පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැකි විරල චරිතයක්

87

රට වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත කාර්ය භාරයක් තමා ඉදිරියේ ඇතැයි විශ්වාස කරන චරිතයක් හා ඒ වෙනුවෙන් නොපැකිළිව කි‍්‍රයාකළ චරිතයක් එවැන්නක් සිදුකර ඇත්නම් එය සුවිශේෂී චරිතයකින්ම පමණක් අපේක්‍ෂා කළ යුත්තකි.

අදට ජන්ම දිනය යෙදෙන කරු ජයසූරිය චරිතය මේ රටේ අනෙකුත් සියලූම දේශපාලන චරිත අතරින් සුවිශේෂී චරිතයක් වන්නේ ඒ නිසාය.

කරු ජයසූරිය අපූර්ව දේශපාලන චරිතයකි. බලය උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානම් නොවූ මෙන්ම අදටද සූදානම් නොවන චරිතයකි. ඔහු දේශපාලනයට එන්නේද එක්සත් ජාතික පක්‍ෂය පසු පස සුවිශාල භූමිකාවකට පණ පෙවූ එන්. ජී. පී. පණ්ඩිතරත්න මහතාගේ යොමු කිරීමකිනි. පසුව ඔහු සක‍්‍රීය දේශපාලනයට යොමු කරවා ගන්නට උත්සාහ ගෙන ඇත්තේ හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසිනි. ඒ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස පත්කර ගැනීමේ අදහසිනි. රණසිංහ පේ‍්‍රමදාස මහතා සිදුකර ඇති එම ඉල්ලීම ඉතාමත්ම කාරුණිකව හා උපායශීලී ලෙස ප‍්‍රතික්‍ෂේප කරන ජයසූරිය මහතා සක‍්‍රීය දේශපාලනය වෙත යොමු වන්නේ ඉන් පසු කාලයකදී එජාපයේ නායකත්වයට පත් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආරාධනයක ප‍්‍රතිඵලයක් ලෙසය. ඒ කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරමිනි. මහජනතාව අතරට යමින් ඉහළම මහජන වරම කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස තේරීපත් වෙමිනි. පසුව බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පක්‍ෂය විසින් ගනු ලැබූ තීන්දුවට අවනත වීමට ඔහුට සිදුවී තිබේ. එය පක්‍ෂය වෙනුවෙන් අත්නොහැරිය යුතු වගකීමක් බව රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පෙන්වාදී තිබීම ඊට හේතුව වී ඇත. එය ඔහු මේ රටේ දේශපාලන ක්‍ෂේත‍්‍රය තුළ වඩා ස්ථාවර කිරීමටද හේතුවක්වූ බව ඉතා පැහැදිලිය.

ඒ වන විටත් ඔහු කටයුතු කරන ලද්දේ එජාපයේ නියෝජ්‍ය නායකයා වශයෙනි. 2000 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැති මහා මැතිවරණයට තරග කරන්නට පක්‍ෂය මගින් ජයසූරිය මහතා යොමු කරවන්නේ ගම්පහ දිස්ති‍්‍රක්කය වෙතය. එම මහා මැතිවරණයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස තේරී පත් වන්නේ ඉහළම මනාප ප‍්‍රමාණයක්ද ලබා ගනිමිනි. බලය තිබූ රජයේ මර්දනයට එරෙහිව නොබියව පෙනී සිටීමටද ඒ වන විටත් පක්‍ෂ අභ්‍යන්තරයේ මතුව පැවැති අර්බුද හමුවේ ඊට විසඳුම් සෙවීමටද ඒවා සමහන් කර ගනිමින් ශක්තිමත් පක්‍ෂයක් ලෙස එජාපය ගොඩනැ`ගීමේ සටහනට උරදීමට ඔහුට සිදුවිය.

