පැය 10 ක් තෙල් පෝලිමේ සිට දරුවන් පාසල් ගෙන යන්න නිවසට එද්දී සිව්දරු පියා බසයට බිලි

1159

ආණමඩුව නගරයේ සමුපකාර ඉන්ධන පිරවුම්හලින් සිය යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට පැය 10 කට ආසන්න කාලයක් ඉන්ධන පෝලිමේ රැඳී සිට උදෑසන දරුවන් පාසලට ඇරලවීමට යෑම සඳහා ඉන්ධන පෝලිමෙන් ඉවත්ව නිවසට පැමිණෙන අතරතුරදී සිදුවූ අනතුරකින් සිව්දරු පියකු මියගොස් තිබේ. ඊයේ (16 දා) අලුයම මෙම අනතුර සිදුව ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව මහඋස්වැව එච් 8 ගම්මානයේ පදිංචිව සිටි 37 හැවිරිදි ප්‍රසිද්ධ සංගීත ප්‍රසංග නිවේදකයකු වන අජිත් නවගත්තේගම නමින් හැඳින් වූ අජිත් ජයසිංහ නමැති පුද්ගලයෙකි.

පැය 10 ක් තෙල් පෝලිමේ සිට දරුවන් පාසල් ගෙන යන්න නිවසට එද්දී සිව්දරු පියා බසයට බිලි

නිකවැරටිය ප්‍රදේශයේ කොහු මෝලක ශ්‍රමික කාන්තාවන් ප්‍රවාහනය කරන බස් රථයක් ආණමඩුව නවගත්තේගම ප්‍රධාන මාර්ගයේ ලබුගල ප්‍රදේශයේදී අතුරු මාර්ගයක සිට අපරික්‍ෂාකාරී අයුරින් ප්‍රධාන මාර්ගයට පසුපසට ධාවනය කරන අවස්ථාවේ යතුරුපැදිය ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.

ආණමඩුව නගරයේ සමුපකාර ඉන්ධන හලින් යතුරුපැදියට පෙට්‍රල් ලබාගැනීමට පෝලිමේ රැඳී සිට ඉන්ධන ලබා නොදීම නිසා නැවත නිවසට අලුයම තුනට පමණ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. මරණයට පත් වූ සිව් දරු පියාගේ පාර්ශ්වයෙන් චෝදනා නගන්නේ බස්රථයේ ගැටී බරපතළ තුවාල ලබා සිටියදී තුවාලකරු එම ස්ථානයේම දමා බස් රථයේ රියැදුරු යතුරුපැදියක නැගී ආණමඩුව පොලිසියට ගොස් ඇති බවයි. බරපතළ තුවාල ලබා සිටි අය ආණමඩුව රෝහලට ගෙන යන අතරතුරදී මරණයට පත්ව තිබේ. මරණයට පත් අය දියණියන් සිව්දෙනකුගේ පියකු වන අතර වැඩිමල් දියණිය 10 ශ්‍රේණියේ ද දෙවන දියණිය 5 ශ්‍රේණියේ ද අනෙක් දියණියන් දෙදෙනා මේ වනවිට පෙර පාසල් යන වයසේ නිවුන් සොහොයුරියන්ය. අනතුර සම්බන්ධයෙන් අපරික්‍ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට බස්රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment