ෂණයට ලක් නොවේ. මේ හැරෙන්නට වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගත නොහැකිය.

 මහ බැංකුවෙන් අවසර ලබා තිබුණත් එවැනි ආයතනවල පවා බිද වැටීම් සිදු විය හැකිය. අසාර්ථකවීම් සහ නොසන්සුන්තාවන් ඇති වීමට ඉඩ තිබේ. ප්‍රමුඛ බැංකුවේ බිඳ වැටීම ගැන අපට මතකය. ඒ නිසා තවත් වැදගත් ආයෝජන පාඩමක් වන්නේ ඔබගේ සියලු මුදල් එක තැනක ආයෝජනය නොකර ආයෝජන කළඹක් පවත්වා ගැනීමයි. සියලු බිත්තර එක බදුනකට නොදමන්න කියා කතාවක් තිබේ. එම බදුන බිදී ගියහොත් සියලු බිත්තර කැඩී විනාශ වෙයි. එහෙත් ඔබ බදුන් කිහිපයක බිත්තර දමා තිබුණා නම් එක බදුනක් විනාශ වුවත් කැඩී විනාශ වන්නේ එම බදුනේ ඇති බිත්තර පමණි. ඔබට අනෙකුත් බදුන්වල තැන්පත් කළ බිත්තර ආරක්ෂා වේ. ඒ ආකාරයටම පිළිගත් මුල්‍ය ආයතනයක හෝ බැංකුවක වුවත් ඔබ සතු සියලු ධනය එකම තැනක එනම් එකම ආයතනයක ආයෝජනය හෝ තැන්පත් කිරීම සුදුසු නොවේ. එම ආයතනයේ ප්‍රශ්නයක් ඇති වුවහොත් ඔබගේ එම මුළු මුදලම අවධාමනට ලක් විය හැකිය. මේ නිසා විධිමත් මුල්‍ය ආයතන ගත්ත ද සියලු ධනය එකම තැනක අයෝජනය නොකර ස්ථාන කිහිපයක තැන්පත් කළ හැකි නම් එය ඔබට වඩාත්ම සුරක්ෂිත බව කිව හැකිය.

 අවසර නොලත් මුල්‍යායතන යනු මහජනයාගෙන් තැන්පතු භාර ගැනීමට නීත්‍යානුකුල බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරන ආයතන හා පුද්ගලයින්ය. බැංකු පනත හා මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකාවේ මුල්‍ය අතරමැදිකරණ ව්‍යාපාර කටයුතු පාලනය වේ. මේ නීතිවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන බලපත්‍රයක් නැතිව මහජනයාගෙන් මුදල් තැන්පතු භාර ගත නොහැකිය. ඇතැම් විට එම ආයතන සහ පුද්ගලයින් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ තැන්පතු යන වචනය සඳහන් නොකරමින් ඒ බව සඟවමින් විය හැකිය. ඒ සඳහා ඔවුන් විවිධ වචන භාවිත කරනු දැකගත හැකිය. එනම් ආයෝජන, වන වගා ව්‍යාපෘති, නිවාස ව්‍යාපෘති සහ විදේශ කොටස් වෙළඳපොළ ආයෝජනය කිරීම වැනි විවිධ ආකර්ෂණීය වචන ඔබට සඳහන් කළ හැකිය. ඒ නිසා ඔබ වඩාත් විමසිලිමත් විය යුතුමය. වංචනික පිරමීඩ ක්‍රම දියත් කරන්නේ ද ඒවා පිරමීඩ ක්‍රම කියමින් නොවේ. නොයෙකුත් රැවටිලිකාර ප්‍රචාරණ ක්‍රම දියත් කරමිනි. එවැනි වංචනිකයන් කවර දේ ප්‍රචාරය කළත් ඔබ ඒවාට ගොදුරු නොවී සිටීමට උත්සාහ ගත යුතුය.

 මේ කියන තිළිණි ප්‍රියමාලිට හසු වී ඇති බවට වාර්තා වන්නේ නම් එසේ මෙසේ අය නොවේ. ඉතා බලගතු අයයි. එසේම ධනවත් අයයි. සාමාන්‍ය අය ඒ සඳහා ගොදුරු වී ඇති බවට අසන්නට නැත. මේ නිසා එසේ රැවටීමට හසු වූ එම බලවත් සහ ධනවත් අය එම මුදල් උපයා ගත්තේ කෙසේ ද යන්නත් අපි නොදනිමු. ඒ අයට ඒවා පිළිගත් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට ප්‍රශ්නයක් තිබුණේ ද යන්නත් අපි නොදනිමු. ඒ ගැන ඉදිරි විමර්ශන වලින් සහ උසාවි ක්‍රියාවලිය හරහා රටට හෙළිදරව් වනු ඇත. ඒ නිසා අප සිතන්නේ මේ ඉමහත් ආන්දෝලනාත්මක සිදු වීමෙන් ඔබට බොහෝ පාඩම් ඉගෙනීමට ඇති බවයි.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 shyam.divaina@ gmal.com

advertistmentadvertistment
advertistmentadvertistment