පා ගමනින් ගිය තරුණයා තියුණු ආයුධවලින් කපාකොටා මරලා -සැකකරුවෝ දෙදෙනා අත්අඩංගුවට

688

ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේදී පයින් ගමන් කරමින් සිටි තරුණයකු ඉකුත් 05 දා සන්ධ්‍යාවේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

තියුණු ආයුධවලින් සිදුකළ පහරකෑමට ලක්ව ඝාතනය වූ තරුණයා, නාගලගම් වීදිය ඔස්සේ පයින් ගමන් කරමින් සිටියදී තියුණු ආයුධ අත දරාගත් සන්නද්ධ පුද්ගලයන් පිරිසක් තරුණයා පිටුපස ලුහුබැඳවිත් ආයුධවලින් පහරදීමට තැත් කර ඇති අතර එයින් බේරීම සඳහා ඔහු මාර්ගය අසබඩ පිහිටි වෙළඳසැලක් තුළට දිවගොස් ඇති බවත්, එම අවස්ථාවේදී ආයුධ සන්නද්ධ පිරිස විසින් වෙළඳසැල තුළ සිටි තරුණ පුද්ගලයා මාර්ගය දෙසට ඇදගෙනවිත් ආයුධවලින් පහරදී ඝාතනය කොට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පැවසීය.

තරුණයා කපාකොටා පහරදුන් සැකකරුවන් පිරිස පහරදීමෙන් අනතුරුව පළාගොස් තිබේ. පහරකෑමෙන් බරපතළ තත්ත්වයේ පසුවූ තරුණයා ප්‍රදේශවාසීන් විසින් හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සිද්ධියෙන් පහරකෑමට ලක්ව මියගිය තරුණයා 25 වැනි වියේ පසුවන වදුල්ලවත්ත, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචිකරුවෙක් බවත් යම් පෞද්ගලික කටයුත්තක් සඳහා නාගලම් විදිය ප්‍රදේශයට පැමිණ ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පැවසීය. තියුණු ආයුධ සන්නද්ධව මාර්ගයේ ගමන් කළ තරුණයාට පහරදීම සඳහා පැමිණි සැකකරුවන් මාර්ගයේ නිවාසවල සහ අවට පිහිටි වෙළඳසැල්වල සවිකොට තිබූ සීසීටීවී දර්ශන උපයෝගී කරගනිමින් හඳුනාගෙන ඇති අතර එම පිරිස අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවද පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරයි.

එස්. ඩී. අබේසිංහ – මහරගම

advertistmentadvertistment
advertistmentadvertistment