මේ රටේ සිවිල් සමාජ සංවිධාන සමඟ පුළුල් සහයෝගයකින් කටයුතු කරමින් සිටි ජයසූරිය මහතාට විශේෂයෙන්ම මහා සංඝරත්නයෙන් ලැබුණු ආශිර්වාදය එදා මෙන්ම අදටද එක සේ නොවෙනස්ව පවතී. ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකාය ආරක්‍ෂක සභාවේ සභාපති ධුරය දීර්ඝ කාලයක පටන් අදට ද හොබවමින් සිටින්නේ ඔහුය. එයට අමතරව සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයන්ගෙන්ද අමරපුර මහා සංඝ සභාව හා රාමඤ්ඤ මහා නිකායෙන්ද ඔහු වෙත ප‍්‍රදානය කර ඇති ගෞරව නාමයන් එයට නිදසුන්ය. කරු ජයසූරිය මහතාට ලැබී ඇති ගෞරව නාමයන් සැලකීමේදී එය ශ‍්‍රී ලංකාවට පමණක් සීමා නොවීමද විශේෂත්වයකි. ඉන්දියාවේ අබ්දුල් කලාම් ආයතනය මගින් ප‍්‍රදානය කරන ලද ආසියාවේ අභිමානය සම්මානය මෙන්ම ජපන් රජය මගින් පිරිනමන උදාවන සූර්යයා සම්මානයද ඒ අතර වීම විශේෂය. ජපානය සිය සුවිශේෂී විදෙස් මිතුරන් සඳහා පිරිනමන උසස්ම සම්මානය වන උදාවන සූර්යයා සම්මානයෙන් පුදනු ලැබූ එකම ශ‍්‍රී ලාංකිකයා වන්නේද ජයසූරිය මහතාය. කරු ජයසූරිය මහතා කි‍්‍රයාකාරී දේශපාලනයට සමුදීමට පෙර හොබවනු ලැබූ පාර්ලිමේන්තුවේ කථානායක භූමිකාව නොමැකෙන මතක සටහන් රැුසක්ම ඉතිරි කර තිබුණි. සුපිරිසිදු ප‍්‍රජාතන්ත‍්‍රවාදියකු ලෙස පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ඉහළින්ම ඔසවා තබන්නට මෙන්ම ඊට එරෙහිව මතුවන කවර හෝ අභියෝගයන් හමුවේ සෘජු ලෙස නිර්භීතව පෙනී සිටීමට ඔහු තුළ වූ දැවැන්ත පෞරුෂය මේ රටේ අනාගත කථානායකවරුන්ටද පූර්වාදර්ශ සපයනු නොවනුමානය. කථානායකවරයා ලෙස ඔහුගේ මැදිහත් වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසාද, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැුකගනිමින් මන්ත‍්‍රීවරුන්ගේ අයිතිවාසිකම් රැුකදීමට පමණක් සීමා වූවක් නොවීය. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සුභසාධනය හා කාර්යක්‍ෂමතාවය ඉහළ නංවාලීම වෙනුවෙන් ජයසූරිය මහතා සිදුකර ඇති මැදිහත්වීම වචනයේ සැබෑ අරුථට අනුව අසමසමය. ඔහු තම දේශපාලන දිවිය පුරා දැරූ තනතුරු මගින් ලැබුණු වැටුප් පුද්ගලික ප‍්‍රයෝජනයට ගෙන නොතිබීමද තමන්ට නීත්‍යානුකූලව හිමි වන වාහන බලපත‍්‍ර වාර හතකදීම ප‍්‍රතික්‍ෂේප කළ පුද්ගලයෙක් ලෙසටද ඔහු මේ රටට විරල ආදර්ශයක් සපයා තිබේ. මේ රටට තව තවත් අවශ්‍ය වන්නේද අද වනවිට අතිශයින්ම දුර්ලභ වී ඇත්තේද එවන් වූ මහත්මා ගුණ සපිරි නිකළැල් දේශපාලනඥයන්ය.

කරු ජයසූරිය මහතාණෙනි ඔබට සුබ උපන් දිනයක් වේවා.

සුනිල් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment